UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සශ්‍රීකත්වයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ

සශ්‍රීකත්වයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ

මිනිසුන්ගේ හැසිරීමට අවශ්‍ය සාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම සංස්කෘතිය මගින් ඉටුකරනු ලබයි. එම සාරධර්ම පද්ධතියට එම සමාජය තුළ වෙසෙන මිනිසුන්ගේ චින්තනය මෙන්ම චින්තන විධීන් හා හැසිරීම් විධියද අඩංගුවේ. ශ්‍රී ලංකාවේ බහුතරය වූ බෞද්ධයන්ගේ කේන්ද්‍රීය සාරධර්ම පද්ධතිය තුළ දක්නට ලැබෙන භෞතික සහ භෞතික නොවන සංස්කෘතිය නිර්මාණය කරමින් සමස්ත සමාජයේ සාමාජික හැසිරීම කෙරෙහිත්, සමාජ ව්‍යුහය සකස්වීම කෙරෙහිත් බලපා ඇති ප්‍රධාන බලවේගයක් වන්නේ ශී‍්‍ර දළදා වහන්සේ විසින් ක්‍රි.ව. හතරවැනි සියවසේ සිට මේ දක්වා සියවස් දහහතක් පමණ කාලය තුළ ගොඩනඟා ඇති දළදා සංස්කෘතියයි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශී‍්‍ර ලංකාගමනයෙන් පසු ලක්දිවට වැඩම කරනු ලැබූ ශාරීරික ධාතුන් අතරින් බුදුරදුන්ගේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලද, ශාරීරික ධාතුන්වහන්සේ ලෙසින් සියවස් ගණනක් මුළුල්ලේ බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනීයත්වයට පාත්‍ර වූ ශී‍්‍ර දළදාව,බෞද්ධ සංකේතයක් ලෙසින් පමණක් නොව රාජ්‍යත්වයේ සංකේතයක් ලෙසින් ද පාලකයන්ගේ බලය හා තෙදවත් බව ජනිත කළ පූජ්‍ය වස්තුවක් ලෙසින්ද සශ්‍රීකත්වයේ හා සමෘද්ධියේ සංකේතයක් ලෙසින්ද ශී‍්‍ර ලාංකේය ඉතිහාසය තුළ දිගු කලක් මුළුල්ලේ වැජඹිණ.මේ නිසාම ආගමික හා සංස්කෘතික භූමිකාව තුළ ශී‍්‍ර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ දින සිටම සුවිශේෂිත පූජ්‍ය වස්තුවක් ලෙසින් සැලකිණි, ශී‍්‍ර දළදා වහන්සේ තරම් බෞද්ධයන් අතර වන්දනාමානයටත් ප්‍රශංසාවටත් පත්වූ තවත් ධාතුන් වහන්සේ නමක් නොමැති තරම්ය. මේ නිසා පසුකාලීනව අනුරාධපුර අගනුවර පොළොන්නරුවට මාරුවීමත් සමඟම දළදා වහන්සේ පොළොන්නරුවටත්, ඉක්බිති දඹදෙණිය, යාපහුව කුරුණෑගල හා මහනුවර දක්වා ඓතිහාසික ගමන තුළ දළදා වහන්සේ සුරක්ෂිත කරගැනීමත් රාජධානිය නිරිතටත්, දෙවනුව කන්ද උඩරටටත් ආරක්ෂාව පතා පැමිණි බව පෙනේ. මෙහිදී අතිශය වැදගත්ම කරුණ වන්නේ “රජවරුන් විසින් සෑම විටම තමන්ගේම මාළිගය අසල තැන්පත් කොට තබා ගන්නා ලද මෙම පූජනීය ධාතුන් වහන්සේ සිංහල රාජධානියෙහි ඉෂ්ට දේවත්වයෙන් ද පිදුම් ලදහ.මේ අනුව ශී‍්‍ර ලංකාවේ විවිධ ජන කොටස් වන ඒකීය සමාජ විඥානයකින් බැඳ තබමින් සමාජ ඒකාග්‍රතාවය ගෙන යන සුවිශේෂ සාරධර්ම පද්ධතියක් දළදා වහන්සේ වටාගොනුවී තිබේ. මේ නිසා ශී‍්‍ර ලංකාවේ රාජ්‍යත්වයට පත්වූ සෑම රජකෙනෙක්ම පාහේ දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ බුහුමන්, හරසර සහ ප්‍රදානයන් තුලින් ගම්‍ය වූයේ” දළදා වහන්සේ යමෙකු සතුවේ නම් රාජ්‍යය ද ඔහු සතුය” යන අදහස පමණක් නොව සිය දැහැමි බව වඩා මතුකරලීමටත් රජුගේ දැහැමි බව නිසි කලට වැසි ලැබ රට සශී‍්‍රකවීමේ හේතුවක් ලෙසින් ජනවිඥානගතව පැවැතීමත් සමඟ ශී‍්‍ර දළදා වහන්සේ හා රාජ්‍යත්වය අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත්වීම කෙරෙහි බලපානු ලැබූ කරුණක් විය.

බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ ලෙසින් සැලකෙන ශී‍්‍ර දළදාව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යයක් ලෙසින් පුරාතන අවධියේ සිටම සැලකූ අතර දළදාව හා සම්බන්ධ පූජා, අභිචාරවිධි හා චින්තන සම්ප්‍රදායන් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ද කලින් කලට ශී‍්‍ර ලාංකේය බොදුජන ජීවන පැවත්ම හා නිරන්තරයෙන් ඒකාබද්ධ වෙමින් පෝෂණය විය. නිසි කලට, වැසි ලැබ රට සශ්‍රීකවීද කාල විපත්වලින් තොර සෞභාග්‍ය ලැබීමේ බල මහිමයද ශී‍්‍ර දළදාව කෙරෙහි නිසි පුද පූජා සත්කාර දැක්වීම තුළින් ලැබෙන බව ලක්වැස්සෝ අතීතයේ සිටම බැතිබර සිතින් යුතුව විශ්වාස කළහ. එමෙන්ම පාලකයාගේ දැහැමි බවේ මෙන්ම පාලනයට ඇති උරුමයේ සංකේතයක් ලෙසින් සැලකීමේ සම්ප්‍රදාය ද ක්‍රියාකාරිත්වය හා දායකත්වය මෙන්ම අභිචාර විධි ඔස්සේ අතීතයේ සිටම ලක්වැසියාගේ ජනවිඥානයට බද්ධව පවතියි.

අප්‍රමාණ බල මහිමය

දළදා වහන්සේ සතු අප්‍රමාණ බල මහිමය සහ රටේ සශ්‍රීකත්වය මෙන්ම සමෘද්ධිය සඳහා අවශ්‍ය වර්ෂාව ලබාදීමට ඇති හැකියාව දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන දළදා පෙරහර සහ ඊට අදාළ පුද පූජාවලින් පැහැදිලිව පෙනීයන කරුණකි. කෘෂිකාර්මික රටක් වශයෙන් මෝසම් වැස්ස රටේ සමෘද්ධිය කෙරෙහි තීරණාත්මක සාධකයක් වී තිබේ. මේ නිසා වාර්ෂික දළදා පෙරහර යනු වැස්ස ලබා ගැනීම සඳහා දළදා වහන්සේ සහ සතර දේවාලවල දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන පූජෝත්සවයක් ලෙස ද හැඳින්වේ. දළදා වහන්සේ සතු වර්ෂාව ලබාදීමේ බලය පිළිබඳව චූලවංසය එක් අවස්ථාවක් ගැන මෙසේ සඳහන් කරයි. එනම් “දළදාව පෙරහරින් රැගෙන යන විට බලවත් වර්ෂාවක් පැවති නමුත් වළාකුළ පෙරහරට ඉදිරියෙන් ගිය බැවින් පෙරහරේ ගමන්ගත් අය කිසිදු දුෂ්කරතාවයකට පත් නොවුන බවය. ක්‍රි.ව. 1236-1270 අතර රාජ්‍ය කළ හතරවන පැරකුම්බා රජු විසින් පනවන ලද නීති පාඨයට අනුව “වැසි නොවස්නා කළෑ මෙමැ ලෙසින් දළදා පූජා කරනු ඉසා” යනුවෙන් දළදා සිරිතේ සඳහන් පාඨය තුළින් වැස්ස ලබා ගැනීම සඳහා දළදා වහන්සේ වැඩමවා පෙරහර කරවීම ලක්දිව ඉතා පැරණි යුගයේ සිටම පැවති චාරිත්‍රයක් විය. මේ නිසා වැස්ස ලබාදීමේ නිසැක හැකියාව ඇති වස්තූන් අතරට දළදා වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශී‍්‍ර දළදා මාළිගාව පෙරටු කොට ගෙන ඉටුකරන වාර්ෂික සතර මංගල්‍යය අතර පෙරහර මංගල්‍ය හා අලුත් සහල් මංගල්‍යය ප්‍රධාන තැනක් හිමි කර ගනියි. කෘෂිකාර්මික රටක වැස්ස ලබාගැනීම සඳහා දෙවියන්ගෙන් සහ බුදුන්ගෙන් කෙරෙන ඉල්ලීම උදෙසා කෙරෙන වාර්ෂික ඇසළ පූජාව, අලුත් සහල් මංගල්‍යය ලෙස ශී‍්‍ර ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදුවන්නේ පුරවැසියන් විසින් බුදුන් වහන්සේ වෙනුවෙන් වෙන් කළ සහල් ප්‍රථම වතාවට දළදා වහන්සේට පූජා කිරීමය.

