UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනසේ යහපත් හා අයහපත් ප්‍රතිඵල

මනසේ යහපත් හා අයහපත් ප්‍රතිඵල

සැවැත්නුවර “තිස්ස” නමින් තෙරුන් වහන්සේ නමක් වැඩ වාසය කළහ. වස් කාලය එළඹුනාට පසුව වස්කාලය ගතකිරීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි තිස්ස හාමුදුරුවන් වහන්සේට එක්තරා ගමක පොඩි වෙහෙරක වස් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ වස්කාලය තුළ කිසියම් අධ්‍යාත්මික තත්වයකට පත්වෙනවාය කියන අධිෂ්ඨානය සිතේ තබාගෙන වස් සමාදන් වුණත්, උන්වහන්සේට ආධ්‍යාත්මික පක්ෂයේ දියුණුව නිවැරැදිව කරගන්න බැරි වුණා. වස් සමාදන් වීමේ කටයුතු කාරණා නිවැරැදිව සිදු කළා.

ගිහි ඇත්තන්ගේ වැඩ කටයුතු බහුල වීමත් , විහාරස්ථානයේ වැඩකටයුතු බහුල වීමත් නිසාම උන්වහන්සේගේ අධ්‍යාත්මික පැත්තේ වැඩකටයුතු පමා කරන්න හේතු වුණා. නමුත් විහාරයේ කඨින පින්කම මහ ඉහළින් විශාල වශයෙන් සිදු කළා. වස් අවසානයේ උන්වහන්සේට ගිහි ඇත්තන්ගෙන් සිවුරු රෙද්දක් පිරිකර හැටියට ලැබුණා. මෙය අට රියනක් පමණ විශාල සිවුරු රෙද්දක්. මෙම රෙදි කඩ ඉතාම වටිනා කමින් යුක්ත වූ එකක් වුණා. එම ස්වාමින් වහන්සේට තිබෙන ගෞරවය භක්තිය නිසාම මේ ආකාරයට වටිනා සිවුරු රෙද්දක් උන්වහන්සේට පූජාකිරීමට පන්සලේ දායකයන් කල්පනා කළා. තිස්ස හාමුදුරුවන් වස් සමාදන් වී අවසන් වෙලා සැවැත් නුවරට වැඩම කළාට පසුව එම වස් පිළිය හෙවත් වස් සමාදන් වීම වෙනුවෙන් ලැබුණ සිවුරු රෙද්ද ප්‍රවේශම් කරමින් ආරක්ෂා කරන ක්‍රමයක් උන්වහන්සේ කල්පනා කළා. එම සිවුරු රෙද්ද ඉතාමත් වටිනාකමකින් යුක්ත වූ එකක් වීම එයට හේතුවුණා. මේ ආකාරයෙන් කල්පනා කරන්න උන්වහන්සේට එකවරම සිහියට ආවේ තමන්ගේ නැගණියයි. එම රෙදි කඩ නැගණියට ගෙන දුන්නොත් ඉතා හොඳින් ආරක්ෂාකරයි කියලා කල්පනා වුණා.

ඒ අනුව මෙම රෙදි කඩ තමන්ගේ නැගණියට දීල “මම මෙම රෙද්දෙන් සිවුරක් මසාගන්නයි සිතාගෙන ඉන්නේ ඒ සඳහා තව කල් තිබෙන නිසා ඒ වන තෙක් ඔබ මේ සිවුර ැ රෙද්ද ප්‍රවේශම් කර තබාගන්න ලෙසට” පවසනු ලැබුවා. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසුව, එම නැගණියත් ඉතාම ගෞරවයෙන් එම සිවුරු රෙද්ද ප්‍රවේසම් කරල තබන්නට සූදානම් වෙලා නැවත වතාවක් එම සිවුරු දෙස බලන විට මෙම සිවුරු රෙද්ද හරිම වටින රෙදිකඩක් බව තේරුණ නිසා ඇය මෙම සිවුර කිසියම් ආකාරයකට තුනී කරල තුනී සිවුරක් ලෙස සකස්කරල නවල තියා තිබ්බා. ඊට පසුව දවසක තිස්ස හාමුදුරුවන් වැඩම කරල එම සිවුරු රෙද්ද නැගණියගෙන් ඉල්ලා ගනු ලැබුවා. තමන් වහන්සේ ලබාදුන්න රෙදිකඩ නොවන බවට උන්වහන්සේට පෙනුණා. මෙම සිවුරු රෙද්ද මම ලබාදුන්නු සිවුර නොවෙයි නේද? කියමින් තිස්ස හාමුදුරුවන් වහන්සේ තම නැගණියගෙන් විමසන විට ඔය රෙද්ද හරිම ඝන රෙද්දක් නිසා එය තුනී කරල සකස් කළ බවට නැගණිය පිළිතුරු දෙනු ලැබුවා.

