Print this Article


මෙත් සිතෙන් සසර දී ලබන සහනය

මෙත් සිතෙන් සසර දී ලබන සහනය

තුන්ලෝකාග්‍ර සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේම සිත නිවාසනහා මෛත්‍රියම වඩා ජීවිතය ජයගත් සේක. පන්සිය පනස් ජාතකය පුරාම ඉතාම ප්‍රබලව නැගී සිටින මෛත්‍රී චින්තනය ආශ්චර්ය ජනක සිදුවීම් රැසක් අනාවරණය කරයි.

මහා ශීලව ජාතකයෙහිදී ස්වකීය දේවිය කෙරෙහි සාපරාධි වූ පාපි අමාත්‍යවරයා විසින් ගෙනෙන ලද සතුරු රජහු තුන්සියයක් යොදුන් රාජ්‍යය ගැනීමට එරෙහිව නැගී සිටි අමාත්‍යයින්ට ආයුධ අල්ලන්නට පවා ඉඩ නොදුන් සේක. නැවත අමාත්‍යයන් දහස හා සමඟ අමු සොහොණෙහි කර පමණ කොට භූමිය කැණ වළ සිටුවා පස් ගසන ලද්දේද, සිත කළඹන වදනකුදු නොබැණ සිටි විට කුණප කනපිණිස පැමිණි සිවළුන්ගේ පස්ගැටීම නිසා බාහු බලයෙන් වළෙන් ගොඩ පැමිණි යේද මෛත්‍රියේ බලයෙන්මය.

ක්ෂාන්තිවාදී ජාතකයෙහි නුවණ මඳ කලාබු කසීරජහු විසින් “ශ්‍රමණය නුඹ කවර වාදී දැයි අසන ලද්දේ මම ක්ෂාන්තිවාදී නමැයි කී කල්හි කටු සැමිටියෙන් තලා පෙළ අත්පා සිඳිනු ලබන කල්හිත් කෝප පමණකුඳු නොකොට සිටීමද ආශ්චර්යයක් නොවන්නේද?

චුල්ල ධර්මපාල ජාතකයෙහි මාගේ ප්‍රාණය නිරුද්ධ වෙයි කියමින් මව හඬන වැළපෙන විටත් මහා ප්‍රතාප නම් පිය රජහු විසින් අත්පා සතර සිඳලනු ලබන අතරද, එපමණින්ද සතුටට පත් නොවී මොහුගේ හිස කපවයි “නියෝග කළ කල්හි “දැන් තගේ හිස ගිනිගන්නා කාලයය භවත් ධර්මපාලය යනුවෙන් කළ ප්‍රකාශයද අසා හිස කැපීමට නියම කළ රජහුද, හිස කපා හෙළන වධකයා කෙරෙහිද හඬන වැළපෙන මව කෙරෙහිද යන මේ තුන්දෙනාද තමාද යන සතර දෙනා කෙරෙහිම සම සිත් දැරිමට සමත් වීම ආශ්චර්යක් නොවේද?

තිරිසන් ආත්මයෙහි වුවද ඡද්දන්ත නම් ඇත් රජව විෂ පෙවූ ශල්‍යයෙන් නාභිය පසාකළ කල්හිද ඒ දුෂ්ට සෝනුත්තර නම් වැද්දා කෙරෙහිද සිත දූෂ්‍ය නොවී කළ ප්‍රකාශයද මෙසේ වූ කළ “සබඳ – කුමක් පිණිස, කවර හේතුවකින් තෝ මට වධ කෙළෙහිද –– මේ ප්‍රයෝග කවරහුගේද?” වැද්දා කියනුයේ ‘කසී රජහුගේ මෙහෙසිය විසින් තොපගේ දළ පිණිස මා මෙහෙයවනු ලැබුවා’ යයි කීකල තම දළ සඟල කපා ගෙන යන්ට සිය කැමැත්තෙන්ම ඉඩදීමද ආශ්චර්යයක්ම නොවන්නේද ?

