UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත් පහන් කරන ඇසළ පෙරහර

සිත් පහන් කරන ඇසළ පෙරහර

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හතළිස්පස්වසක් පුරාවට දේශනා කළ සුවාසුදහසක් දහම් කඳින් පහස ලැබූ ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සිරිලක කන්ද උඩරට සෙංකඩගල පුරවර වාර්ෂිකව පවත්වන දළදා පෙරහර පූජා මහෝත්සවය මනුලොව පවත්නා ආගමික,ජාතික උත්සව අතරින් ප්‍රධානතම වන්නේය. මෙයට ප්‍රධාන හේතු කීපයක් ඇත.

01.ජීවමාන බුදුරදුන් වශයෙන් සලකන ශ්‍රී දළදා වහන්සේට පූජෝපහාර දැක්වීම , 02. සෙංකඩගල පුරවරය ස්වාභාවික සෞන්දර්යයෙන් සම්පූර්ණ වීම , 03. ආගමික ජාතික සිරිත්විරිත් ක්‍රියාත්මක වීම , 04. සිරිලක කලා මාධ්‍ය කේන්ද්‍රගතවීම , 05. වසර දහස් ගණනක් පුරාවට පවත්වාගෙන ඒම , 06. සිරිලක රාජ්‍ය බලය තහවුරු කරන ප්‍රධාන සංකේතය වීම අප බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදි පිරිනිවන් පෑ නමුත් තමන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ශාරීරික, පාරිභෝගික,උද්දේශික වශයෙන් ත්‍රිවිධ පූජ්‍ය වස්තූන් ශේෂවු බැවින් වන්දනා මාන කොට පින්දහම් කිරීමටත් ධර්මය ආරක්ෂාවූ බැවින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් කුසල් කොට නිවන් අවබෝධ කරගැනීමටත් හැකිවන්නේය.

එදවස මල්ල රජදරුවන් බුද්ධ ශරීරය ආදාහනය කිරීමෙන් අනතුරුව ශාරිරික ධාතුන් වහන්සේලා බෙදාවෙන් කරගත් අයුරු ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වී ඇත්තේය. දඨාවංශ, මහාවංශ, පූජාවලිය දළදා සිරිත් ආදි ග්‍රන්ථවල සඳහන් තොරුතුරු අනුව සතර දළදා වහන්සේලා අතරින් වම් දළදා වහන්සේ භාරතයේ කලිඟුරටේ සිට හේමමාලා , දන්ත කුමරු යන දෙදෙනා ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙණවුත් එදවස අනුරාධපුර රජකම් කළ කිත්සිරිමෙන් රජතුමාට බාරකළහ.

මහාවංශයේ දැක්වු පරිදි කිත්සිරිමෙවන් රජතුමා දළදා වහන්සේ වෙනුවෙන්ම ඉතා විසිතුරු ධම්මචක්ක නම් මන්දිරයක් කරවා ලංකා රාජ්‍යයෙන් තෙවරක් පුදා වර්ෂයක් පාසා පුද පෙරහර පැවැත්වූහ. පසුකාලීනව පැවැත්වු දළදා පුද පෙරහර පිළිබඳ විස්තර දළදා පුජාවලිය, ආදිකොට ඇති සිය ගණන් ඓතිහාසික ග්‍රන්ථවල හා වෙනත් වාර්තා, ශිලාලේඛන සාහිත්‍ය ග්‍රන්ථ වලින් දක්නට පුළුවන.

