UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් සමන්විත ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන 262 වන මහා පෙරහර මංගල්‍යය එදා සහ අද

ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් සමන්විත ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන 262 වන මහා පෙරහර මංගල්‍යය එදා සහ අද

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතුන් වහන්සේ දෙනමත්, ලලාට ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතුන් වහන්සේලා අබ පියල් මුන් පියල් ප්‍රමාණයට ඉතිරිවූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදී ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ. එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොව ද එකනමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්) එකනමක් ගන්ධාර දේශයේද, එකනමක් කලිඟුරටේ ද වැඩ වසති. මේ අනුව නාග පුරයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා තුළ ද, එක නමක් වර්තමාන පකිස්ථානයේ කෞතුකාගාරයක සුරක්ෂිතව වැඩ වෙසෙති. වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතු මැණික්වලින් සමන්විතව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැවසන සේක.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 218 ක් ගතවන මොහොතේ මහා භාරතයේ අධිරාජයා බවට පත් වූ ධර්මාශෝක මහරජතුමා ලක්ෂ සංඛ්‍යාත ජනතාව යුද්ධයෙන් මියගිය නිසා අසීමිත සංවේගයට හා දුක්ඛදෝමනස්සයන්ට පත්ව නව හැවිරිදි නිග්‍රෝධ රහතන්වහන්සේ දැක ඉමහත් සතුටට පත්වූ මොහොතේ මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද සම්බුද්ධ ශරීරය හෙවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය දැක ඉමහත් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්වී, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් ධර්මය පිළිබඳ අවබෝධයක් ලබාගත් රජතුමා අසූහාරදහසක් ධර්මස්කන්ධ පිළිබඳ අසා වෙහෙර විහාර අසූහාරදහසක් සාදවා එකම දිනයේ ඒවායේ නිධානෝත්සව ආදිය සිදු කරමින් ඉන් අනතුරුව 3 වන ධර්ම සංගායනාවද පවත්වා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සැලසූ ආකාරයත්, ස්වකීය පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ, දියණිය වන සංඝමිත්තා තෙරණියත් ශ්‍රී ලංකාද්වීපයට එවා සම්බුද්ධ ශාසනය පිහිටුවීමට මූලාධාර වීමද ධර්මාශෝක මහරජතුමන්ගේ සුවිශේෂී උදාරතම ශාසනික සද්ක්‍රියාවයි.

අනතුරුව රජතුමා සම්බුද්ධ දේහය සිහැසින් දැක අප බුද්ධාලම්භන පී‍්‍රතියට පත්වූයේ සම්බුද්ධ රූපය ප්‍රතිමාවකට නඟා බුදුරජාණන් වහන්සේ උදෙසා පෙරහර පාඨලීපුත්‍ර, ඉසිපතන, ලුම්බිණි, කුසිනාරා, සාංචි ආදී බෞද්ධ සිද්ධස්ථානවල පවත්වා තිබෙන අයුරු තෙන්නකෝන් විමලානන්ද මහතා ද සඳහන්කොට ඇති අතර, ධර්මාශෝක අධිරාජයා රාජ්‍ය කළ පාඨලීපුත්ත නගරයේදී බුද්ධ ප්‍රතිමා සහිත පෙරහරක් පිළිබඳ විසිතුරු වර්ණනාවක් චීන ජාතික පාහියන් භික්ෂුවගේ වාර්තාවල සඳහන් වේ.

එකී වාර්තා අනුව සෑම අවුරුද්දේම දෙවන මස අටවක දා බුදුරදුන්ට උපහාර දැක්වීම පිණිස පිළිම පෙරහරක් පැවැත් වූ අතර ඒ සඳහා රෝද සහිත රථත්, උණ ලීයෙන් සාදන ලද අඩි 20ක් පමණ උසැති මාලක සාදා ඒවා තුළ බුද්ධ රූප තැන්පත්කොට විවිධ දේවතා රූපයන්ගෙන් අලංකාර කරන ලද රන්, රිදී, මුතු, මැණික්වලින් සරසන ලද ධජ පතාක වියන් ආදියෙන් සමන්විතව සතරකොණ චෛත්‍ය ගෘහ හතරකින් සමන්විත එවැනි රථ විස්සක් පමණ පෙරහර සඳහා යොදාගත් බවත් එකී පෙරහර දිනයන්හි සියලු භික්ෂූහු ද ගිහිපිරිස ද එක්රැස්ව සුවඳ දුම් මල් ආදිය පුදමින් නැටුම් ගැයුම් වාදන ද පැවැත් වූ අතර, බමුණන් එතැනට පැමිණ සියලු බුද්ධ ප්‍රතිමාවන් පිළිගත් ආකාරය ද සඳහන්කොට ඇත. පාහියන්ගේ මෙබඳු වාර්තා අනුව අශෝකාධිරාජ්‍ය සමය පටන්ම බෞද්ධ සංස්කෘතියට පෙරහරවල අංගයන් ඇතුළත් වූ ආකාරය දැක්වේ.

