UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා වහන්සේට හා සතර මහා දෙවිවරුන් උදෙසා කරන්නාවූ පූජාවක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා වහන්සේට හා සතර මහා දෙවිවරුන් උදෙසා කරන්නාවූ පූජාවක්


මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ
දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල

හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන්නා වූ ශ්‍රී දළදා මැදුරේ වාර්ෂිකව පවත්වන්නා වූ සතර මංගල්‍යයන්ගෙන් දෙස් විදෙස් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද වැඩිම අවධානයට ලක්වන්නා වූ මංගල්‍යයයි.

සතර මහ දේවාලයන්හි කප්සිටුවීමෙන් ආරම්භ වී ඉන් දින 15 කට පසු දහවල් පෙරහර පැවැත්වීමෙන් නිමාවට පත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය, විචිත්‍රවත්ව, පෞරාණික චාරිත්‍ර ගරු කරමින් පවත්වා අවසන් කිරීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ටය.

එම ධුරයේ දසවසරක් කටයුතු කරමින් මේ වන විට ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ලෙස රාජකාරි කරන ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර පෙරහර සංවිධානය කරන්නේ එකොළොස්වන වරටය. මෙවර පෙරහර මංගල්‍යය සංවිධානය පිළිබඳව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් අතීතයේ පටන් මෙරට රජවරු මෙන්ම ජනතාව දළදා වහන්සේ උදෙසා පූජෝපහාර දැක්වූවා. මේ වන විට මහනුවර ඇසළ පෙරහර මෙරට සංස්කෘතියේ කැඩපතක් බවට පත්ව තිබෙනවා. සංස්කෘතිය හා බද්ධව පවතින මෙම මහා පූජෝපහාර මංගල්‍යය විචිත්‍රවත්ව පැවැත්වීම භාරදූර වගකීමක් නේද ?

පිළිතුර – ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් ලෙස සලකා දළදා වහන්සේට පූජෝපහාර සිදුකරනවා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ දළදා වහන්සේයි. බුදුරජාණන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ කරවූ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින්නාවු මහනුවර දළදා මැදුර කෙරෙහි මේ නිසාම ලෝකවාසි බෞද්ධ අබෞද්ධ ජනතාවගේ අවධානය යොමුව තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙන දින වකවානු පිළිබඳව විශේෂයෙන් විදේශීය රටවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවෙනවා. ඒ මෙම පෙරහර මංගල්‍යය පවත්නා පෞරාණිකත්වය හා විචිත්‍රවය නිසයි. උඩරටට ආවේණික වූ නර්තන සම්ප්‍රදායන් ආරක්ෂා කැරගෙන පැමිණි නර්තන පාරම්පරික නියෝජනය කරමින් කලාකරුවන් දහසකට වැඩි පිරිසක් පෙරහරට සම්බන්ධවෙනවා. අලි ඇතුන් 80 ක් පමණ සම්බන්ධ වන වෙනත් පෙරහරක් නැහැ. දළදා වහන්සේ හා සතර මහා දෙවිවරුන්ට පූජෝපහාරයක් ලෙස පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යය පූජනීයත්වය හා ගෞරවයත් පෞරාණික චාරිත්‍රත් ආරක්ෂා කැර ගනිමින් සංවිධානය කිරීමේ වගකීම මට පැවරෙනවා. එම වගකීම දස වසරක් පුරා මා සාර්ථකව ඉටුකර තිබෙනවා. මෙවරත් මල්වතු අස්ගිරි උභය මහ විහාරිය මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ පූර්ණ ආශිර්වාදය ලබාගනිමින් අදාළ වගකීම ඉහළින්ම ඉටුකරනවා.












ප්‍රශ්නය – පෙරහරට සම්බන්ධ පෞරාණික චාරිත්‍ර රැසක් තිබෙනවා නේද ?