ශී‍්‍ර ලංකාවට වැස්ස ලබාදීම කළ හැකි වස්තූන් අතර වැස්ස වලාහක දෙවියන්, දළදා වහන්සේ, ධාර්මික රජතුමා සහ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ යන ශූද්ධ වස්තූන් වැදගත් වේය යන්න දිගු කලක් මුළුල්ලේ ජනතාව විශ්වාස කළහ. එබැවින් ජනතාවගේ ආධ්‍යාත්මික සැනසුම උදාකළ පුජ්‍ය වස්තූන් ලෙසින් මෙන්ම ලෞකික අපේක්ෂා ඉටු කළ වස්තූන් ලෙසින්ද පූජ්‍යත්වයට පත් වූහ. නිදසුන් ලෙසින් 1815 දී ශ්‍රී ලංකාව ඉංගී‍්‍රසින් විසින් අත්පත්කර ගැනීමෙන් පසු දළදා වහන්සේට නිසි පරිදි චාරිත්‍ර වාරිත්‍ර ඉටු නොකිරිමත්, වාර්ෂික පෙරහර මංගල්‍යය නොපැවැත්වීමත් නිසා නියඟ කාල පරිච්ඡේදයක් උදාවීමත්, ආහාර හිඟය සහ කෙත් වතු විනාශවීමත් හේතුකොට ගෙන උඩරට ප්‍රධානින් සහ උභය මහා විහාරයේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි 1828 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගේ කාලයේ දළදා වහන්සේ වැඩමවා මහ පෙරහරක් කළ බව සඳහන් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මහ වැසි නොකඩවා ඇදහැළී ගංගා දෙගොඩතලා වට ජලයෙන් වැව් අමුණු කැඩී බිඳීගිය බවත් ඒ පුරාවෘත්ත කෙතරම් සුවිශේෂ වූයේ ද යත් “දළදා වතුර” නමින් සුවිශේෂ ග්‍රන්ථයක් නිර්මාණයවූ බව පෙනේ. මේ අනුව දළදා වහන්සේ යනු ලක්වැසියාට වැස්ස ලබාදෙන ආශ්චර්යමත් වස්තුව බව බොහෝ දෙනාගේ අදහසයි. වර්තමානයේදී වුවද දුර්භික්ෂ සමයක පෙරනිමිති පහළවත්ම දළදා වහන්සේ වෙනුවෙන් භාරහාර වීමත්, වැසි පිරිත් සජ්ඣායනා කිරීම වැනි වත් පිළිවෙත් සමුදායක් ක්‍රියාත්මක කිරීමත් දක්නට ලැබේ. ඇසළ පෙරහර අවසාන දිනයේදී පවත්වන දියකැපීමේ මංගල්‍යය මෙම වැස්ස ලබාදීම පිළිබඳව දෙවියන්ට කෙරෙන සංකේතාත්මක ක්‍රියාවලියක් ලෙස සැලකේ.

ලොව්තුරා බුදුන් වහන්සේ සතුව පැවති අසම සම ධර්ම ගුණය හා සර්වඥතා ඥානය හේතුකොට ගෙන මිනිසුන් විපතින් මුදා ගැනීමේ ශක්තිය උන්වහන්සේ ජීවත්ව සිටින කාලයේදි ප්‍රකට කළ ආකාරයටම දළදා වහන්සේටත්, ශී‍්‍ර ලංකා වැසියන්ට සිදුවන විපත්වලින් බේරාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කෙරේ. මෙම විශ්වාස පද්ධතියට අනුව ක්‍රියාකිරීම අනුරාධපුර යුගයේ සිටම පැවති බවට සාක්ෂි තිබේ. මේ නිසා ශී‍්‍ර ලංකා රාජ්‍යයේ රජුත් පුරවැසියනුත් බේරා ගැනීමට දළදා වහන්සේ සුරක්ෂිත කළ යුතුය යන අදහස මත දළදා වහන්සේ නිරිත දිග රාජධානි කරා ගෙන ගිය අතර පසුකාලීනව සෙංකඩගල පුරයේ නිත්‍ය ලෙස තැන්පත් කිරීමටත් මෙම සුරක්ෂිත භාවය පිළිබඳ පදනම හේතු විය.දළදා වහන්සේට කරනු ලබන පුද පූජා නිසි පරිදි ඉටු කිරීමෙන් රට විපත් සහ දුර්භික්ෂ වලින් බේරාගත හැකි බව පාහියන් හිමියන් සිය වාර්තාවේ සඳහන් කරයි.

