Print this Article


පහන් සිතක කවි



උත්තම ගුණ විහිදූ

තිලොව තිලක මුණි භගවත් සුගත සඳු
දෙලොව යහපතට හිමි දෙසු දහම මුදු
පොළොව මත පිහිටි උත්තම ගුණ විහිදූ
බලව නැණැස හැර භගවත් දහම බෙදූ

අනිත දුක අත් බව හරි හැටි දැක්කා
විනිත සිත මතම හිමි තුන්දොර රැක්කා
ජනිත වූ කුසලබල හැම දෙන දැක්කා
දිනති හැම දනෝ මේමැදි මඟ එක්කා

පහනක් ලෙසින් ලොව භව ගන අඳුර වැසූ
යහපත් දහම් මඟ චතුසත් දහම දෙසූ
සුවපත් කළේ හැම සත් සිත් සතුට සැදූ
හදවත් මහා කරුණා වෙන් පිරුණි මුදූ

හිරි සඳු තාරණා මහමෙරද සමුදුරූ
පෙරු පාරමී ගුණය මත හිමි රැස් පැතුරු
ගෞතම ගොයුම් ගොත් මාහිමි ලොව අඳුරු
නමදිමු පා පියුම් අපි දිවි තිබෙන තුරු



වඳීනෙමි බුදුපුත්

අළුයම අවදිව මළුපෙත් අමදින
වත් පිළිවෙත් සැම සතුටින් කරලන
ගුරු බැතියෙන් හැම උවටැන් කරලන
වඳීනෙමි බුදුපුත් මහසඟ හැමදින

උදේ සවස බුදු හිමියන් පුදමින
වත පිරිතෙන් ලොව සැමදෙන සනහන
මෙත් කරුණා ගුණයෙන් සිත උතුරන
වඳීනෙමි බුදුපුත් මහසඟ හැමදින

කළ හැකි හැම වැඩ තමන්ම කරමින
අන් අය කරතැයි බලාන නොසිටින
හැමවිට තුන්දොර පිනටම යොදවන
වඳීනෙමි බුදුපුත් මහසඟ හැමදින

සෙල්ලම් වයසේ සිටියත් දඟලන
සිවුරක් දරාන සිටිනා බවදැන
කිසිවිටකත් දඟ වැඩනම් නොකරන
වඳීනෙමි බුදුපුත් මහසග හැමදින

ගිහිදිවියේ දුක් දොම්නස් දකිමින
සුනීත රාහුල පොඩි හිමි විලසින
නිවන් දකින්නට නැණගුණ වඩවන
වඳීනෙමි බුදුපුත් මහසඟ හැමදින

- උඩුරාවණ විමලානන්ද හිමි
 



කුමාරදූව පුදබිමේදී


ඉස්සර රන්ගොයම් පැසුන වෙල් යායෙන් වටවුන
ලස්නන කඳු සිරස මුදුනෙ පුදබිම වෙත ඉදිවුන
තිස්සෙම මහ සෙනග ඇවිත් වනපස මල් අරගෙන
අස් වැසුමක් ලබති උතුම් බෝ සමිඳුන් වැඳගෙන

පුදබිම වෙත පිවිසෙන කොට කිරිසුදු දාගැබ පෙනේ
සමාධි බුදු පිළිම වහන්සේ වැව මැද දිසි වුණේ
කුරුළු රෑන් රෑන් රෑන් ඉපිළෙති නද දෙති වනේ
කුමාරදූවට ගිය විට සිතකට සැනසුම දැනේ

සාමණේර පොඩි හිමිවරු කසාවතින් සැරසුන
බණපොත් කියවති හවසට තුරු සෙවණක ඉඳගෙන
රන් බෝපත් සුළඟෙ එතී ගයන විටදි බුදු ගුණ
මාළු පැටව් ඉපිල නටති වැව මැද උඩ පැන පැන

ඇල්මෙන් සසුනෙහි දියුණුව වෙනුවෙන් නෙත සිත යෙදූ
පැල්පොල රාහුල සමිඳුන් අධිපති ලක පිරිසුදු
සිල් නැණ ගුණ සුවඳින් පිරි යතිවරයෙකි පිරිසුදු
මල් උයනක් වවා තිබේ ලස්සන හග්ගල බඳු

- දෙදියවල අමරදාස පෙරේරා
 



සමාජ සේවකයා


මහවැසි වැස්සත් මහමෙර යටවෙන
වැල්පුස් ඇට නැහැ යට යන්නේ
දිය මත පාවී පාවී තිබුණත්
පුස් ඇට මද නැත තෙත්වන්නේ

පුස් ඇටයේ හැටි කාටත් වැටහෙයි
ගලන ජලයෙ දිය මත පාවේ
ගුණදම් හද තුළ කිසිවක් නැති අය
පුස් ඇට මෙන් මනු ලොව පාවේ

දහම් මිහිර රැස් නොවැටෙන අයගේ
හදවත පුස් ඇට මද වාගේ
පාලු සොහොන් පිටිවන් හදවත් වල
ඉසිකෝ මන් දින දින වැඩිවේ

පුස් ඇටවන් මිනිසුන්හට කිසිදා
සේවය කළ නොහැකිය දැහැමින්
ඒ හැම හදවත් හරවමු දහමට
වෙලමු වෙලමු උන් ගුණ දහමින්
 



බණ පදටික



කුණුකයේ විස්තරේ


දෙකකුල් නමැති කණු දෙක මත තබනලද
මළපිරි කළය මෙන් නිතරම ගසනගඳ
කය සැරසුවත් හුණු ගෑ බිත්තියක ලෙද
සුවසේ ඉන්න හැකියාවක් තිබෙනවද

උදරය පෝෂණය සඳහා හැමදාම
තුන්වේලක් කෑම ලැබ දිය යුතු සේම
කළ යුතු සබන් ගා කුණුකය නෑවීම
නැතහොත් දුගඳ ඉවසා ඉන්නද කෝම

මුලු දහවල් දවස බඩගිනි නිවන්නට
සිදුවෙනවමයි රැකියාවක යෙදෙන්නට
ලෙඩ දුක් හැදේ බැරි ඉවසා සිටින්නට
ඕනෑ මියෙනතුරු බොහො දුක් විඳින්නට

කම්පා නොවී අටලෝදමට කිසිදින
තුන්දොර පාපයට යනු නොදී රැකගන
මිනිසෙකු වුණොත් රැස්කර කුසල් උතුරන
ඉපදෙන මැරෙන ලොව ජයගන්න පුළුවන

- වැල්කෙනියායේ ඩබ්ලිව්. සිරිපාල