පිළිතුර – මහනුවර ඇසළ පෙරහර අදටත් සංවිධානය කරන්නේ පෞරාණික චාරිත්‍ර ඒ ආකාරයෙන්ම සුරකිමිනුයි. කප් සිටුවීමේ සිට ගැටඹේ තොටේදී දිය කපා දහවල් පෙරහර පවත්වා පෙරහර සාර්ථකව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් පැවැත්වූ බව දැක්වෙන සංදේශය අතිගරු ජනපතිතුමන්ට පිළිගන්වනතුරු සියලු දේ අතීතයේ පටන් පැවත එන සම්ප්‍රදායන් ගරු කරමින් සිදුකරනු ලබනවා. අලුත් නුවර දේවාලයෙන් පල නොදරපු කිරිගසක කඳක් කපා විෂ්ණු දේවාලයට ගෙනවිත් එය කොටස් හතරකට කපා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර මහා දේවාලයන්ට බාරදී කප් සිටුවීම සිදුකරනවා. පසුව එම දේවාල හතරෙ දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පවත්වනවා. කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර දින 05 ක් වීදි සංචාරය කරනවා. අවසන් රන්දෝලි මහ පෙරහර දින රාත්‍රියේ පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කැර දේවාල පෙරහර අලුයම් කාලයේ ගැටඹේ තොටට ගොස් දියකැපීමේ මංගල්‍යය සිදුකරනවා. දේවාල පෙරහර මහනුවර ශ්‍රී විනය නගයාර් කෝවිලේ සිට දහවල් ආරම්භවී ගෙඩිගේ විහාරය අසලදී දළදා මාළිගාවේ පෙරහරට එකතුවෙනවා. දවල් පෙරහරින් පසු දියවඩන නිලමේ, සතර දේවාල බස්නායක නිලමේවරු හා පිටිසර දේවාල නිලමේවරු පෙරහරින් ජනපති මැදුර වෙත ගොස් පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන සංදේශය ජනපතිතුමන්ට පිළිගන්වනවා. ඉන් පසුව මහනුවර ඇසළ පෙරහර නිල වශයෙන් නිමාවට පත්වෙනවා. මේ සියල්ල පෞරාණික චාරිත්‍ර ගරු කරමින් අඛණ්ඩව සිදුකර ගෙන එනවා.

ප්‍රශ්නය– පෙරහර සාර්ථක කැර ගැනීම සඳහා රජයෙන් ලැබෙන සහාය කෙබඳුද?

පිළිතුර – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කැර තිබෙනවා. සාමාන්‍යයෙන් පෙරහර සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3000 ක් පමණ යොදවනවා. ශ්‍රී ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියද විධිමත් ලෙස ප්‍රවාහන පහසුකම් ලබාදීමට දායකවෙනවා. ජලය, විදුලිය ඇතුළු පහසුකම් රැසක් රජයෙන් ලබාදෙනවා. මේ නිසා මහනුවර මහ නගර සභාවෙන් ලැබෙන දායකත්වය කෘතවේදීව සිහිපත් කරන්න කැමැතියි.

ප්‍රශ්නය – සාම්ප්‍රදායික කලාකරුවන් අද කලාව අතහැර වෙනත් වෘත්තින් වෙත නැඹුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ තුළ පෙරහරට අවශ්‍ය කලාකරුවන් සොයාගැනීම ගැටලුවක් නොවේද?

