Print this Article


පාලන නායකත්ව ප්‍රභවයේ බෞද්ධ විග්‍රහය

පාලන නායකත්ව ප්‍රභවයේ බෞද්ධ විග්‍රහය

මිනිස් සමාජයේ උපත ලැබ, මානව ක්‍රියාකාරිත්වයට දායකත්වය දෙමින් මිනිස් සිත හා එහි ස්වභාවය සොයා ගොස් සිත පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයකොට, මිනිසාගේ සසර ගමනට හේතුව, එම හේතුව නැති කිරීම හා නැතිකිරීමේ මාර්ගය අවබෝධකොට අනගාරිකත්වයෙන් වෙසෙමින් මිනිස් සමාජයේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය අරභයා මහඟු දහමක් මිනිසා වෙනුවෙන් දේශනා කළ ශාස්තෘන් වහන්සේ නමක් ලෙසින් බුදුරජාණන් වහන්සේට ලෝකයේ ආගමික ශාස්තෘන් අතර අද්විතීය ස්ථානයක් හිමි වී ඇත.

උන්වහන්සේගේ දේශනාවන් මිනිසාගේ හිත හා මිනිස් ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන ඇති බැවින් සදාචාරාත්මක සමාජ ව්‍යුහයක් ගැබ්වූ දර්ශනයක් ලෙසින්ද ඇතැම්හු හඳුන්වාදීමට මහන්සි ගනිති. ලෞකිකත්වයකින් තොරව ලෝකෝත්තර තත්ත්වයක් ගැන දේශනා කර ඇති බවක් නොපෙනේ. එමෙන්ම මානව ක්‍රියාකාරිත්වයේ යථා ස්වභාවය හා මිනිසා විසින් තමා දෙස මෙන්ම තමා ජීවත්වන ලෝකය දෙස ද බැලිය යුතු සංකල්පවල ගැබ්ව ඇත. බුදුරජාණන් වහන්සේ විසින් වාසෙට්ඨ බ්‍රාහ්මණයාට පාලන නායකත්වයක ප්‍රභවය පිළිබඳ කළ දේශනය මීට කදිම නිදසුනකි.

බුදුන් වහන්සේ විසින් වාසෙට්ධ බ්‍රාහ්මණයාට දේශනා කළ දීඝනිකායට අයත් අග්ගඤ්ඤ සූත්‍රයෙන් පාලකයෙකු පත්කර ගැනීම සම්බන්ධ බෞද්ධ සංකල්පය කවරේද? යන්න ඉදිරිපත් කෙරේ. සත්ව ප්‍රජාව ඇතිවීමේ සිට ක්‍රමයෙන් ලෝකයේ මෙන්ම සමාජයේද වර්ධනයත් සමඟම ඇතිවන ප්‍රශ්න හමුවේ පාලන නායකත්වයක් මානවයන් විසින් තෝරාපත් කර ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි හා ක්‍රමානුකූල විස්තරයක් එහි අන්තර්ගතය.

