Print this Article


පිච්ච මල් පූජාව අනුරාධපුරයේදී 25 වනදා

පිච්ච මල් පූජාව අනුරාධපුරයේදී 25 වනදා

මෙවර පැවැත්වෙන වාර්ෂික පිච්ච මල් පූජා මහෝත්සවය ජූලි මස 25 වන දින අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ අභියස දී පැවැත්වීමට මේ වන විට සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙමින් පවතී.

මෙම පින්කම වසර 26 කට පෙරාතුව එනම්, 1990 වසරේ දී ඉතා සරල හා චාම් පින්කමක් ලෙස අනුරාධපුර උඩමළුවේදී ආරම්භ කරන්නට යෙදුනේ ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන්ගේ හදවතෙහි රෝපනය වූ සිතිවිල්ලක ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙස ආරම්භය සනිටුහන් වූ මෙම පිච්ච මල් පූජාව මේ වන විට මහා දැවැන්ත ආගමික ව්‍යාපෘතියක් බවට පත්වී හමාරය.

මේ පින්කමේ පිච්ච මල් සුවඳට ආකර්ශනය වූ මනුෂ්‍යයෝද, දෙවියෝ ද, සහ පිරිවරින් එදිනට මහමෙව්නාවට රැස්වන්නාහ. පිච්ච මල් පූජාවේ අරමුණු කිහිපයකි. ඉන් එකක් වන්නේ බෞද්ධයින් එක් තැනකට ඒක රාශිකොට බෞද්ධ පණිවුඩයක් එකවර ලබා දීමයි. දෙවැනි කරුණ වන්නේ මිනිස් සන්තානයන්හි මුල් බැසගෙන ඇති දුර්මත හා ආකල්ප වල වෙනසක් ඇති කරලීමට මඟ පෙන්වීමයි. පැමිණෙන සැදැහැවතුන්ගෙන් බලාපොරොත්තු වන්නේ සිල්වත්ව, ගුණවත්ව, අවංක හදවතින් සැදී පැහැදී පින්කමට සහභාගි වීමයි.

පිච්ච මල් පූජාවට සහභාගීවන සැදැහැවතුන්ට තම තමන්ගේ ගෙවත්තේ පිච්ච මල් පැළයක් හා පලතුරු පැළයක් රෝපණය කිරීමට ශාන්ති පදනම නිරතුරු උපදෙස් දෙනු ලබයි. ඒ තුරු ලතාවන්ගෙන් සමාජ පැවැත්මට ඉටුවන සුවිශාල මෙහෙවර පෙරදැරි කරගෙනය.

මෙවර පිච්ච මල් පූජා පෙරහර ජූලි මස 25 වන දින සවස 01.30 ට ථූපාරාමය අභියසින් ආරම්භවන අතර සවස 03.30 ට උඩමළුවට පෙරහර සම්ප්‍රාප්ත වීමත්, සවස 04.30 ට වන්දනාව ආරම්භ කිරීමත් සිදුවේ. අනතුරුව රාත්‍රී 08.30 ට රුවන්මැලි සෑ රඳුන් වෙත වැඩමවන පෙරහර වැඩම වීමෙන් පසුව රාත්‍රී 09.30 ට ‘දම්සක් පැවතුම්’ සූත්‍ර දේශනාව ආරම්භ වේ. 26 වන දින පෙරවරුවේ කිරි ආහාර පූජාව සහ භාවනා වැඩසටහනින් පින්කම නිමාවට පත්වේ.