මහා කපී ජාතකයෙහි වඳුරු රජව තමා විසින්ම ප්‍රපාතයෙන් ගිලිහී මිය යාමට සිටි පුද්ගලයා ගලවා ගත්විට එම පුරුෂයාම තමා මරා මස් කෑමට ගලක් ඔසවා හිස පළන අවස්ථාවේ පවා ඔහුට ද්වේෂ නොකොට “පින්වත ඔබ අනෙක් අයට වඩා වෙනස් අයෙක – කියා ඒ පුරුෂයාට ක්ෂේම භූමිය වෙත යන්ට මග කියාපෑම ආශ්චර්ය යක්ම නොවේද?

භූරිදත්ත ජාතකයෙහි භූරිදත්ත නම් නා රජව අෂ්ඨාංග උපෝසථය ඉටාගෙන තුඹස මත්තෙහි හෝනාකල කල්ප නාශක ගින්න මෙන් ඖෂධයෙන් සියලු ශරීරයෙහි ඉස්නා කල්හිද, පෙට්ටියෙහි බහාලා මුළු දඹදිවෙහි ක්‍රිඩා කරවනු ලබන කල්හිද ඒ බමුණූ කෙරෙහි සිත් දූෂ්‍ය කිරීමකින් තොරව සිටියේය.අහිකුණ්ඨිකයා විසින් පයින් අනිමින් කුඩා පෙට්ටියේ තෙරප ෙ‍තරපා දමන කල්හිත් ඉවසා සිටීම ආශ්චර්යයක් නොවන්නේද?

සංඛපාල ජාතකයෙහි සංඛපාළ නම් නා රජව තියුණු සැතින් අට තැනකින්විද විදපු තැනින් කටු වේවැල් ඇතුළු කොට නාසයෙහිද රැහැනක් විද දමා වැදිපුතුන් දහසය දෙනෙකු විසින් ඔසොවාගෙන යන කල පොළව මත ගැටෙන තැන් මහත් වේදනා දෙන අතරත්, කිපී බැලූ විට සියලු වැදි පුතුන් දවා හළු කරන්ට හැකියාව තිබියදීත් ඔවුන් ගැන ද්වේශ නොකොට මෛත්‍රියම පැතිරවීම ආශ්චර්යයක් නොවන්නේද?

එසේ සිහිකොටත් සිත නිවාගන්ට යමෙක් අපොහොසත් වූයේ නම් ඔහු විසින් මෛත්‍රියෙහි අනුසස් මෙසේ සිහි කටයුතුය.

“භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළේම නොවේද? “මහණෙනි මෛත්‍රියෙන් යුක්ත වූ මෛත්‍රිධානයෙහි ආදරයෙන් සෙවුනා ලද මඩනා ලද නැවත නැවත කරන ලද, යෙදූ යානාවක් මෙන් කරන ලද, පිහිට ලද අනුව සිටිනා ලද , පුරුදු කරනා ලද, මනාකොට සපයන ලද, මෛත්‍රියෙහි එකොළොස් අනුසස් කෙනෙක් දක්නා ලැබේ. ඒ කවර එකොළෛාසද?

1. සමවත් සමවන්නක් හු මෙන් සුවසේ නිදා ගන්නේය.

2. සුවසේ නිර්විකාරව පුබුදියි

3.පවිටු සිහින නොදකියි

4.උරෙහි පැළඳි මුතුහරක් මෙන් මිනිසුන්ට පි‍්‍රය වෙයි.

5. විශාඛ තෙරුන් මෙන් දෙවියන්ට පි‍්‍රය වෙයි.

6. දරුවන් රකිනා මවුන් පියන් මෙන් දෙවියන් රකිත්.

7.මෛත්‍රි විහරණයෙන් යුක්ත වූවහුගේ කය ගිනිවත්, විසවත්, ආයුෂධවත් නොවදී

8. වහාම හිත සමාහිත වේ.

9. මුහුණෙහි පැහැ ප්‍රසන්න වෙයි

10. නොමුළාව කාල ක්‍රියා කෙරේ

11. සමාපත්තීන් මතුයෙහි අර්හත්වය ප්‍රතිවේධ නොකරන්නේ බ්‍රහ්ම ලෝකයට පැමිණේ