සමාජ නායකත්වයක් ඇති කර ගැනීමට මුල් වූ කරුණු ගැන අග්ගඤ්ඤ සූත්‍රය මෙසේ දක්වයි. සමාජය තුළ සොරකමත්, බොරුවත්, ගර්හාව හා දණ්ඩනයත් ඇතිවීමෙන් පෙරළා එක් රැස් වූ පිරිස් මේ තත්වයන් වළක්වා ගැනීමටත් ඒ ගැන විනිශ්චයක් ලබාගැනීමටත් පුද්ගලයෙකු පත් කර ගැනීමට තීරණය කළහ. එලෙසින් පුද්ගලයෙකු පත්කර ගත් විට ඔහු ප්‍රකාශ කළ යුත්තක් ප්‍රකාශ කරන්නේය. ගැරහිය යුත්තාට ගරහන්නේය. නෙරපිය යුත්තා නෙරපන්නේය. එම කාර්යයන් සඳහා අප ඔහුට ඇල් වී කොටසක් දිය යුතු යැයිද (යන්නුත මයං එකං සත්තං සම්මන්නෙයා්‍යාව, යො තො සම්මා ඛීතබ්බං ඛීය්‍යෙය, සම්මා ගරහිතබ්බං ගරහෙය්‍ය, සම්මා පබ්බාජෙතබ්බං පබ්බාජෙහි මයං පන තෙ සාලීනං භාගං අනුප්පදස්සාමාති) ඔවුහු තීරණය කළහ. ඒ අනුව ඔවුන් අතරින් රූප සම්පන්න දැකුම්කලු වඩා සිත් පහදවන පුද්ගලයෙකු කරා ගොස් කතිකා කරගත් පරිදි ඔහු වෙත එම කාර්යය පවරනු ලැබිණ. එම පුද්ගලයා තමා වෙත පවරන ලද කාර්යන් ඉටු කිරීමට කැමැත්ත පළ කළේය. මෙසේ සම්මතයෙන් පත් කළ ඔහුට ‘මහාසම්මත’ යැයි ව්‍යවහාරයක් (මහා සම්මතෝ මහාසම්මතතොත්වෙව පඨමං අක්ඛරං උපචනිබ්බත්තං) ද ප්‍රථමයෙන් ඇතිවූ බව දක්වයි. පසුව කෙත්වලට අධිපතිවූ බැවින් ක්ෂත්‍රිය යැයිද (ඛෙත්තානං අධිපතිති ඛො වාසෙට්ඨො ඛක්තියො ඛත්තියොත්වෙව දුතියං අක්චරං උපනිබ්බත්තං) දැහැමින් අන් අය රඤ්ජනය කරන බැවින් රාජ යැයි (ධම්මෙන රඤ්ජෝති ති රාජ්‍ය) (රාජා රාජත්වෙව තතියං අක්ඛරං උපතිබ්බත්තං) තෙවැනි නාමයක් ඇතිවූ බව අග්ගඤ්ඤ සූත්‍රය සඳහන් කරයි.

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ‘මහාසම්මත’ වනාහි සමාජ නායකත්වයක් සඳහා නොව විනිශ්චයක් සඳහා පත්කර ගත් පුද්ගලයෙකු බව හැඟවෙයි. දීඝනිකායට්ඨ කථාවට අනුව පෙනී යනුයේ අධිකරණ බලය සහිත වූ සමාජ නායකත්වයක් ජනතා කැමැත්ත මත එක් පුද්ගලයෙකුට ලබාදුන් බවකි. එමෙන්ම අභිෂේකයක්ද ලබා දුන් බව ක්ෂත්‍රිය යන්න විග්‍රහ කරමින් අටුවාව පෙන්වා දෙයි. සක් තුනකින් ඔහු අභිෂේක කළ බව සඳහන් කරයි. (ඛෙත්සාමිනො තිහිංසඛහි අභිසේක්ම්පි අකංසු) සක් තුන පිළිබඳ විවරණයක් කරන දීඝනිකාය ටීකාව ඉන් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ හා ගෘහපතින්ගේ නියෝජනයක් වූ බවක් දක්වයි.අටුවාව හා ටීකාව දක්වන තොරතුරු තුළින් සූත්‍රගත කරුණුවලට වඩා වෙනත් අදහසක් ඉස්මතු කෙරේ. එනම් පුද්ගලයෙකු තෝරාපත් කිරීමේදී සමාජයේ සියලු පිරිස් නියෝජනය වූවාද යන්නයි. ටීකාව දක්වන විස්තරයට අනුව සමාජයේ ප්‍රධාන කොටස් තුනක් නියෝජනය පමණක් දක්වයි. එනම් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ හා ගෘහපති යන කොටස් තුනය.මේ අනුව සමාජයේ එක් පිරිසකගේ මේ කෘති ලියන ලද බැවින් එම කාලවල පැවති දේශපාලනික අදහස් අටුවාව හා ටීකාවනට එකතුවී ද නැතහොත් පුරාණයේ සිට පැවති තොරතුරු එලෙසින්ම ඉදිරිපත් කරන ලද්දේද යන්න ස්ථිරවම කිව නොහැකිය.