සංඝමිත්තා මහරහත් තෙරණිය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේ දී පෙරහර සම්බන්ධ වූ බව සඳහන් කර ඇත. එතැන් පටන් ලක්දිව පෙරහර ද ආරම්භවන්නට ඇතැයි සැලකේ. ධර්මාශෝක අධිරාජයා ද පැලලුප්නුවර සිට බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය දක්වා මාර්ගය සරසා පෙරහර පැවැත් වූ ආකාරයත් සඳහන් වේ.

දුටුගැමුණු රජතුමා ද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ස්වර්ණමාලි මහා සෑය තුළ නිදන් කරන මොහොතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයම සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතියට පත් වූ ආකාරයත් මහාවංශයේ සඳහන් වේ. ඒ අනුවම පසුකාලීන කලාකරුවන් අනුරාධපුරයෙහි සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නෙළා නොයෙක් පෙරහර ආදී උත්සව පැවැත් වූ ආකාරය ද සිතිය හැක.

මේ අයුරින් පෙරහර බෞද්ධ සංස්කෘතියේ අංගයක් බවට පත් වූ අතර, අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන පෙරහර එදා ගුහ සීහ රජු මරණයට පත්වීමෙන් අනතුරුව හේමමාලා දන්තකුමරු දෙපල දළදා වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩමවා රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට භාරදීමෙන් අනතුරුව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැඟ ප්‍රාතිහාර්යය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුද පෙරහර පවත්වමින් මුළු ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ. එතැන්පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත්කොට සෑම රජ කෙනෙක්ම ස්වකීය මාළිගාවේම තබමින් පුද පූජා පවත්වනුයේ බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ.

අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේ දී විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදි රජවරු ද ඒ ආකාරයෙන්ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත්විය. කාලිංග මාඝ චන්ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙනගිය අතර භික්ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපුගහක සඟවා බුරුමයට පැන ගියේ ය.

2 වන පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාළිගාව සමීපයෙහිම දළදා මාළිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වූ අතර, පරසතුරු ආක්‍රමණය හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසාත් දළදා වහන්සේ රැගෙන ගම්පොළට ද එයින් කෝට්ටේටද ගෙනගිය අතර, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ රත්නපුරය කුරුවිට දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගලයට සඟවා තබමින් රහසිගතව පුද පූජා පැවැත්විය.

පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශයත් එකදු උපසම්පදා භික්ෂුවක්වත් නැති වූ අතර, ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද විනාශයට පත් විය. නැවත රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමා කන්දඋඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවාගෙන රජුගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතුන් වහන්සේ නිදන්කොට පෝයමළු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්ෂූන් වහන්සේ 355 නමක් ඇතිකොට ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි කටයුතු සැලැස්වූ ආකාරය මහාවංශයේ 92 පරිච්ඡේදයෙහි දැක්වේ.

පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේදී දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාළිගාවක් සාදවා එහි තැන්පත්කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්ෂූන් වැඩමවා පුද පූජා පැවැත් වූ ආකාරයද මැනවින් සඳහන් වේ.

