Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි” යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර – සෝපාක, රජගහනුවර සැඩොලෙකුට දාව පුක්කුස කුලයක ස්ත්‍රියක කුසින් උපන් දරුවෙකි. කුඩා කලම පියා මල බැවින් සුළු පියා ඔහු ඇති දැඩි කළේය. තම පුතාට වැඩි සෙනෙහස දැක් වූ ඔහු පසුව සෝපාක විනාශ කිරීම සඳහා රාත්‍රියක සොහොනකට ගෙන ගොස් මළ මිනියක බැඳ තැබීය. එහි දී ඉහත සඳහන් පාඨය දේශනා කොට බුදුරජාණන් වහන්සේ ඔහුට සරණ වූහ. පසුව ඔහුගේ මවට දේශනා කොට වදාළ බණ පදයෙන් මව සෝවාන් වූ අතර සෝපාක හිමියෝද රහත් ඵලයට පත් වූහ.

ප්‍රශ්නය – මාගම රජ පෙළපතකින් පැවත ආ දුටුගැමුණු කුමරු අනුරාධපුරයෙහි කරවන ලද ස්ථූප දෙක ප්‍රමාණයෙන්ද, විශාලත්වයෙන්ද මීට පෙර ද කරන ලද ස්ථූපවලට වඩා වැඩිය. මෙම ස්ථූප දෙක මොනවාද ?

පිළිතුර – 1.මරිච්චවට්ටි –මිරිසවැටි 2. රත්නමාලි (රුවන්වැලිසෑය)

ප්‍රශ්නය – ශාසනික ඉතිහාසයේ ප්‍රථම සංගීතිය ඉතාමත් වැදගත් වූවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම සංගීතියෙහි ඓතිහාසිකත්වයට හානියක් නොවුණත් මෙම සංගීතියෙහි ප්‍රතිඵල පිළිබඳව විවිධ මත භේද මූලාශ්‍රවල දක්නට ලැබේ.

මෙම සංගායනාවෙහි දී ධර්ම විනය වශයෙන් පැවති සකල බුද්ධ වචනයම සංගෘහිත කළ ආකාරය පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර – සංගීතියෙහි දී, විනය ශාසනයාගේ ආයු බැවින් බුදුරජාණන් වහන්සේ විසින් විනයධාරීන්ගෙන් අග්‍ර ස්ථානයෙහි තැබු උපාලි මහා ස්ථවිරයන් සංඝ ස්ථවිර වශයෙන් විනය සංගායනාව පළමුව කළහ. දෙවනුව ආනන්ද මහා ස්ථවිරයන් සංඝ ස්ථවිර කොට ධර්මය සංගායනා කළහ. තවද මෙහිදී ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම නිකාය වශයෙන් පසකට බෙදා සංග්‍රහ කරන ලදුව එනම්,

1.දීඝ නිකාය 2.මජ්ක්‍ධිම නිකාය 3. සංයුක්ත නිකාය 4. අංගුත්තර නිකාය 5. ඛුද්දක නිකාය – පසුව විනය –අභිධර්ම පිටක නමින් වෙන් වූ ධර්මය ද ඛුද්දක නිකායටම ඇතුළත් වූ බව “වත්තාරො නිකායො ඨපෙත්වා අවසේසං බුද්ධවචනං ඛුද්දක නිකායො නාම (සමන්ත පාසාදිකා ) යන්නෙන් පෙනේ.

බුද්ධ වචනය පරපුරෙන් පරපුරට අවිච්ඡින්නව ගෙන යාම සඳහා විනය උපාලි ස්ථවිරයන්ට ද , දීඝ නිකාය ආනන්ද ස්ථවිරයන්ටද, සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන්ට ද, මජ්ක්‍ධිම නිකාය සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයන්ට ද අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන්ට ද , ඛුද්දක නිකාය සියලු දෙනාට ද භාර කළහ. ධර්ම විනය දෙකෙහි භාරකාර පරපුර භාණකවරුන් වශයෙන් පසුකාලීනව මුලාශ්‍රවල සඳහන්ව ඇත.