මානව දෘෂ්ටිකෝණය තුළින් අග්ගඤ්ඤ සූත්‍රය දෙස බැලූ එම්. ඩී ඩග්ලස් බර්න්ස් විසින් මෙසේ විවරණයක් කර ඇත. එනම් නූතන පරිණාමවාදි න්‍යායන්ගේ බොහෝ ලක්ෂණ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්නට ලැබෙන බවය. මේ හැර උද්භිද ගණයාගේ මෙන්ම දේපළ ආණ්ඩුව හා ශ්‍රම විභජනය ආදිය පිළිබඳ මේ ඇති පරිණාමිය ක්‍රියවලිය නූතන පරිණාමය ගැන ඇති මතවලට වඩාත් සාම්‍ය වේ යන්නයි.අග්ගඤ්ඤ සුත්‍රයෙන් සමාජ පරිණාමයේ එක්තරා අවධියක්ද ප්‍රාග් දේශපාලන යුගයක් ලෙසින් සැලකිය හැකි අවස්ථාවක්ද නිරූපණය වේ යැයි ද?. එන් . පාර්කින්සන් විසින් දක්වා තිබේ. වෛදික සම්ප්‍රදායෙන් පෙන්වන දෙවියන්ගේ කැමැත්ත මත විශ්වයේ නායකත්වයක් බිහිවිය යන අදහසට වඩා ස්වභාවික මානුෂිකත්වයක් අග්ගඤ්ඤ සූත්‍රයේ ගැබ්ව ඇතැයි බී.ජේ. ගෝබලේ සඳහන් කරයි. ප්‍රකෘති තත්වය යටතේ මිනිසා දේශපාලන සමාජයට අවතීර්ණ වූ ආකාරය අනුපිළිවෙළින් දීඝනිකායේ විස්තර වන බව හා පාලකයා තම බල අධිකාරිත්වය තෝරාගත් පිරිස් අතර පතුරවමින් සම්මුතියේ පරිද්දෙන් රාජකාරින් ඉටු කළ බව ජෝන් ඩබ්ලිව්. ස්පලේමන් දක්වයි. මේ සූත්‍රය පිළිබඳව විවරනයක් කරන කඹුරුපිටියේ ආරියසේන හිමියෝ, වෛදික චින්තකයන් විසින් චතුර්වර්ණයේ ප්‍රභවය ඉස්මතු කරමින් ගෙතු දේව මිත්‍යා පටලය බැහැරකරමින් මානව වර්ගයාගේ විකාශනය වනාහි භෞතික මානව සාධකයන් පදනම්කොටගෙන ඇති වූ අකාරය මේ සූත්‍රයෙන් බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇතැයි දක්වති. රාහුල් සංක්‍රිත්‍යායන් ද සඳහන් කරනුයේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව සමාජයේ විසූ පිරිස්වලට අවශ්‍ය වූයේ පාරම්පරික චාරිත්‍ර හා සමාජ ධර්මයන් උල්ලංඝනය කරන්නන්ට දඬුවම් නියම කළ හැකි ජන සම්මත විනිශ්චයකරුවකු පත් කර ගැනීම බවයි. සමාජගතව පවත්නා නීතිය හා සිරිත් විරිත් නිසි පරිදි පවත්වාගෙනයෑම සඳහා මහාසම්මත තෝරා පත්කර ගෙන තිබෙන බව කඹුරුපිටියේ ආරියසේන හිමියෝ ප්‍රකාශ කරති. යථා කාලයේදී එම පාලන නායකත්වය ඉඩම් පරිපාලන කටයුතු දක්වා පැතිරගිය බව දක්නට ඇති බවත් පාලක පරම්රපාරවක් ඇතිවන බවත් තෙවන පියවර ලෙසින් පාලන නායකත්වය රාජ්‍යත්වය දක්වා ගමන් කරවූ බවත් උන්වහන්සේ විසින් තවදුරටත් විවරණය කරමින් පෙන්වාදී රාජ්‍යයේ ප්‍රභවය ගැන මෙහි සඳහන් වන්නේ සමාජ ගිවිසුමක් යටතේ වූවක් ලෙසින් නොව පාලන සම්මුතිවාදයක් ලෙසින් බව ආරියසේන හිමියෝ පෙන්වා දෙති. ඒ. එල්. බෂාම් දක්වන අදහසින් පෙනී යන්නේද මහාසම්මත වෙත අධිකරණ බලය හිමි වුවද ඔහු කෙරෙහි බලපෑමක් කිරීමට ජනතාවටද හැකියාවක් වූ බවය. ඒ අනුව බෞද්ධ මතය පදනම් කර ගනිමින් එක් නිගමනයකට එළඹීමට ඉඩක් ලැබේ. එනම් ජනතාව අතර මමත්වය ඉස්මතු වී යාමත් සමඟම සමාජයේ දේපළ අතර ද අසාමානතාවයන් මතුවීම නොවැළැක්විය හැකි කරුණකි. දේපළ හිමිකමේ ඇති වෙනස්වීම් සමාජයේ ජන කොටස් අතරද විෂමතා ඇති වීම කෙරෙහි ඍජුවම බලපායි. මෙවැනි තත්වයක අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ ඔවුනොවුන් අතර ගැටුම් ඇතිවීමය. සමාජය තුළ උද්ගත වූ තත්ත්වයන් සහ ගැටුම් නිරාකරණය කර ගැනීමට ජන සම්මුතියෙන් අධිකරණමය බලයක් ලබා දුන් පුද්ගලයෙකු පත් කර ගැනීම කළ යුතුවේ. මහා සම්මත ද එලෙසින් පත් කළ පුද්ගලයෙකු වේ. ඒ අනුව මහාසම්මත පත් කර ගැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පෞද්ගලික දේපළ සුරක්ෂිත කිරීමට හා ඒ ආශි‍්‍රතයෙන් පැන නඟින ප්‍රශ්න නිරාකරණය කිරීමටත් බව එක් පැත්තකින් තර්ක කළ හැකිය. ඒ අනුව සමාජයේ වැඩි දේපළ කොටසක් හිමි කර ගත් පිරිසක් විසින් තමන්ට එරෙහි වන අනෙකුත් පිරිස් යටපත් කෙරෙන අන්දමේ අරමුණක්ද මේ තුළ ගැබ් ව ඇති බවක් පෙනේ.