“රාජධානියට දුර්භික්ෂවලින්, විපත්වලින් හෝ විප්ලවවලින් කිසිදු හානියක් සිදු නොවේ යයි පාහියන් හිමි කියා සිටියි. තවද දෙවැනි පරාක්‍රමබාහු සමයේදි නපුරු ග්‍රහ අපලයක් හේතුකොට ගෙන හටගත් නියඟයකින් රට වැනසීයාමට පටන්ගත් වේලේ නගරය වටා පෙරහරින් දන්ත ධාතුව ගෙන යන ලදී. ඉන් මහ වැසි ඇතිවිය. නියං සමයෙහි දළදාව පෙරහරින් ගෙනයා යුතු බැව් දළදා සිරිතෙන් නියම කරනු ලැබ ඇත. මේ අනුව පිරිත් සජ්ඣායනය කිරීමත් දළදාව පිළිබඳව වත්පිළිවෙත් ආදියත් සමඟ ලෙඩ සුවකිරීම, යකුන් පළවා හැරීම සහ විශේෂයෙන් වැසි වැස්ස වීම වැනි වැදගත් අද්භූත කාර්යයන් පිළිබද විශ්වාස සම්බන්ධ වී තිබූ බව පැහැදිලිය. මේ නිසා නිතිපතා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමත්හු රෝගාබාධවලින් නිරාවරණය වීම සඳහාත්, අපල උපද්‍රවවලින් බේරීම සඳහාත් දළදා වහන්සේට භාර වෙති. එපමණක් නොව මතු බුදුවන මෛත්‍රි බුදුන් වෙනුවෙන් ශී‍්‍ර නාථ දේවාලයේ විවිධ පුද සත්කාර ඉටුකරනු ලබන අතර ඒ අසල පිහිටා ඇති වැල් බෝධිය අතිශය හාස්කම් ඇති ස්ථානයක් ලෙස සලකා භාර හාර සහ පූද පුජා පවත්වති. මේ හැර බෞද්ධයකු වශයෙන් ඉපදුනු ශ්‍රී ලාංකිකයෝ ස්වකීය දරුවා පළමුවන තුන්මාසය තුළදී දළදා මාළිගාවට ගෙනවුත් වැඩ සිටින මාළිගාවේ ඉදිරිපස එළිපත්ත මත තබා දළදා වහන්සේට භාර කරති. විශේෂයෙන්ම දළදා මාළිගාව වටා පිහිටා ඇති සියලුම ප්‍රාදේශීය පාලනය යටතේ සිටින පුරවැසියන් මේ පුරුද්ද ඉෂ්ට කරනු ලබන්නේ රෝග සහ ග්‍රහ දෝෂත් අපලවලින් මිදී ශක්තිය ළඟා කර දෙන ලෙසත් ඉල්ලා ආයාචනය කරමිනි. එතුළින් ද දරුවන්ගේ යහපැවැත්ම දියුණුව හා අනාගත අභිවෘද්ධිය වේ. මේ ආකාරයට සිවුවැනි සියවසේ සිට දළදා වහන්සේ අතිපාරිශූද්ධ වස්තුවක් ලෙසින් සැලකීමේදි හුදෙක් ආධ්‍යාත්මික හා ලෞකික අපේක්ෂාවන් ද නිසි කලට ඉටු කරන පුජ්‍ය වස්තුවය යන අදහස නිරන්තරයෙන් ජනතාව විශ්වාස කළා පමණක් නොව වාර්ෂිකව සිය පුද පුජාවන් හා උත්සව සම්ප්‍රදායන් සඳහා ඒ පිණිස කාලයක් ද වෙන් කළහ. පෙරහර මංගල්‍ය වනාහී බුදුරදුන් වෙනුවෙන් පවත්වනු ලබන උපහාරයක් පමණක් නොව නිසිකලට වැසි ලබා ගැනීම, සශ්‍රීකත්වය අපේක්ෂකත්වය පිණිසත් එමඟින් ජන විඥානය සූදානම් කිරීමක් ද වන බව කිව යුතු ඇත.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]