මේ අයුරින් දළදා වහන්සේට පුදපූජාවන් පවත්වන අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය වනවිට එකඳු උපසම්පදා භික්ෂුවක්වත් නැතිව සම්බුද්ධ ශාසනයත්, ධර්ම ශාස්ත්‍රයත් අන්ත පරිහානියට පත් වූ වකවානුවක වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේගේ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ ශ්‍රද්ධාවත්, අනුග්‍රහයත්, බලවත් උත්සාහයත් නිසාම ලක්දිවින් කෝට්ටේ යුගයේ දී සියම් රටට රැගෙනගිය උපසම්පදාවත් බුදුපිළිමයත්, බෝධීන්වහන්සේත්, ත්‍රිපිටකයත් වැඩ වසන බව දැනගෙන නැවතත් සියම් රටෙන් උපාලි හිමියන් ඇතුළු පිරිස ගෙන්වා රාජ්‍ය වර්ෂ 1753 ජූලි 15 වන දින ඇසළ පොහෝදා රජතුමාගේ මල්වත්ත පූජාකොට එහි ඉදිකරවන ලද රජතුමාගේ රාජස්ථාන ශාලාවම විසුංගාම පෝයසීමාව බවට පත් කොට පළමු වරට කොබ්බෑකඩුවේ, වැලිවිට, තිබ්බටුවාවේ යන හිමිවරු ඇතුළු පෝයමළු විහාරයෙන් පස්නමක් ද අස්ගිරි විහාරයෙන් නාවින්නේ හිමියන්ද යන සය නම උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනය ආරම්භ කළ අතර, එතැන් පටන් ලක්දිව නොයෙකුත්, ප්‍රදේශවලින් පැමිණි සාමණේරයන් වහන්සේලා මල්වතු විහාර උපෝසථාගාරයේද ඉන් අනතුරුව 1762 සිට අස්ගිරි විහාර උපෝසථාගාරයේ දී උපසම්පදා කරමින් අද දක්වාම සම්බුද්ධ ශාසනය පැවැත්වීමට කටයුතු සැලැස්වීය.

ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා විහාරයීය භික්ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහර බලන අවස්ථාවේදී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරන ලද යෝජනා හා අදහස් ද, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස් වීය.

දළදා වහන්සේ උදෙසා මෙවන් පෙරහරක් ක්‍රි.ව. 112 දී ගජබා රජතුමා සොලීන් විසින් පැහැරගෙන ගිය පාත්‍රා ධාතුන් වහන්සේ හා දේවාහරණත් සිංහලයන් 12000 ක් හා මැරූ අය වෙනුවට ගෙනා සොලීන් 12000 යන 24000 ක් ගෙනවුත් පුද පෙරහර පැවැත් වූ ආකාරය පූජාවලිය, රාජාවලිය හා පැරකුම්බා සිරිතේ සඳහන් වන අතරම එකී ගජබා රජතුමා විසින් ක්‍රි.ව. 112 දී සෝමවතියේ පිහිටුවා ඇති සෙල්ලිපියේ සඳහන් අයුරින් එම විජයග්‍රහණයෙන් සතුටු වූ භික්ෂූන් වහන්සේ “යුද්ධ ජයග්‍රාහක”යන ගෞරව නාමය එකී රජතුමාට පිරිනැමූ ආකාරය එම සෙල්ලිපියේ සඳහන් වන අතර, රජතුමා රාජකීය ඇළක් කප්පවා එම ප්‍රදේශය මණිඅගිය හෙවත් සෝමවතී විහාරයට පිදූ බව සඳහන් වේ.

මේ අයුරින් වර්ෂ 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ මෙම පෙරහර බ්‍රිතාන්‍ය පාලකයන් නැවැත්වීය. එකල දැඩි නියඟයක් ඇති විය. මෙයට හේතුව පෙරහර නොපැවැත්වීම නිසා යැයි භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත් එසේ නම් පෙරහර පවත්වා වැසිවස්සන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේ ය.

මල්වතු අස්ගිරි විහාරයීය භික්ෂූන් වහන්සේත් බෞද්ධ පිරිසත් එකතුවී චාරිත්‍රානුකූලව පෙරහර පටන්ගෙන දෙවන දිනයේම දැඩි නියඟය අවසන් කරමින් මහා වැසි ඇද හැලී මහා ගංවතුරක් ඇති වූ ආකාරය දළදා වතුර නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙසේ මල්වැස්සක් මෙන් පටන් ගත් වැස්ස මහා ධාරානිපාත වැස්සක් බවට පත්විය. එමෙන්ම දළදාවලිය නම් කාව්‍යයේ ද දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගණනාවක්ම සඳහන් වේ. දඹදෙණි යුගයේ විජයබාහු රජතුමාට මල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක ගලක් පිපිරී අරුම පුදුම ගල්මලක් මතුවිය. එම රජතුමා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට පුසුල්පිටිය නම් ස්ථානයෙන් කරඬුව රැගෙන යන විට දළදා වහන්සේ අහසට පැනනැඟී ආකාරයත් සඳහන් වේ.

