Print this Article


බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ආදර්ශ ප්‍රශ්නෝත්තර

4 අභ්‍යාසය

කෙටි පිළිතුරු සපයන්න

1. මහාදේව තෙරුන්ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවන්නේ කවර හේතුවක් නිසාද?

2. මේ හිමියන් නිසා උද්ගත වූ විශේෂ සිදුවීම කුමක්ද?

3. ගෝකූලික නිකායෙන් බෙදී ගිය අලුත් ශාඛා දෙක නම් කරන්න.

4. මේ නිකාය දෙක පැන නැගීමට කවර කරුණක් හේතු වූවා සේ සැලකේද?

5. සර්වාස්තිවාදීන්ට සහාය වෙමින් ඔවුන්ගේ සංගායනාවට අනුග්‍රහ දැක්වූ භාරතිය රජතුමා කවරෙක්ද?

6. මේ සංගායනාව පැවැත්වූ ප්‍රදේශ නම් කරන්න.

7. ආචාර්ය ශාන්තිදේව පාදයන් අයත් වූයේ කවර මහායාන බෞද්ධ සම්ප්‍රදායකටද?

8. එතුමා ලියූ ග්‍රන්ථ අතුරින් දෙකක් නම් කරන්න.

9. බුදුරජාණන් වහන්සේගේ සහෝදර නන්ද කුමරුගේ පැවිදිවීම ආදී විස්තර ඇතුළත් කොට සංස්කෘත භාෂාවෙන් රචිත කාව්‍යයේ නම කුමක්ද?

10. මෙහි කතුවරයා කවරෙක්ද?

11. සීහල සංඝ පරපුර බිහිවූයේ අග්නි දිග ආසියාවේ කවර රටකද?

12. මේ කාලයේ දී යථෝක්ත රටේ සිටි රජතුමා කවරෙක්ද?

13. කල්‍යාණි ශිලා ලිපිය දක්නට ලැබෙන්නේ කවර රටකද?

14. මේ ශිලා ලිපියේ නිර්මාතෘවරයා නම් කරන්න.

15. බුදුසමය පළමුවෙන්ම කොරියාවට රැගෙන ගිය චීන ජාතික භික්ෂූන් වහන්සේ නම් කරන්න.

16. මේ වකවානුවේදී කොරියාවේ විසූ පාලකයාගේ නම කුමක්ද?

17. වෛතුල්‍යවාදී මත ඛණ්ඩනය කිරීම සඳහා භාරතයේ සිට ලංකාවට වැඩම කළ පැවිදි ආචාර්යයන් වහන්සේගේ නම කුමක්ද?

18. මෙකල ශ්‍රී ලංකාව පාලනය කළ රජතුමා කවරෙක්ද?

19. පරමත්ථජෝතිකාවට පාදකවූ ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද?

20. සංයුක්ත නිකායට ලියැවුණු අටුවාවේ නම කුමක්ද?

අභ්‍යාස - 4 - පිළිතුරු

1. මහාදේව තෙරුන් ථේරවාද භික්ෂූන්ට පටහැනිව අරහත් සංකල්පය පිළිබඳ කරුණු 5 ක් ඉදිරිපත් කිරීම.

2. මහායාන අදහස්වල බීජ ජනිත වී නිකාය භේදයේ පදනම සකස්වීම. නිකාය භේදය ඇතිවීම.

3. බහුශ්‍රැති වාදීන් හා ප්‍රඥප්තිවාදියෝ.

4. කල්යාමේදී ඇති වූ අභිධර්මය පිළිබඳ ගැටලු හේතුකොට ගෙන මේ නිකාය දෙක බෙදී යන්නට ඇත.

5. කණිෂ්ක රජතුමා.

6. භාරතයේ කාශ්මීරයේ දී

7. මාධ්‍යමික බෞද්ධ සම්ප්‍රදායට.

8. ශික්ෂා සමුච්චය සූත්‍ර සමුච්චය, බෝධිචර්යාවතාරය

9. සෞන්දරා නන්ද කාව්‍යය.

10. භදන්ත අශ්ව ඝෝෂ ආචාර්යවරයා.

11. බුරුමය.

12. අනෞරථ රජතුමා

13. බුරුමය හෙවත් වර්තමාන මියන්මාරය

14. ධම්මචේතිය රජතුමා.

15. සුනන්දෝ හිමියන්.

16. කෝරෙයි රජතුමා

17. ජෝතිපාල නම් පැවිදි ආචාර්යවරයා

18. පළමුවන අග්බෝ රජු

19. සුත්තනිපාත / ඛුද්දකපාඨ

20. සාරන්තප්පකාසිනි

භාරතයේ නාලන්ද විශ්වවිද්‍යාලයේ ආරම්භය පිළිබඳ විස්තරයක් කරන්න.

