Print this Article


ගම්පහ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරය

ගම්පහ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරය

සියවස් ගණනාවක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියාපාන උඩුගම්පොල ප්‍රදේශයේ පෙතියාගොඩ ගමෙහි පිහිටි මෙම ශාසනාලෝක පුරාණ විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ අද්විතීය නාමයක් ලබා තිබෙන වැදගත් වූ පින්බිමක් ලෙස හඳුන්වා දිය යුතු ය.

ලිඛිත සාධක අනුව 1915 ආරම්භ වී ඇති බව සිහිකරන මෙම පින්බිම ශතවර්ෂයක කාලයක් ශාසනික සේවයෙහි මෙන් ම සාමාජික සේවයෙහි සිටි බව මනාව පැහැදිලි වේ.

වසර ගණනාවක් විහාරස්ථානයක් නොතිබූ මෙම ප්‍රදේශයෙහි අන්‍ය ආගමික පවුලක උපන් නෙත්තිකුමාර හත්තැල්ලගේ මර්තේලිස් ෆොන්සේකා නම් වූ දරුවා ගමෙන් බැහැරව ගොස් බුදු දහම වැළඳ පැවිදි විය. එසේ පැවිදි වූ මෙම කුමරු පාලි භාෂා ශබ්ද ශාස්ත්‍ර මනාව අවබෝධ කර 1914 දී උපසම්පදාව ලබාගෙන ගමට පැමිණ සිය මිත්තනියගේ ඉඩමක කුඩා පොල්අතු පැලක් සාදා එහි ධර්ම දේශනා, බෝධිපූජාදිය පවත්වා ඇත. ඉන්පසුව ශාසනාලෝක සමිතිය නමින් සංවිධානයක් පිහිටුවාගෙන 1921 සංඝාවාසයක් ඉදිකර ඇත. මේ වර්ෂයේ දී ම බුද්ධ මන්දිරයක් ද සඳහා මුල්ගල තබන ලදී.

1954 දී මෙම විහාරස්ථානයේ සිසුමිණ නමින් දහම් පාසලක් ආරම්භ කර ඇති අතර එය වත්මන් දක්වාම පැවත්ණේ ය. මෙම විහාරස්ථානයට අඩුපාඩුවක්ව පවතී. චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ද 1955 දී ඉදිකිරීම ආරම්භ කරන ලදී.

මෙම පින්බිමෙහි ආදි කර්තෘවරයාණන් වහන්සේ ලෙසින් පිදුම් ලබන විචිත්‍රභාණක පරිත්තභාණක සංඝ ශෝභන කාව්‍ය ශ්‍රී වාදිභසිංහ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක ස්වාමීන් වහන්සේ ලංකාවේ විවිධ ප්‍රදේශවල දම්දෙසුම් සඳහා වැඩම කළ සේක. එසේ සංචාරය කරන අතර උන්වහන්සේ දැන හැඳිනගත් පින්වතුන්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වය ලබා ගනිමින් විහාරස්ථානය සංවර්ධනය කිරීමට ගත් වෙහෙස අපමණය. ඒ හේතුවෙන් ශාසනාලෝක විහාරය පෙතියාගොඩ ගමට පමණක් සීමා වූ විහාරස්ථානයක් නොවීය.

සකල විහාරංගයන්ගෙන් සමලංකෘත වී පවතින මෙම පින්බිම මෙතෙක් දුරට සංවර්ධනය කිරීමෙහිලා දායකත්වය දුන් උන්වහන්සේට සදාණය ගැතියි.

ශ්‍රී ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ ඇවෑමෙන් පසු මෙම විහාරස්ථානයේ භාරකාරීත්වය උඩුගම්පල දොඹවල ශ්‍රී සද්ධර්ම මහා පිරිවෙනට භාර විය.

එතැන් සිට මෙම විහාරස්ථානය උඩුගම්පොළ සදානන්ද ස්වාමීන් වහන්සේගේ විහාරාධිකාරීත්වය යටතේ පවතී. උන්වහන්සේ ආගමික හා සාමාජික ප්‍රතිපත්තීන් සුරකිමින් අගනා සේවයක් ඉටු කරන්නාහ.

මෙම විහාරස්ථානය ආරම්භ කොට ශත වර්ෂයක් නිමිතිකොටගෙන ආදි කතෘන් වහන්සේ ඇතුළු පරලොව සැපත් සියලු දායකකාරකාදීන්ට සෙත්පතා පින්පතා ජූලි 25 වන දින සිට ජූලි 30 වන දා දක්වා පින්කම් මාලාවක් පැවැත්විණි.