ඉංගී‍්‍රසීන්ට යටත්වීමෙන් පසු වසර කීපයක් පෙරහර නොපැවැත්වූ අතර, ක්‍රි.ව. 1828 මැයි 29 වැනි දින සර් රඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගෙන් අවසර ලබාගත් රදලවරුන් විසින් මුලපටන්ම පවත්වාගෙන ආ පැරණි සම්ප්‍රදායනුකූලවම පෙරහර පැවැත් වූ බව ඒ පිළිබඳ සඳහන් විස්තරය තුළින් මනා අවබෝධයක් ලබාගත හැක.

එම පෙරහරේ දී සංඝයා වහන්සේට වැඩ විසීමට දිග අඩි 239 හා පළලින් අඩි 60 ක මණ්ඩපයක් ද ආණ්ඩුකාරතුමා ඇතුළු ඉංගී‍්‍රසි මහත්වරුන්ට හිඳීමට දිග අඩි 30 හා පළල අඩි 08 ක් සහිත මණ්ඩපයක්ද උඩපාත දෙරට රදලවරුන්ට සිටීමට දිග අඩි 100 ක් හා පළල අඩි 30 ක් සහිත මණ්ඩපයක් ද පත්තිරිප්පුව ළඟ සාදවා මණ්ඩප වටේ තොරන් 53 ක් බැඳ නොයෙක් සැරසිලිවලින් යුක්තකොට මහමළුවේ සතර කෝරළේ දිසාව, සත්කෝරළේ දිසාව, මාතලේ දිසාව කොඩි හා ධජ පතාක නංන්වා සුදුවැලි ඉස සරසා වීදිද සැරසූහ.

අනතුරුව දර්ශනීය පෙරහරකින් ආණ්ඩුකාරතුමා මාලිගාවේ දළදා වහන්සේ වැඩවසන කුටියට පමුණවා පෙරහරේ වැඩමවන කරඬුව එතුමා අතට දී ගෙනවුත් සරසා ඇති ඇතාපිට රන්සිවිගෙයි තැන්පත් කරන ලදී. ඊටපසු පල්ලෙ ගම්පහ නිලමේ සහ රදලවරුනුත් මළුවට අවුත් මහනිලමේ විසින් පෙරහර සූදානම්කිරීමට උපදෙස් දුන් සැටි මෙසේ දැක්වේ.