නාලන්දාව බුදුරදුන් දවස සිටම බෞද්ධ ආභාෂය ලැබූ ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. ඓතිහාසික තොරතුරුවලට අනුව නාලන්දා මහා විහාරය ශක්‍රාදිත්‍ය හෙවත් පළමුවන කුමාරගුප්ත රජතුමා විසින් ගොඩනගන ලදී. දහවන ශතවර්ෂය වන විට නාලන්දා විශ්වවිද්‍යාලය 10,000 කට නේවාසික පහසුකම් සැපයූ විශාල විද්‍යා පීඨයක් බවට පත්ව තිබුණි. මෙම විශ්වවිද්‍යාලයේ සියලුම ගොඩනැගිලි මහල්වලින් යුක්ත විය. නේවාසික සරසවියක් වූ මෙහි සියලු දෙනාම මහායානික ධර්මයන් උගනිති. මෙහි නේවාසික පිරිසෙන් 1510 ක් ආචාර්යවරුන් ය. එම ආචාර්යවරුන්ට සූත්‍ර හා ශාස්ත්‍ර ග්‍රන්ථ කාණ්ඩ 20 ක් විස්තර විවරණය සහිතව පැහැදිලි කළ හැකිය. ආචාර්ය මණ්ඩලයේ උපස්ථානය සඳහා ‘මානව‘ නමින් හැඳින්වෙන පිරිසක් සිටී. ශිෂ්‍යයන් 7000 ක් පමණ ඉගෙනගැනීමෙහි නියැළී සිටියහ. ගිහි පැවිදි දෙපිරිසම සිටියහ. දේශීය හා විදේශීය බෞද්ධ මෙන්ම අබෞද්ධ ශිෂ්‍යයෝ මෙහි සිප් සතර හදාළහ. නාලන්දාවෙහි ඉගෙනීම කළ සිසු පිරිස කොටස් තුනකට වර්ග කළ හැකිය.

1. මූලික අධ්‍යාපනය වෙනත් ගුරුකුලයකින් ලබා අවුරුදු පහළොව සම්පූර්ණ වූ පසු නාලන්දාව අවට ශිෂ්‍යයෝ මෙයට ඇතුළත් වූහ. පුරා අටවසරක් ඔවුහු උගනිති.

2. මූලික හා ද්විතීක අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 20 සපිරුණු පසු උපාධි අපේක්ෂාවෙන් ඇතුළත්වන අය මොවුහු අවුරුදු 3 ක් පාඨමාලා හදාරා විසිර යති.

3. දේශීය හා විදේශීය වෙනත් අධ්‍යාපන ආයතනවල සිප් සතර හදාරා පශ්චාත් උපාධි අපේක්ෂාවෙන් ඇතුළත්වන අය වශයෙනි.

නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය අතිශයින් තියුණු ය. එයට හේතුව මෙහි ඇදී ආ පිරිස විශාල වීමය. විෂයධාරා පහක් යටතේ අධ්‍යාපනය ලබා දී ඇත.

1. භාෂා අධ්‍යයන විෂය ධාරාව.

2. බුද්ධ ධර්මය විෂය ධාරාව.

3. දර්ශන විද්‍යා විෂය ධාරාව.

4. ලෞකික විද්‍යා විෂය ධාරාව.

5. ලලිත කලා විෂය ධාරාව යනුවෙනි. දැනුම ලබාදීම සඳහා අධ්‍යාපන ක්‍රම කිහිපයක් අනුගමනය කර ඇත.

1. දේශන ක්‍රමය

2. විවාද ක්‍රමය

3. පෞද්ගලික සාකච්ඡා ක්‍රම යනු එම ක්‍රමයන්ය.

නාලන්දා විශ්වවිද්‍යාලය සතුව ‘ධර්මගඤ්ජ’ නමින් විශාල පුස්තකාලයක් තිබුණ අතර රත්න සාගර, රත්නෝද දී, රත්නරංජන නමින් මන්දිර තුනකින් එම පුස්තකාලය සැදුම් ලද්දේය.

මෙම විශ්වවිද්‍යාලයේ මුල්ම වියතුන් අතර අසංග, වසුබන්ධු යන දෙනමට ප්‍රමුඛස්ථානයක් හිමි වෙති. ටිබෙට්, චීනය ආදී රටවල් රැසකම මෙයින් උගත් පඬිවරු ධර්මදූත සේවාවේ ගියහ. දහතුන් වන සියවසේ මෝගල් ජාතිකයන් විනාශ කළහ.