පිළිතුර – අතීතයේ පටන් පෙරහර මංගල්‍යය පැවැත්වුණේ රජුගේ මූලිකත්වයෙන්. රජු උපරිම අයුරින් පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වන්නට කටයුතු කළ බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වෙනවා. මෙහිදී රජු පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමේ මූලික අරමුණින් එක් එක් අයට වගකීම් පැවරීම සිදුකර තිබෙනවා. එම වගකීම් ඉටුකිරීම වෙනුවෙන් රජු ඔවුන්ට ඉඩකඩම් ඇතුළු නොයෙක් වරප්‍රසාද ලබාදී තිබෙනවා. එකල පාරම්පරික කලා ශිල්පීන් පෙරහරට සම්බන්ධ වුණේ තම වගකීමක් ඉෂ්ඨ කිරීම යන්න පෙරදැරි කරගෙනයි. කාලයත් සමඟ මෙම තත්ත්වය වෙනස්වීම නිසා වර්තමානය වන විට තරුණ පරම්පරාව ඔවුන්ගේ පාරම්පරික කලා ශිල්ප ප්‍රගුණ කිරීමෙන් වැළකී වෙනත් වෘත්තීන් වෙත නැඹුරුවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මෙම පාරම්පරික කලා ශිල්පීන් අගයමින් ඊට නිසි පිළිගැනීමක් ලබාදිය යුතුයි. අද වන විට යම් ප්‍රමාණයකට පාසල් මට්ටමින් මෙම පාරම්පරික නැටුම් ශිල්ප ප්‍රචලිත වන තත්ත්වයක් දක්නට ලැබෙනවා. උඩරට වෙස් නැටුම් කණ්ඩායම් බොහෝ පාසල්වල දක්නට ලැබීම සුබ ලකුණක්.

ප්‍රශ්නය – පෙරහරේ සාර්ථකත්වය මනින ඒක මිනුම් දණ්ඩක් බවට ඊට සහභාගිවන අලි ඇතුන් සංඛ්‍යාව පත්වෙලා .සධාතුක කරඬුව පත්වෙලා. සධාතුක කරඬුව වැඩමවන ඇතාගේ පටන් පෙරහරට සම්බන්ධ වන අලි ඇතුන් මඟින් පෙරහරට ඇත්තෙන්ම ගාම්භීරත්වයක් එකතුවෙනවා. ඒත් අද වන විට හීලෑ අලි ඇතුන්ගේ විශාල හිඟයක් පවතිනවා නේද ?

පිළිතුර – අද වන විට ලංකාවේ හීලෑ අලි ඇතුන් 161 දෙනකු පමණ සිටිනවා. මේ අතරින් අලි ඇතුන් 80 ක් පමණ මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගන්නවා. සධාතුක කරඬුව වැඩම කළ හැකි ඇතුන් අපිට ඉන්නේ හතරදෙනයි. ඉන්දි රාජා, නඳුන්ගමුවේ ඇතා, කතරගම වාසනා හා මිල්ලන්ගොඩ පොඩි ඇතා ඇරුනම මාළිගාවේ පෙරහර කරඬුව වැඩම කරවන්න පුළුවන් වෙනත් දළ ඇතෙකු ලංකාවේ නැහැ. මේ එක් ඇතෙකු කරඬුව වැඩම කරවද්දී දෑලට ඇත්තු දෙදෙනෙක් අවශ්‍යයි. නඳුන්ගමුවේ ඇතාට අවුරුදු 65 ක් විතර වයසයි. මේ ඇතාගෙන් පසු කරඬුව වැඩම කරවන්න ඒ වගේ වෙනත් ඇතෙක් නැහැ.මේ ඉන්න ඇත්තු වයසට යනකොට ඒ තැන ගන්න තවත් ඇත්තු කිහිපදෙනෙක්, පුහුණු කරවන්න ඕන .එහෙත් එහෙම කරන්න අපිට හොඳ ඇත්තු නැහැ. මෙය ඉදිරි අනාගතයේදී බරපතළ ප්‍රශ්නයක් වේවි.

ප්‍රශ්නය – දළදා මාළිගාවේත් ඇත් පන්තියක් ඉන්නවා නේද ?

පිළිතුර – මාළිගාවේ ඇත් පන්තියේ ඇත්තු නවයක් හා ඇලි තුන් දෙනෙකු සිටිනවා. වැඩි දෙනෙක් විදේශ රටවලින් ලැබුණු පරිත්‍යාග. තායි ඇතාත්, මිගාර ඇතාත්, කණ්ඩුල, නාලක හා කදිරා යන අලීන් මාලිගාවේ ඇත් පන්තියේ හිටියත් පෙරහරේ යන්න වාසනාව නැහැ. මේ අය පෙරහර කාලෙට සෑම වසරක මද කිපෙනවා. මාළිගාවේ ඇත් පන්තියේ ඉන්න ඉන්දි රාජ, ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා මාළිගාවට පූජාකළ ඇතෙක්, එයා පෙරහර කරඬුව වැඩම කරවනවා. වර්ෂ 2007 මියන්මාරයෙන් ලැබුණු මියන්රාජා හා බුරුම රාජා, දෑලේ ගමන් කරන්න හොඳින් පුහුණුව ලැබ තිබෙනවා.