පළමු ඇත්තු 03 සහිත හස්තියා කොඩිය සහ වෙනත් අත්කොඩි පිළි ඇතුළු රිදී අංකුසයක් අතින්ගත් ගජනායක නිලමේ, 02 මහකොඩිය හා වෙනත් අත්කොඩි ඇතුළු රිදී පටිස්ථානයක් අතින්ගත් කොඩිතුවක්කු ලේකම් හා පිරිස, 03 සතරකෝරළේ ඉර සඳ කොඩිය හා අත් කොඩි රන් හා රිදී වේවැලක් අතින් ගත් එම දිසාව ඇතුළු පිරිස, 05 වෙනුව මාතලේ දිසාවේ සුදුසු කොඩිය හා අත් කොඩිය ඇතුළු රීදී පටිස්ථානයක් සහිත එම දිසාව හා පිරිස, 06 වෙනුව සබරගමු දිසාවේ පටරෙදි කොඩිය ඇතුළු රිදී පිටිස්ථානයක් අතින්ගත් එම දිසාව හා පිරිස, 07 වෙනුව කෝරළ තුනේ භේරුණ්ඩය කොඩිය සහ එම පිරිස, 08 වෙනුව වලපනේ දිසාවේ මයුරයා කොඩි හා අත් කොඩිය ඇතුළු රිදී පටිස්ථානයක් අතින්ගත් එම පිරිස, 09 වෙනුව උඩපළාත දිසාවේ නෙළුම්මල් කොඩිය ඇතුළු රිදී පටිස්ථානය අතින්ගත් එම දිශාව ඇතුළු මොහොට්ටාල ආදී පිරිස පිළිවෙළින් දළදා කරඬුව ළඟ පෙළ ගැසීම, 10 වෙනුව දළදා මාළිගාවේ කොඩි පිළිබඳ සිංහාරක්කාරයෝද, නැට්ටුවන් හා බෙරකාරයෝද තලි කාරයෝද, තම්බෝරුකාරයන් සහ පුරම්පේතුකාරයෝද? නාගසින්නම්කාරයෝද, සක්දුරකාරයෝද, අත්පන්දම් කාරයෝ ද, කීලපන්දම් කාරයෝද, නීලපන්දම් කාරයෝ ද දෙපස සැදී සිටියහ. 20 වෙනුව රිදී ධවන පත්‍රයක් අතින්ගත් මොරපේ දේවාලයේ බස්නායක නිලමේ, රිදී පළිහක් අතින්ගත් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ, සුදු සෙමර වල්විදුනාවක් අතින්ගත් රන්කොත් දිවෙල රාළහාමි යන තුන්පොල රත්තරන් වැඩ ඇති රක්ත වර්ණ, තාප්පසැට්ටයක් පොරවාපු කිරිඔරුවේ ඇත්නාම්බා පිටද, දකුණු පයින් රිදී ධවල පත්‍රයක් අතැති වේගිරියේ අම්බැක්ක දේවාලයේ බස්නායක නිලමේ, රතුවිල් ගෙඩි සේසතක් අතින්ගත් අතපත්තු ලේකම් රාලහාමි, රිදී පළිහක් ඇතැති හඟුරන්කෙත දේවාලයේ බස්නායක නිලමේ, රිදී වැඩ ඇති රතු කාප්ප හැට්ටයක් පොරවාපු වල්ලියා යන ඇත්නාම්බා පිටද, වම්පස රිදී ධවල පත්‍රයක් අතැති තුවක්කුකාර ලේකම්, රතුවිල්ලොඩි සේසතක් අතින් ගත් කිරිඳිගල්ලේ දේවාලයේ බස්නායක නිලමේ, රිදි පළහක් අතින්ගත් ගණේගොඩ දේවාලයේ බස්නායක නිලමේ යන තුන් පොල රිදීවැඩ ඇති රතුකාප්ප සැට්ටයක් පෙරවූ බුලත්ගමයා යන ඇත්නාම්බා පිටද,

21 කසකාරයෝද, පල්ලේගම් පහේ මහනිලමේ ද, මාතලේ දිසාව, උඩපළාතේ දිසාව, දළදා මාළිගාවේ දියවඩන නිලමේ හා ගජනායක නිලමේ, 22 ගිනිදැල් වූ රිදීපන්දම් ද 23 වෙනුව රන්තහඩු පටකඩදාසි ආදියෙන් කළ විසිතරුª මල්ගස් ගත් පිරිසද, 24 පටවස්ත්‍රාදී නොයෙක් වටිනා වස්ත්‍රවලින් සර්වාංගය වැසූ සැට්ටයක් හා කුම්බස්තලයට රන්බොක්කාල දෙකක්ද හිසට වටිනා මැණික් බඳිනාලද ස්වර්ණමය වූ ලක්ෂ්මි රූපයක් ද, කැටයම් සහිත රන්ත්‍රරම් නෙත්ති මාලයද, දළදෙකට කොණ්ඩායම් එල්වන ලද ගල්බැඳි රන්කොපු දෙකක් ද කථණ යුගලයට රත්තරන් මිට සහිත සුදු පැහැති සෙමරවලින් කළ වල්විදුනා දෙකක් ද, ඉදිරියේ කකුල්දෙකට ගිගිරි වළලු දෙකක් ද ආදියෙන් සැරසූ 45 ඇත්නාම්බා පිට වනපුටුව බැඳ පිටඋඩ රන්සිව්ගෙයක්පනවා ඒ තුළ රිදී දම්වැලින් එල්ලූ තොටිල්ල මැද පටලේන්සු බැඳ ඒ පිට රන්හිලිගෙයක් පනවා ලේන්සු පහක් අතුරා ඒ පිට නවරත්නයෙන් බැබළ වූ රන් දළදා කරඬුව වැඩමවා ඒ මත විසිතුරු මල් වියනක් අල්වාගෙන වට්ටෝරුකම් කරන අය වඩන තලාතු අරගෙන බිමින් ගමන් කළහ.

