Print this Article


විහාරාංග රැසක් ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරෙන එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාමය

විහාරාංග රැසක් ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරෙන එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාමය

වේයන්ගොඩ එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාමයේ අභිනව ශ්‍රී සර්වඥ ධාතු ස්තූප මන්දිරය, ඒ වටා රන්වැට හා බෝධීන් වහන්සේ වටා රන් වැට, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, පුස්තකාලය, කෞතුකාගාරය හා පත්තිරිප්පුව මෙම මස 28වෙනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් විවෘත කිරීම නිමිත්තෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේ සියනෑ කෝරළයේ (කුරුණෑගල යුගයට අයත් මැද පත්තුවේ සෙල්ලිපියෙහි සඳහන් වන දළදා මැදුරේ දියවඩන නිලමෙතුමන්ගේ මලනුවන් වූ) එළුවාපිටිරාළ නම් වූ ගම්පතිතුමන් වාසය කළ එළුවාපිටිය නම් වූ ග්‍රාමයෙහි ගොඩනැගී ඇති විහාරස්ථාන දෙක අතුරින් දෙවනුව ගොඩ නැගුව විහාරස්ථානය ඉහත හඳහන් ඉසිපතනාරාමයයි.

1949 වර්ෂයෙහි ගම්වැසියන් පිරිසක් නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනහි එදවස වැඩ විසූ අතිපූජ්‍ය දීපගොඩ චන්දවිමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තිබ්බටුගොඩ මුනින්දඝෝෂ හිමිපාණන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කොට මෙම විහාරස්ථානයේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. මෙම විහාරයේ නිර්මාතෘන් වහන්සේ උන්වහන්සේ ය. 1949 ජූලි මාසයේ වස් වැඩ සිටීම සඳහා ප්‍රථමයෙන් උන්වහන්සේ වැඩම කරන ලදී. මෙම විහාරස්ථානයේ මූලාරම්භ වන්නේ එලෙසිනි. 1967 දී උන්වහන්සේගේ පියාණන් පැවිදි කොට තිබ්බටුගොඩ සද්ධාවංශ නමින් මෙම විහාරස්ථානය භාර කොට තවත් විහාරස්ථානයක් ගොඩනැගීම සඳහා මාලිගාතැන්න ගම්මානයට තිබ්බටුගොඩ මුනින්දඝෝෂ හිමිපාණන් වහන්සේ වැඩම කළ සේක.

තිබ්බටුගොඩ සද්ධාවංශ හිමිපාණන් 1995 නොවැම්බර් 08 දින අපවත් වනතුරුම මෙම විහාරස්ථානය රැකබලා ගත්හ. මෙම විහාරස්ථානයේ පුනරුදයේ නියමුවාණන් වන වත්මන් විහාරාධිති එමෙන්ම මෙම ආදි කතෘවර මුනින්දඝෝෂ හිමිපාණණ්ගේ ඡ්‍යොෂ්ඨ ශිෂ්‍ය හේනේපොල ධම්මවංශ හිමිපාණන් වහන්සේ 1985 ජූලි මස 18 වෙනි දින මෙම ස්ථානයට වැඩම කරන ලදී.

වත්මන් විහාරාධිපති හේනේපොල ධම්මවංශ හිමිපාණන් අවුරුදු 30ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය, ආවාස මන්දිරය, ධර්මශාලාව, බෝධි ඝරය, පුස්තකාලය, දාන ශාලාව, වාහල්කඩ, වටපවුර යන සියල්ලක්ම ගොඩ නගා ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල ද ආරම්භ කරමින් විහාරස්ථානය තුළ සීල සමාධි කටයුතු හා විවිධ ආමිස පුද පූජාවන් ද සිදුකරමින් ඉසිපතනාරාම පින්බිම ආලෝකමත් කළේ ය. විශේෂයෙන්ම බෝධීන් වහන්සේ ද උන්වහන්සේගේ දෑතින් රෝපණය කිරීම ඉතා වැදගත්ය. සමාධි පිළිම වහන්සේ පත්තිරිප්පුව කෞතුකාගාරය සේම සර්වඥ ධාතු ස්ථූපය ද ඒ වටා රන් වැටක් ද බෝධිය වටා රන්වැටක් ද එක්කර අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේ හා ජනාධිපතිතුමා අතින් විවෘත වන මේ මොහොත ප්‍රදේශයේ සෑම බොදු ජනයාටම ඉමහත් අස්වැසිල්ලකි. ත්‍රිවිධ බෝධි වන්දනාව එකම මළුවක් තුළ සිදුකිරීමටත්, අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන්නටත් වත්මන් විහාරාධිපති හිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත කැපවීම පැසසිය යුතුමය.