ප්‍රශ්නය – මෙවර මහනුවර ඇසළ පෙරහරේදී පදික වේදිකාවන්හි ආසන වෙන්කිරීම් නොකර ජනතාවට පෙරහර නැරඹීමට අවකාශ ලබාදීමට තීරණය කැර තිබෙනවා නේද?

පිළිතුර – ඔව්, මෙවර මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා පරිදි ඵෙතිහාසික මහමළුව, පෙරහර නැරඹීමට පැමිණෙන මහජනතාවට නිදහස් කිරීමට කටයුතු කැර තිබෙනවා. වැවරවුමේ’ පදික වේදිකාව කොටස අධිකරණ නියෝගයක් මත නිදහස්ව තැබීමට නගර සභාව කටයුතු කැර තිබෙනවා. මේ අනුව මහමළුවේත් වැවරවුමේ පදික වේදිකාවෙත් ආසන පැනවීම් සිදුකරන්නේ නැහැ.

ප්‍රශ්නය – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට මෙරට මෙන්ම විදේශීය රටවලද ජනතාව පැමිණෙනවා. ඔවුනට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

පිළිතුර – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා වහන්සේට හා සතර මහ දෙවිවරුන් උදෙසා කරන්නාවු පූජෝපහාරයක් මිස සැණකෙළියක් නොවේ. මේ නිසා පෙරහර නැරඹීමට පැමිණෙන සැවොම ආගමික උත්සවයකට තමන් සහාගි වනවා කියන හැඟීමෙන් පැමිණෙන ලෙස මතක් කරනවා.


සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍ය ආගමික මෙන්ම සංස්කෘතික මහා පූජෝත්සවයකි

ශ්‍රී සුගත තථාගත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සුවාසූ දහසක් නිර්මල ශ්‍රී ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ ශ්‍රී දත්ත ධාතුන් වහන්සේ විෂයෙහි අනුරපුර කිත්සිරිමෙවන් මහරජතුමාගේ කාලයේ පටන් මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමාගේ කාලය දක්වා රාජරාජ මහාමාත්‍යාදීන් හා සාධු ජනයා නානාවිද පුද පූජෝත්සව පැවැත්වූහ. මෙකී පූජෝපහාරයන් අතර, චිරාගත සම්ප්‍රදායික පුද සිරිත් නොකඩ කොට පවත්වාගෙන එනු ලබන සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය ආගමික මෙන්ම සංස්කෘතික මහා පූජෝත්සවයකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජ මාහිමිපාණන් වහන්සේගේ ද අනුශාසනා ලබා, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලයන් හි පෙරහර ද දළදා පෙරහරට එක් කළ අතර, ඒ අනුව, එදා සිට අද දක්වා ජාතික ආගමික සංස්කෘතික කලා සංදර්ශනයක ස්වරූපයෙන් පැවැත්වෙන සෙංකඩගලපුර ශ්‍රී දළදා පෙරහර සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්තිය හා බෞද්ධ අබෞද්ධ සෑම සියලු දෙනාගේ නේත්‍රාභිනන්දනය හා චිත්තපී‍්‍රතියට හේතු වන්නේමය.