දකුණු පසින් දෑසමන් පිරූ රන්තැටියක් ගත් මහ ගබඩා නිලමේ ද, රන්කමින් යුත් රතුවිල්ලොඩි සේසතක් අතින්ගත් පස්ගම දේවාලයේ බස්නායක නිලමේ ද, රන් පළිහක් අතින්ගත් නානායක්කාර ලේකම්, කෙන්ගල්ලේ කුඩා ඇත්නාම්බා පිට ද, වම්පැත්තේ එසේම ගබඩා නිලමේ ද කතරගම දේවාලයේ බස්නායක නිලමේද, වලහගොඩ දේවාලයේ බස්නායක නිලමේද, ඇම්බැක්කේ ඇත්නාම්බා පිටද ඊට පසුව කවිකාර මඩුව ද, 26 වෙනුව දන්තුරේ දේවාලයේ බස්නායක නිලමේත්, කැන්දවල දේවාලයේ බස්නායක නිලමේ ද, මහබද්ද ලැබී තිබුණ රාලහාමිද, නැලිගමයා යන ඇත්නාම්බා පිටද, එසේම ගබඩා නිලමේද, නානායක්කාර ලේකම්, නුවරකලාවියේ දිසාව, මහදේවාලයේ බස්නායක නිලමේ, කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ, විල්බාවේ දේවාලයේ බස්නායක නිලමේ දකුණු පස ගමන් කළහ. 27 වෙනුවට මහලේකම් ඇත්කඳ ලිහිණියා ඇති කොඩිය, 28 වෙනුව මල්වත්තේ හා අස්ගිරියේ විහාරවල මහනායක අනුනායක කාරක මහා සංඝයා අතුරෙන් 12 නමක් ද, 29 වෙනුවට වෙඩිකාර ලේකම් හා රතුපටකොඩිය ඇති පිරිසද, 30 වෙනුව, නානායක්කාර ලේකම් හා පිරිස ද, 31 තුවක්කුකාර ලේකම් සුදු පටකොඩිය ඇතුළු පිරිසද, 32 වෙනුවට පඩිකාර ලේකම් මහතා ඇතුළු රතුපටකොඩිය සමඟ එම පිරිස, දළදා මාළිගාවේ වාහල්කඩින් නික්ම, ස්වර්ණ කල්‍යාන වීදිය, යටිනුවර වීදිය, රිදී වීදිය, නාගහ වීදිය, උඩුනුවර වීදිය යන වීදිවල පෙරහරකොට මළුවේ මණ්ඩපයට පැමිණ පෙරපරිද්දෙන්ම කරඬුව මහනිලමේ අතින් ආණ්ඩුකාරතුමාට ද ආණ්ඩුකාරතුමා අතින් මල්වත්තේ මහනාහිමියන් අතට දුන් පසු උන්වහන්සේ එම කරඬුව නිසි ස්ථානයේ තැන්පත් කළහ. මේ කරුණු අනුව ක්‍රි.. 1828 වන විට යටත් විජිත යුගයක වුවද දළදා පෙරහර පෞරාණික සම්ප්‍රදායානුකූලව පැවැත්වූ ආකාරය මනාව සිහියට නැඟේ.

