Print this Article


සියවස් එකහමාරකට උරුමකම් කියන පාදුක්ක - ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරය

සියවස් එකහමාරකට උරුමකම් කියන පාදුක්ක - ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරය


විහාරාධිපති දේදුගල කාශ්‍යප නා හිමි

ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ පිහිටි ඉපැරැණි බෝධින් වහන්සේ කෙරෙහි ගැමියන්ට ඇත්තේ අපමණ ගෞරවයකි. ඒ නිසාම ඔවුහු දිවා රෑ නොබලා බෝධින් වහන්සේ වෙත තම දුක කඳුළ කියා පාමින් බෝධි පූජා පවත්වන්නේ සැදැහැයෙන් නැහැවෙනා හදවතට සුවයක් ගෙන එන නිසාය.

පවුරක් සේ උස්වූ කඳු වළල්ලත්, පසෙකින් පිහිටි පහත් බිම් කඩත් සොඳුරු දසුනක් මවයි. වටව ඇති හරිත වර්ණ කෙත් යායේ ගැටී නිල්ලෙන් පිරී ගිය ගහ කොළ,අතු ඉති අතරිං රිංගා පෙරී ඇදී එන්නේ සිසිල් සුළං රැල්ලකි. මේ සියල්ලම එකට මුසුවී පරිසර පද්ධතියම සොඳුරු කරමින් එයට සැසදෙන මදක් උස් වූ බිම් කඩෙහි කදිම පසුබිමක ඉදි වී ඇත්තේ පාදුක්ක - ලියන්වල ශී‍්‍ර සුවිශුද්ධාරාම විහාර ස්ථානයයි. මේ පින්බර පුදබිම පරිසරයට සැනසිල්ලත් සැදැහැති බවත් නිබඳවම තිළිණ කරයි.

වසර 150ක් ඉපැරැණි මෙම විහාරස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කොරළයෙහි පිහිටා ඇත.


බුද්ධ ප්‍රතිමා වහන්සේ

කුරුගල පියරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් දානියෙල් ගමලත් රෙජිස්ටාර් රාළහාමි වෙතින් ලබා ගත් මෙම භූමිය අටමහා කුසලයකට දායක වෙමින් පාදුක්ක සිරි නිවාස නා හිමියන් වෙත පූජා කෙරිණි.

එකල සිරි නිවාස නා හිමියන් විහාරස්ථානයේ පුනරුදයට ලබා දුන් අත්වැල විශිෂ්ටය. බෝධි මළුව, හෙළ බිම නමින් පුස්තකාලයක් ද ගුණගරුක සමාජයකට අඩිතාලමක් වූ දහම් පාසලක් ද රාත්‍රි ඉංගී‍්‍රසි පන්තියක් ද ඇරැඹුණු අතර සංඝාවාසයට මූලික අඩිතාලම වැටුණේ 1900 වසෙර්ය. ප්‍රවීණ චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස් මාස්ටර්ගේ දෝතින් අසිරිමත් වූ කුලුණුබර බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම සිදු වූයේ 1927 වසරේදීය.

පසුකාලීනව සිරි නිවාස නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය මණ්ඩාවල ශ්‍රී සෝරත නා හිමියන්ගේ සේවයද විහාරස්ථානයට ලැබීම මහඟු පිටිවහලකි.ධර්ම ශාලාව, ඝණ්ඨා කුළුණ, බෝධි ප්‍රාකාරය සෝරත නා හිමියන්ගේ මූලිකත්වයෙන් විහාරස්ථානයට දායක විය.


බෝධින් වහන්සේ

සෝරත නා හිමියන්ගේ ඇවෑමෙන් පසු ප්‍රධාන ශිෂ්‍ය දේදුගල කාශ්‍යප හිමියෝ 1974 වසරේ දී විහාරාධිපති ධුරයට පත්වූහ.

උන්වහන්සේගේ නොමඳ වීර්යය නිසාම ඉපැරැණි ධර්මශාලාව අංග සම්පූර්ණ ලෙස නවීකරණය කිරීම ද පැරැණි හැඩතල සුරැකෙනා ලෙසින් දෙමහල් සංඝාවාසය කුටි රැසකින් ඉදිකිරීම ද වෙහෙර වහන්සේ සාංචි තොරණ, වට තාප්ප, නවීන ඝණ්ටා කුලුණ, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය දහම් පාසල ආදියෙන් විහාරස්ථානය පරිපූර්ණ කිරීම ද ප්‍රදේශවාසි බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට ලක් වී ඇත.

විහාරස්ථාවයට පිවිසෙන දොරටුව අබියස අභිනවයෙන් ඉදි කර ඇති. රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ද මෙම පුදබිමට මෑතක දී ලැබුණු බැතිබර තිළිණයකි.

ගමේ පොදු වැඩකටයුතුවලට මෙන්ම බෝධි පූජා පින්කම්වලටත් මුලසුන ගන්නා විහාරාධිපති දේදුගල කාශ්‍යප හිමියන්ගෙන් අසරණ ගැමියන්ට ලැබෙන්නේ මහගු අස්වැසිල්ලකි.


අභිනව සංඝාවාසය

ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ පිහිටි ඉපැරැණි බෝධින් වහන්සේ කෙරෙහි ගැමියන්ට ඇත්තේ අපමණ ගෞරවයකි. ඒ නිසාම ඔවුහු දිවා රෑ නොබලා බෝධින් වහන්සේ වෙත තම දුක කඳුළ කියා පාමින් බෝධි පූජා පවත්වන්නේ සැදැහැයෙන් නැහැවෙනා හදවතට සුවයක් ගෙන එන නිසාය.

මේ සුවිශේෂී පුවත ගම් දනව් සිසාරා පතළ වෙද්දී විහාරස්ථානය වෙත නිබඳව ඇදෙනා බෞද්ධ අබෞද්ධ ජනතාව බහුල වී ඇත.

මෙසේ පාරිභෝගික වශයෙන් වන සුවිශේෂිතාද විහාර ආකෘතියේ විශේෂතා ද නිසා විශිෂ්ටත්වයට පත්ව ඇති පාදුක්ක - ලියන්වල ශී‍්‍ර සුවිශුද්ධාරාම විහාරස්ථානයත් ඒ අවට සොඳුරු, නිසල සුවදායක පරිසරයත් නිබඳව සුරකිමින් මතු පරිපුර වෙත දායාද කිරීම මහඟු පුණ්‍යකර්මයකි.