ඓතිහාසික පූජනීය ශ්‍රීමත් දන්තධාතූන් වහන්සේට ගෞරවෝපහාර පිණිස බුදුසරණ පුවත්පත මඟින් විශේෂ අතිරේකයක් පලකිරීමට කටයුතු යොදා තිබීම අප ඉතා අගය කොට සලකන අතර මේ සඳහා කැපවී කටයුතු කරන සෑම සියලු දෙනාට මෙවැනි යහපත් කටයුතු චිරාත්කාලයක් කරගෙනයාමට ත්‍රිවිධ රත්නයේ සහ ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


දේශයේ ප්‍රෞඪත්වය විදහාපාන හෙළ කලා මංගල්‍යයක් බවටපත්ව තිබේ

දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන විවිධ පූජෝපහාරයන් අතර ඇසළ පෙරහරට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. අප ශ්‍රී ලංකාද්වීපයට ලැබුණු බුදුපියාණන් වහන්සේගේ නිර්මල සර්වඥ ධාතූන් වහන්සේලා අතර දළදා වහන්සේ විෂයෙහි දෙස් විදෙස් බෞද්ධයන් තුළ මහත් ගෞරවයක් පවතී. අතීතයේ සිටම ශ්‍රී ලාංකික රජවරුන්ගේ පටන් සාමාන්‍ය ජනයා දක්වාම දළදා වහන්සේ කෙරෙහි ඇතිවූ මෙම ගෞරවාදරය නිසාවෙන්ම ඒ විෂයෙහි විවිධ පූජා චාරිත්‍ර ද ඇති වූ බව ප්‍රකටය.

කිත්සිරිමෙවන් රජ සමයේ දළදා වහන්සේ මෙරටට වැඩමවීමෙන් අනතුරුව ධම්මචක්ක ගේහ නම් වූ මුල් දළදා මැදුරේ සිට අභයගිරි වෙහෙරට පුද පෙරහරින් දළදා වහන්සේ වැඩම වීම මුල් කරගෙන ඇසළ පෙරහරේ සම්භවය සිදුවීයැයි බොහෝ වියත්තු අදහස් කරති. කෘෂිකර්මාන්තය සිය ජන ජීවිතය කර ගත් ශ්‍රී ලාංකිකයෝ නිසි කලට වැසි ඵල ලබා සිය ගොවිතැන් කටයුතු සරුසාර කරවනු වස් සොබා දහම දේවත්වයෙන් පිදීමට පුරුදුව සිටියහ. දළදා වහන්සේ වැනි පූජ්‍ය වස්තු මෙරටට ලැබීමත් සමඟ එකී පූජ්‍ය වස්තු විෂයෙහි අනේකවිධ පූජාවන් පවත්වා ආශිර්වාද ලැබීමටද ඔවුහු පුරුදුවී සිටියහ. ඇසළ මාසය තුළ දළදා පෙරහර පවත්වා එම අනුහසින් තම ජීවිතවලට මෙන්ම සිය දෛනික කටයුතුවලට ද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට ඔවුහු උත්සුක වූහ. මේනිසා දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මෙරට ජන ජීවිතය හා බැඳුණු හෙළයේ උසස්ම සංස්කෘතිකාංගය බවට පත්විය.

අද අප දකින මෙම අසිරිමත් දළදා පෙරහර මහනුවර යුගයේ ක්‍රමිකව සකස් වී ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරගනිමින් දේශයේ ප්‍රෞඪත්වය විදහාපාන හෙළ කලා මංගල්‍යයක් බවට පත්ව තිබේ. එමෙන්ම දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන සතර මංගල්‍ය අතර ප්‍රධානතම මංගල්‍යද මෙයයි. එබැවින් පූජනීයත්වයෙන් ද කලාත්මක බවින්ද ඓතිහාසික බවින්ද අනූන මෙම ඇසළ පෙරහර ශ්‍රී ලාංකික අපගේ ප්‍රෞඪත්වය ලොවට විදහාපාන අවස්ථාවක්ද වේ. උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත් කැපවීමත්, රජයෙන් සහ අනෙකුත් සංවිධාන වල අනුග්‍රහයත් ඇතිව සිදුකරන මෙම මාහැඟි දළදා පූජාවේ අනුහසින් ලක්වැසි සැමට යහපතක් උදාවේවායි ආශිංසනය කරම්හ.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]