Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

දළදා සමිඳුගේ තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මෙවර මල්වතු මහා විහාර පාර්ශ්වයට

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදු කෙරෙන්නා වූ තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහ විහාර පාර්ශ්වය වෙත මාරුවීම පසුගිය දා සිදු කෙරුණි. රජ දවස පටන් පැවත එන චාරිත්‍රයන්ට අනුව වසරක් පාසා තේවා කටයුතු මල්වතු අස්ගිරි උභය මහා විහාර මඟින් සිදුකරනු ලබන අතර, ඉකුත් පොහෝදා තෙක් එම තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වය මඟින් ඉටු කරනු ලැබීය. තේවා මාරුව සිදුවන අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වැඩම කරනු ලබන අතර ඉකුත් වසරේ තේවා කටයුතුවල නිරත වූ අස්ගිරි මහාවිහාර පාර්ශ්වය වෙනුවෙන් ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් විසින් මෙවර තේවා කටයුතු ආරම්භ කරන මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් වෙත තේවා කටයුතු අදාළ භාණ්ඩ බාරදීම සිදුකරන ලදී. එම අවස්ථාවට දෙපාර්ශ්වයේ තේවා කටයුතුවල නිරත වූ මහා සංඝරත්නය හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එක්විය.
අසේල කුරුළුවංශ

 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සඟරුවනින් ආශිර්වාද

කඩවත, කොස්සින්නේ සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පසුගිය 03 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන චීන සමූහ ආණ්ඩුවේ තානාපති යී ෂයැං ලිංයංග් මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. එහිදී මහසඟරුවන විසින් සෙත්පිරිත් දේශනාකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළ අයුරු. එම අවස්ථාවට මැතිඇමැතිවරු රැසක්ද සහභාගිවූහ.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

 දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර

දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ රන්දෝලි මහ පෙරහර පසුගිය 31 වැනිදා වීදි සංචාරය කෙරිණි. බස්නායක නිලමේ දර්ශන වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ලේක්හවුස් සභාපති කාවන් රත්නායක හා හිටපු බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති ආගමික වතාවත්වලින් පසු පෙරහර විථි සංචාරය කෙරුණ අතර මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබුවේ සාගල රත්නායක හා කාවන් රත්නායක මහත්වරුන් විසිනි.
ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