වර්තමානය වන විට මෙම පෞරාණික සම්ප්‍රදායන් ගිලිහී යාමට නොදී අතීතය සිහිපත් කරවමින් පොළොන්නරු යුගයෙන් පසු 2006 වර්ෂයේ දී සෝමවතී චෛත්‍යරාජයා අබියස දළදා පෙරහර පැවැත්වීමට ආරම්භ කළ නමුත් කැලේ සිටින වල් අලි නිසා ඇතෙක් පෙරහරට සොයා ගැනීමට නොහැකිවිය. අලි ඇතුන් රහිතව පෙරහර වර්ෂ 03 ක් පැවැත්වීමට සිදුවූයේ ඉමහත් කනස්සල්ලෙනි. එනමුත් 2009 වසර වන විට බෝධීන් වහන්සේගෙන් රන්මල් හා රන් දලු මතු විය. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජයවික්‍රම පෙරේරා මැතිතුමා හා සිරිපාල ගම්ලත් ඇමතිතුමා ඇතුළු සැදැහැවතුන් මුල්වී සිව්වන වරටත් පෙරහර අලි ඇතුන් රහිතවම පැවැත්වීමට තීරණය කළ නමුත් 2009 පොසොන් පොහෝ දිනට පසුදින උදේ සෝමවතී චෛත්‍යාරාජයාගේ ගර්භය තුළින් අලි ඇතුන් සහිත පෙරහරක් එළියට පැමිණ ප්‍රදක්ෂිණා කිරීමත්, එම මස 28 වැනි දින රාත්‍රී 7.45 ට පමණ රතුවර්ණ සැට්ටයකින් හා රන් ආභරණින් සැරසූ සුදු ඇත් පැටවෙක් චෛත්‍යරාජයා ඇතුළෙන් එළියට අවුත් කුඩා ළමයෙකුගේ ඇඟේ හැප්පී නැවතත් දාගැබ තුළට ඇතුල්වීමත්, සියැසින් දැක ඡායාරූප ගතකර ඇති අතරම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කායම හෙවත් බුද්ධ ශරීරයම 2013 පෙබරවාරි 04 දින පෙරවරු 1.30 ට චෛත්‍යයරාජයාගේ ගර්භය මත වැඩ සිටින ආකාරය සියැසින් දැක ඡායාරූපගතකොට සකල ලෝකයාටම අන්තර්ජාලය තුළින් හා ඡායාරූප හා සීඩී පට තුළින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවී ඇති බවද මෙහිලා සඳහන් කරමි.

මෙවන් දර්ශනයන් දැකීමෙන් ඉමහත් සතුටට පත්වූයේ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාගේ අනුග්‍රහයෙන් ඉන්දිරාජා නම් මහනුවර දළදා පෙරහරේ කරඬුව වඩම්මන හස්ථි රාජයාම ගෙනවුත් පෙරහර පවත්වනවාත් සමඟම එක දළක් ඇති ඇත් පැටියෙක් චෛත්‍යරාජයා වෙත පැමිණ අද දක්වාම සිටී. එසේම පෙරහර පටන්ගන්නා මොහොතේදී ඇතා සහිත කරඬුව චෛත්‍යාරාජයා සමීපයට වැඩමවනවාත් සමඟම දළදා වහන්සේ සහිත කරඬුව ෂඩ්වර්ණ රශ්මියෙන් බබළමින් චෛත්‍යරාජයාට ඉහළ අහසේ දිස්වෙනු දැකීමත් ඒ විගසම එකී කරඬුව ඡායාරූපගතකොට සියැසින් දැකබලා ගැනීමට ද සැලැස්වීම මෙවන් ඓතිහාසික පෙරහර නිසියාකාර ලෙස පැවැත්වීම අදාළ වගකිවයුතු සෑම දෙනාගේම පරම යුතුකමක් බව සිහිපත් කළයුතු අතරම, එකී සාම්ප්‍රදායන් අද දක්වාම මහනුවර සිරි දළදා පෙරහර තුළින් මොනවට විදහා දක්වමින් ක්‍රමවත්ව හෙළ කලාවත්, පෞරාණික සම්ප්‍රදායන් හා බෞද්ධ සංස්කෘතියත් දැක බලා ගැනීමෙන් පෙර අපර දෙදිග ලෝකයා මවිතයට පත් කරවමින් ඔවුන්ගේ අමන්දානන්දයට හා භක්ත්‍යාදර ගෞරවයට පාත්‍ර වූ ලාංකිකයාගේ ප්‍රෞඪත්වයත් , කලාකරුවාගේ සහජ දක්ෂතාවයත් ඔප්නංවන මෙම ඇසළ මහා උත්සවය හෙවත් මහනුවර ශ්‍රී දළදා පෙරහර ඒ අයුරින්ම සමස්ත ලෝකවාසී මහජනතාවට සියැසින් දැකබලා ගැනීමට සැලැස්වීම මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්හ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමගේ හා එකී මහ සඟරුවනේත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු අප ඔබ සැමගේ ඒකායන ප්‍රාර්ථනයයි.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]