දළදා වහන්සේ හුදෙක් උතුම් පුජ්‍ය වස්තුවක් පමණක් නොව ලක්දිව රජදරුවන්ගේ රාජ්‍යත්වය ආරක්ෂා කළ ජනතා සිතුම් පැතුම් කේන්ද්‍රකරගත් ඉතා අනඟි සංකේතයක්ද විය. මේ නිසාම ප්‍රථමයෙන් වැඩසිටි අනුරාධපුර රාජධානියේ පටන් පිළිවෙළින් අනුරාධපුර ධම්මචක්කගෙහ, අභයගිරිය, පොළොන්නරු , වටදාගෙය, කොත්මලේ , දඹදෙනිය, බෙලිගල පර්වතය, විජයසුන්දරාරාමය , යාපහුව, ගඟසිරිපුර නියම්ගම්පාය, කෝට්ටේ රාජධානිය, සීතාවක වර්තමාන සෙංකඩගල පුරවර දක්වා රාජධානියෙන් රාජධානියට මන්දිරයෙන් මන්දිරයට වැඩමවමින් පුද පෙරහර පවත්වමින් රාජ්‍ය තන්ත්‍රය, ආරක්ෂා කරමින් කෝටි ප්‍රකෝටි ජනී ජනයාගේ අපේක්ෂාවන් සඵල කරමින් ලංකාධරණි තලයම පිංබිමක් කළ අයුරු සටහන් වන්නේය.

සෑම ආගමක්ම ආරක්ෂා පෝෂණය වන්නේ ඒවාට අයත් ප්‍රධාන සංකේත කේන්ද්‍රකරගත් ධන්‍ය පුණ්‍ය චින්තාවලියක් ජනතා හදවත් තුළ තහවුරු වීමෙනි.

කන්ද උඩරට සෙංකඩගල පුර රාජධානිය වශයෙන් තහවුරු කරගත් පළවෙනි විමලධර්ම සූරිය රජතුමා දෙල්ගමුව වැඩසිටි දළදා වහන්සේ හිරිපිටියේ දියවඩන රාළ හා දෙවනගල රතනාලංකාර හිමි යන දෙදෙනා විසින් සෙංකඩගල පුරවරයට වැඩමවා ගෙනවුත් රජමාලිගාව අසල මාලිගාවක් සාදා වඩා හිඳුවා මහත් පුද පූජා සිදුකළහ. එමෙන්ම ශ්‍රී විර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා එම දළදා මන්දිරය සුවිශාල කොට පුද පූජාවන් සිදුකිරීමට අවශ්‍ය අංගෝපාංග එක්කළහ. ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජතුමා ඉදිරිපස පත්තිරිප්පුව කරවා දළදා මාලිගාවේ උදාරත්වය වර්ධනය කළහ.

වසර දහස් ගණනක ආගමික ජාතික හා සංස්කෘතික ඉතිහාසයක් මෙම පෙරහර නිසාවෙන් ඉගෙනීමට හැකිවන්නේය. දර්ශන මාත්‍රයෙන්ම ශී‍්‍ර සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන සිද්ධින් මනසට යොමුවන විට ශ්‍රද්ධාව, කරුණාව ප්‍රඥාව, වීර්ය ඉවසීම, ප්‍රමෝදය වර්ධනය වෙමින් බුද්ධ චරිතයේ මෙන්ම ධර්මයේ හා ශාසන ඉතිහාසයේ සාධනීය සිද්ධීන් ඇසළ, නිකිණි, බිනර මාසවල කෙරෙන පෙරහර මංගල්‍ය වලින් මොනවට පිළිබිඹුවන්නේය. විශේෂයෙන් මහනුවර ශ්‍රී දළදා පෙරහර කරවන, කරන බලන අසන සෑම දෙනාටම චිත්ත සන්තානය තුළ ජනිතවන ප්‍රධාන අරමුණවන්නේ ශී‍්‍ර දළදා වහන්සේය. එම අරමුණ නිසා ඇතිවන ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, සතිපට්ඨානය, ප්‍රඥාව ආදි ලෝකෝත්තර කුසල චේතනා නිවන් අවබෝධය දක්වා ගමන් කරන්නේය.

මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ ලාංකික බෞද්ධ ශිෂ්ටාචාරය අඛණ්ඩව පවතින්නේ මෙම ඓතිහාසික ඇසළ මංගල්‍ය ආදි මහජනතා උපයෝගි වන ආගමික ජාතික උත්සව නිසාමය. ඉතා විචිත්‍ර,උදාර කලා මංගල්‍යයක් වශයෙන් දළදා පෙරහර මගල්‍යයට ලැබෙන තත්වය ලෝකයේ කිසිම ආගමික උත්සවයකට ලැබීම තබා සිතීමටවත් නොහැකි අසාමාන්‍ය ස්වභාවයක් ඇති නිසාම ලෝකයේ කලාකාමීන්, ඉතිහාසඥයන්, රාජ්‍ය පාලකයන් , ජනමාධ්‍ය වේදීන්,ආගමික නායකයින් තම තමන්ගේ විෂයන් දළදා පෙරහර ප්‍රධාන සංකේතය කරගෙන ඉෂ්ට සිද්ධ කරගන්නේ තම අයිතියක් වශයෙන් ආත්මිය හැඟීමෙනි.