පාලන සංවිධානයක ප්‍රභවය ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන්නේ සමාජ සම්මුතියක් නොවන බව අරියසේන තෙරුන් විසින් තර්ක කරන මුත් ආර්.ගාර්ඩ් , එන්. ඝෝෂාල්, දයා එස්, ප්‍රනාන්දු වැනි ශාස්ත්‍රඥයෝ අග්ගඤ්ඤ සූත්‍රයෙන් සමාජ සම්මුතියක්ම හෙළි දැක්වෙන බව සඳහන් කරති.

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව විධිමත් නීතියක් පිළිගන්නා විධිමත් සමාජයක් සත්ව විකාශනයේ මුල් කාලයේ සිටම නොපැවැතිණි .ආරම්භයේදී සමාජ රීතින් තුළින් පාලනය වූ සමාජයක් පමණක් තිබුණි. සමාජ පරිණාමයත් සමඟ ඇතිවන ප්‍රශ්න සාධාරණය නිරාකරණය කර ගැනීම සඳහා පාලකයකු පත් කර ගැනීමට තීරණය කිරීමෙන් එම සමාජය විධිමත්ව සකස්වීමක් පෙන්නුම් කරයි. සම්මුතියෙන් පත් කරනු ලබන පාලකයාට අධිකරණමය බලතල පවරා දීමේ සියලු දෙනාම ඔහුගේ විනිශ්චයන් පිළිගන්නා බවක්ද ගම්‍ය වේ. ඒ නිසා අවධිමත් රීතින් කීපයක් සියලු දෙනා විසින්ම පොදුවේ පිළිගන්නා මහාසම්මතගේ විමර්ශනය යටතේ ක්‍රියාත්මක විය යුතු විධිමත් නීතින් බවට පත්වී ඇත. මහාසම්මත පත් කර ගැනීමට තීරණය කිරීම දේශපාලන සමාජයක් (ර්‍ථධතඪබඪජචත ඉධජඪඥබර) බිහිවීමට මුල් වූ එක් හේතුවක් ලෙස ඉදිරිපත් වෙතැයි සිතිය හැකිය. මහාසම්මත පත් කිරීම නායකත්වයක මූලික අවස්ථාව සනිටුහන් කරයි. මේ නිසාම අග්ගඤ්ඤ සූත්‍රයේ එය මහ සම්මත පත් කර ගැනීම තුළ දේශපාපන සමාජයේ බිහිවීමත්, නායකත්වයක සම්භවයත් යන කරුණු දෙකම ගැබ්ව ඇති බව පැහැදිලිය.