Print this Article


කුරුවිට වතුයාය අභිනවාරාමය

කුරුවිට වතුයාය අභිනවාරාමය

කොළඹ, රත්නපුර මාර්ගයේ හිග්ගස්හේන මංසන්ධියෙන් දෙවිපහලට යන මාවතේ කිලෝමීටර් භාගයක් පමණ ඉදිරියට යන විට වතුයාය ගම්මානයේ රමණීය උස්භූමියක පිහිටා ඇති ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ශතවර්ෂයකට ආසන්න ඈත ඉතිහාසයකට නෑකම් කියයි.

ඉතා පැරණි නාගසක් ඇතුළු නාගස් වනයෙකින් යුක්ත වූ මෙම භූමියෙහි නිරන්තරයෙන් රාත්‍රී කාලයෙහි පහන් එලි දකින්නට ලැබුණ බවත් මෙම ස්ථානය පූජනීය භූමියක් සඳහා සුදුසු බවත් ගමෙහි පැරැණ්නන් විශ්වාස කිරීම නිසා ඉඩමෙහි හිමිකරුවන් වූ ඩබ්.ජී. ගුණවර්ධන රෙජිස්ට්‍රර් රාළහාමි ප්‍රමුඛ පින්වතුන් විසින් බෞද්ධ සිද්ධස්ථානයක් සඳහා ඉඩම සසුනට පූජා කර ඇත. ගම්වාසීන්ගේද සහයෙන් ඉදි වූ අභිනවාරාමය 1938 දී ලියන ලද පූජා ඔප්පුවකින් තෙප්පනාව මනනන්දනාරාම විහාරස්ථානයේ වැඩ සිටි ගාල්ලේ ශ්‍රී මාලාලංකාර නාහිමියන් නමින් සසුනට පූජා කරන ලද බව දැක්වේ. මෙම කාලවකවානුවේම මාලාලංකාර නාහිමියන් ප්‍රමුඛව තෙප්පනාව විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා විටින් විට වස් සමාදන් වීමෙන් හා නේවාසිකව වැඩ සිටිමින් විහාරස්ථානය පාලනය කර ඇති බවත් පැරණි ලේඛනවලට අනුව පැහැදිලිවේ. මේ අතර ගෝනගල සුදන්ත මොරලියේ පාලිත, අක්මීමන සුබෝධ ස්වාමින් වහන්සේලා වූ අතර බෝපැත්තේ රේවත ස්වාමින් වහන්සේ වැඩි කාලයක් නේවාසිකව වැඩ සිට ඇත. උන් වහන්සේගේ කාලයේදී වතුයාය ශ්‍රී සුමන විද්‍යාලය ආරම්භ කල බවට සාධක පවතී. වතුයාය විහාරස්ථානයේ මුලින් පැවති මෙම පාසල පසුව අද පවතින ස්ථානයට රැගෙන ගොස් ඇති බව දැනගන්නට ඇති තොරතුරුයි. මෙම කාලය වන විට වතුයාය විහාරස්ථානය සංඝාවාසයකින් හා ධර්මශාලාවකින් පමණක් යුක්තව පැවතී ඇත. 1965 වර්ෂයේ ස්ථීර වාසය සඳහා වැඩමකළ තෙප්පනාවේ කෝලිත හිමියන් විසින් විහාරාරාංග රැසක් ඉදිකරවූහ. තෙප්පනාවේ කෝලිත ස්වාමින් වහන්සේ ශ්‍රී ජයන්ති දහම්පාසල ආරම්භ කර විහාරස්ථානයේ දායක ගම්මානය වන වතුයාය. කීරගල, හිග්ගස්හේන, කුඩාදුරගම, උඩකඩ දායක පවුල්වල දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළේය.

එකි සේවාව ඉදිරියටත් කඩ නොවී ගෙන යා හැකි දැන උගත් ශිෂ්‍ය පිරිසක්ද සිටීම විහාරස්ථානයේ උන්නතිය පතන කාගෙත් අමන්දානන්දයට හේතු වන්නකි.

වර්තමාන විහාරාධිපති කුරුවිට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙනේ පරිවෙනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හේනේපොල සුමනජෝති ස්වාමින් වහන්සේ දායකගම්මාන සංවිධානය කරමින් සංවිධානාත්මකව විහාරස්ථානයත්, ගම්මානයත් දියුණූ කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් කටයුතු කරයි.

වසර 80 ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිට මෙම බිනර පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන් සජීවීව විකාශනය කිරීමට ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කර ඇත.