ලාංකික ජනතාවගේ සෞන්දර්යාත්මක හැගීම් පොදු ප්‍රවණතාවයන් මාර්ගයෙන් සමස්ත මානව පරපුරටම ප්‍රකාශනයට පත්කෙරෙන්නේ ශී‍්‍ර දළදා පෙරහර මාධ්‍ය කරගෙනය. පෙරදිග සංගීතයේ ඉතා ගාම්භීර ආතත විතත, විතතාත ඝන සුසිරි යන පංචතූර්ය නාදය ප්‍රධානව වාදන, ගායන, සියදහස් ගණනින් ඇසෙනවිට දදකොඩි සේසත්, චාමර මද මද පවනේ සැලෙන විට ජනිත වන සෞන්දර්ය හැගීම් වෙනත් කිසිම ආගමික උත්සවයකින් නොලැබෙන්නේමය.

පරපුරෙන් පරපුරට සියවස් ගණනක් තුළ පැවතෙන උඩරට නර්තන කලාව මෙතරම් ජනපි‍්‍රයවීමට මෙන්ම දේශ දේශාන්තරව ප්‍රකටවීමට මෙන්ම ලෝකයේ කුමන නර්තනයකට වුවද දෙවන නොවන නාට්‍ය කලාවේ මුදුන් තලයටම පැමිණෙන්නට ශ්‍රී දළදා පෙරහර මූලාධාරවූ වග ප්‍රත්‍යක්ෂ වන්නේය. වාදනය, ගායනය, නර්තනය එක්වන්ව සියදහස් ගණනින් සෙමින් සෙමින් පියවර තබන විට දකින නෙතින්,අසන කනින් මෙන්ම මානසික අනුභූතියට අනුගතවන රස වින්දනය සිතා කියා ලියා නිම නොවන්නේය.

මනරම් සෙංකඩගල පරපුර මෙම දළදා පෙරහර පිළිබඳ ඉතිහාස අපට මතක් කරන්නේ අප බුදුරජාණන් වහන්සේට කරන උසස්ම පූජාවක් වශයෙනි. තමන් වහන්සේ මනුලොව වැඩ සිටිද්දී ශ්‍රාවක මහා සංඝරත්නය සමඟ නගර මධ්‍යයේ දෙවියන්, රජවරුන්, සිටුවරුන් හා පොදු ජනතාව පිරිවරාගෙන ශාන්ත දාන්තව වැඩ සිට ජනතා ආකල්ප සිතුම්, පැවතුම් අනුව නගරයෙන් නගරයට ගමින් ගමට චාරිකාවේ යෙදීම මොනවට පිළිබිඹුවන්නේ මෙම ශී‍්‍ර දළදා පෙරහරිනි.

අප බුදුරජාණන් වහන්සේ එදවස සපිරිවරින් චාරිකාවේ වැඩි ආකාරය මූර්තිමත් වන්නේ විචිත්‍ර ආභරණීන් සැරසුන හස්ති රාජයාගේ පිටමතින් වැඩමවන ශී‍්‍ර දළදා කරඬුව දැකීමෙනි. උඩුවියන්, පාවාඩ, සේසත් මුරායුධ මෙන්ම පංචතූර්ය නාදයද අප බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත ධන්‍ය පුණ්‍ය තේජෝබල පරාක්‍රමය මොනවට ප්‍රකාශ කරන්නේය. රාජබලය, බුද්ධබලය.එක්වන්ව මූර්තිමත්වන විට එය ජනතා ශුභසාධනයට මාර්ගෝපදේශකත්වයක් වන වග සාධනීය වශයෙන් මෙම අසහාය පෙරහර මංගල්‍යයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේය.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]