Print this Article


හීනටිගල ශ්‍රී බුද්ධ දත්ත දහම් පාසල

හීනටිගල ශ්‍රී බුද්ධ දත්ත දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ශිෂ්‍ය නායක මඬුල්ල

හබරාදුව ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හීනටිගල උඩුපොහොන විහාසර්ථානයට අනුබද්ධිත ශ්‍රී ධම්මතිලක දහම් පාසල තුළින් බිහිවූ දරු දැරියෝ පසු කලකදී මෙරට උසස් තනතුරු දරමින් රට දැය වෙනුවෙන් ඉටු කළේ අනූපමේය මෙහෙවරකි. 1967 වසරේ පෙබරවාරි මස 04 වන දින විහාරස්ථානයේ ආදි කර්තෘන් වහන්සේ වන හීනටිගල ධම්මතිලක නාහිමිපාණන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා එවකට විහාරාධිපති ව වැඩ විසූ ගාල්ල, මාතර හම්බන්තොට , තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිදිගම පේ‍්‍රමානන්ද නාහිමිපාණන් වහන්සේ සහ විනය කීර්ති ශ්‍රී පණ්ඩිත මීපෙ සිරිසුමන හිමිපාණන් වහන්සේ විසින් ධම්මතිලක දහම් පාසල ආරම්භ කරන ලදී.

එදා කොටවිල සද්ධානන්ද හිමිපාණන් ගේ ප්‍රධානාචාර්ය ධූරය යටතේ පස්දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිපස් දෙනෙකුගෙන් (25) මෙම දහම් පාසල අරඹන ලදී. පසු කලකදී කෝදාගොඩ සෝමරතන හිමිපාණන් දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත් විය. එම අවධියේ ශාසනාරක්ෂක මණ්ඩල තරග වලදී සහ දහම් පාසල් තරග වල දී විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගනිමින් අනෙකුත් දහම් පාසල් අභිබවා ඉදිරියට පැමිණි හීනටිගල ධම්මතිලක දහම් පාසල හබරාදුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත් විය.

1980 වසරේ කථිකාචාර්ය මිල්ලව ධර්මසිරි හිමිපාණන් ප්‍රධානාචාර්ය ධුරයට පත් විය. එම අවධියේ දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගිය අතර උන්වහන්සේ දහම් පාසලේ දියුණුව සඳහා විශාල කැප කිරීමක් කළේය. 1990 වසරේ සිට කන්බුත්සාවල බුද්ධදත්ත හිමියන් දහම් පාසැලේ ප්‍රධානාචාර්ය ධූරයට පත් විය. එම අවධියේ වෙසක් බැති ගී තරග පැවැත්වීම, නිවාසාන්තර දහම් දැනුම තරග පැවැත්වීම, වාර්ෂිකව සිදු කරන්නට විය. එමෙන්ම සෑම වසරකම අඩු ආදායම් ලාභී පවුල් දෙකක දරුවන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සමාජ මෙහෙවරක් විය. අනතුරුව 2001 වසරේ කථිකාචාර්ය ගම්මැද්දේගොඩ ගුණානන්ද හිමියෝ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත්විය.

2009 වසරේ සිට මේ දක්වා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරණු ලබන්නේ පංචමහා විහාරාධිපති ශාස්ත්‍රපති කැටියපේ ඉන්ද්‍රසුමන හිමිපාණන්ය.උන්වහන්සේ දහම් පාසලේ දියුණුව උදෙසා දිවා රෑ නොබලා කටයුතු කරන අතර ළමයින්ගේ කථිකත්වය දියුණුූ කිරීම සදහා පුහුණු වැඩසටහන් සෑම ඉරුදිනකම පැවැත්වීම, වාර්ෂිකව දහම් පාසලේ ත්‍යාග ප්‍රධාන උත්සවය පැවැත්වීම, ළමයින් ගේ පොත පත දැනුම වැඩි දියුණුකිරීම සඳහා බුද්ධදත්ත අනුස්මරණ පුස්තකාලය පවත්වාගෙන යාම මෙන්ම තෙමසකට වරක් මව් පිය හමුව වැඩසටහන පැවැත්වීම දහම් පාසලේ දියුණුව උදෙසා පවත්වාගෙන යනු ලබන ආගමික සේවාවන්ය.

2013 වසරේ හබරාදුව ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර පැවති භක්ති ගීත තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මෙම දහම් පාසලේ දරු දැරියෝ එම වසරේම දකුණූ පළාතේ දහම් පාසල අතර පැවති භක්ති ගීත තරග මාලාවෙන් තෙවන (3) ස්ථානය දිනා ගැනීමට සමත්වීම කැපීපෙනෙන දස්කමකි. වර්තමානයේ සිසු දරු දැරියන් දෙසියකට (200) අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන හීනටිගල ශ්‍රී බුද්ධ දත්ත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දොළොස් දෙනෙකුගෙන් සමන්විතය.