ඒ ආකාරයට ප්‍රකාශ කලාට පසුව එම හාමුදුරුවන් වහන්සේ මෙම රෙදිකඩ රැගෙන ගොස් සිවුරක් මසනු ලැබුවා. සිවුරක් මහලා, නවලා එම සිවුර පන්සලේ තැබුවා. උන්වහන්සේ ගේ සිවුරු හරිම වටිනා රෙද්දකින් මහපු නිසාම එහි වැඩි වටිනාකමක් තිබෙන බවට වැටහෙනවා. උන්වහන්සේ සිවුර පිළිබඳව ආසාවෙන් එය උදේ වරුවෙත් රැගෙන ඒ දෙස බලනවා. නැවත පසු දිනත් උදේට සිවුර දෙස ආසාවෙන් බලනවා විනා සිවුර පොරවා ගත්තේ නැහැ. මෙම සිවුර පොරවා ගතහොත් සිවුර කිළිටි වෙයි. එනිසා පසුව දවසක පොරවා ගන්නවා යැයි සිතමින් සිවුරට ආදරෙන් සිවුර පසෙකින් තියලා තිබ්බා. මේ ආකාරයට ටික කලක් ගත වන විට තිස්ස හාමුදුරුවන් හදිසියේ අසනීප වෙලා අපවත් වුණා. උන්වහන්සේ අසනීප වූ අවස්ථාවෙත් උන්වහන්සේට වැඩිපුරම මතකයට පැමිණුනේ උන්වහන්සේ ඉතාම ආදරයෙන් ආරක්ෂා කරනු ලැබු කඨින චීවරයයි. වස් සමාදන් වීමේදි පන්සලේ දායකයන් පූජාකරනු ලැබු කඨින චීවරයට ආසාවෙන් අපවත් වූණ නිසා එම සිවුරු රෙද්දෙහි කාවෙක් වෙලා උප්පත්තිය ලැබුවා. මේ ආකාරයට කාවෙක් ලෙස උප්පත්තිය ලබපු මෙම ස්වාමීන් වහන්සේ දින හතක් ඒ ආකාරයට සිවුරේ වාසය කරනු ලැබුවා. ඉන්පසුව එම සතා මිය පරලොව ගියාට පසුව තුසිත දෙව්ලොව උප්පත්තිය ලැබුවා. මෙම සිදුවීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ කළ ධර්ම දේශනාව වුණේ මිනිසාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි. වස්කාලය තුළ පන්සලේ හතර පේරුවේ දායක කාරකාදීන් භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරනවා. භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරන විට එම සිවුපසය ලබන භික්ෂූන් වහන්සේලාගේ හිත අල්පේච්ඡතාව අරමුණු කොටගෙන අධ්‍යාත්මික පැත්ත දියුණු කරන්නත් පුළුවන් වගේම බහුඉච්චතාවය පාදක කරගෙන කාමසුකල්ලිකානුයෝගී පැත්ත දියුණු කරන්නත් පුළුවන්. ලැබෙන සිවුපසයම තමන්ගේ මනස අනුව ඒ ඒ පැත්තට සිත යොමු කරන්න පුළුවන්. තිස්ස හාමුදුරුවන්ට එක්තරා ආකාරයක ශෝකි තත්ත්වයක් උදාවුණේ. වස් සමාදන්වීම හොඳින් නිවැරැදිව ඉටු කරනු ලැබුවත්, ගිහියන්ට අවශ්‍ය උපදෙස් කරුණු කාරණා හොඳින් නිවැරැදිව ලබා දුන්නත්, තමාගේ අධ්‍යාත්මික පක්ෂයේ දියුණුව කරා ළඟාවීමට නොහැකි වුනා. ඒ වගේම එම සිවුපසයෙන් ලබපු ආසාව තෘප්තිය නිසාම එම සිවුරෙහි කාවෙක් ලෙස උප්පත්තිය සකස්කර ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මලකඩ හටගනු ලබන්නේ යකඩයක් තුළ බවයි. යකඩයක් නැතිව මළකඩ හටගන්නේ නැහැ. මලකඩ හටගනු ලබන්නේ යකඩයෙන් යකඩය නිසයි මළකඩ හටගනු ලබන්නේ යකඩය නිසා යකඩයේම හැදෙන මළකඩ විසින් පළමුවෙන්ම විනාශ කරනු ලබන්නේ එම යකඩයමයි. මේ ආකාරයට මිනිසාගේ මනස යහපත් පැත්තට නැඹුරු කළාට පසුව යහපත් ප්‍රතිඵලත් අයහපත් පැත්තට යොමු කළ විට අයහපත් ප්‍රතිඵලත් ලබාගන්නට පුළුවන්ය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් දේශනා කළා.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]