ප්‍රශ්නය – “දිට්ඨ ධම්ම හිතාය” ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර – මෙලොව හිත සුව පිණිස පවත්නා යන්නය සරල අදහස, මේ සඳහා ජීවන මාර්ග 4 ක් ධර්මයෙහි සඳහන් වෙයි. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා – කල්‍යාණ මිත්‍ර සේවනය – සමජීවිකතාව

ප්‍රශ්නය – ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන පරිදි පරලොව ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර – පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම් ශ්‍රද්ධා සම්පදා ,ශීල සම්පදා – ත්‍යාග සම්පදා – ප්‍රඥා සම්පදා යන මොහුය.

ප්‍රශ්නය – “අජද්ධු චාරිකං” මෙය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – සම්පත් අනුභව නොකොට මරණයට පත්වන තැනැත්තා අජද්ධු මාරික නම් වෙයි. අනාථ මරණය යනුවෙන් ද මෙය හඳුන්වා ඇත.

ප්‍රශ්නය – සිත පිරිසුදුව තබා ගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන ගෙන තියෙනවා. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන මනසාචෙ පදුට්ඨෙන මනසා චෙ පසන්නෙන යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. පදුට්ඨෙන – පසන්නෙන යන පද දෙකින් ගම්‍යමාන වන්නේ අපිරිසිදු හා පිරිසුදු සිතක ස්වභාවයයි. “භවාංග චිත්ත” යයි නම් කරන භවයා ගේ නොසිඳ පැවැත්මට හේතුවන සිත පිරිසුදුය. මඩ බොර නැති ප්‍රසන්න ජලයක් සේ පිරිසුදුය.මේ පිරිසුදු සිත් ඇස්, කන්, නාස් ආදි වු දොරටු මගින් ඇද බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝභ ද්වේශ මෝහාදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ. “පභස්සරම්දං භික්ඛවෙ චිත්තං කං ඛො ආගන්තුකෙහි උපක්කි ලෙසෙහි උපකිලිට්ඨං” ආදී දේශනාවට අනුව වඩාත් පැහැදිලි වනු ඇත.

ප්‍රශ්නය – මෙහි පහත සඳහන් වන්නේ ධම්මපද ග්‍රන්ථයෙන් උපුටා ගත් ධර්ම පාඨයක්, අදහස කෙටියෙන් පැහැදිලි කර මුල් පදයට ධර්මානුකූල විවරණයක් දක්වන්න.

සුභානු පස්සිං විහරන්තං - ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤං - කුසීතං හීන වීරියං
තං වෙ පසහති මාරො - වාතො රුක්ඛං ව දුබ්බලං

පිළිතුර – රූපාදී වූ අරමුණු ශුභ යයි දකිමින් වාසය කරන ඇස්, කන් , නාසාදී වූ ඉඳුරන්හි සංවර නැති අහරෙහි දී පමණ නොදත් අලස වූ වීර්ය රහිත ඒ පුද්ගලයා දුබල රුකක් සුළඟින් උදුරා දමන්නාක් මෙන් මරු වසඟයට යේ.

සුභානු පස්සිං විහරන්තං –පුහුදුන් මිනිසුන් පතන දිව ශුභ වශයෙන් සිතන දකින අරමුණු සයෙක් වේ.

රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම යනුවෙන් ඒ සය නාමිකව සඳහන් වේ. මේ රූපාදී අරමුණු දුබල මිනිසෙකු සැරයටියක ආධාරයක එල්බ ගන්නා සේ චිත්ත චෛතසික ධර්මයන්හි එල්බ ගනු ලැබෙයි. ඒවාට අරමුණූ යැයි කියන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය – සූත්‍ර හා අභිධර්ම පිටක දේශනා අනුව ක්ලේශ ධර්ම දසයකි. පැහැදිලි කරන්න.

පිළිතුර – ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන මිද්ධ, අහිරික ,අනොත්තප්ප

ප්‍රශ්නය – විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර – සංස්කාරයන් කෙරෙහි වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ සිතට නගා ගෙන සිත එහි පුරුදු කිරීමෙන් භවත්‍රයෙහි කිසිවක නොඇලෙයි. කිසි විටෙකත් සංස්කාර ධර්ම ශුභවාදීව පිළි නොගනී. සංස්කාර ධර්ම පිළිබඳව නැවත නැවත සිහිය වැඩීමෙන් බලවත්ව ගිය විදර්ශනාව (උත්ඨාන ගාමිණී විදර්ශනා) නියත වශයෙන්ම නිර්වාණබෝධය සඳහා ම සිත යොමු කරන බව සඳහන් වේ.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ බෝධිධෘම මූලයෙහි වැඩ හිඳ වාසනා ගුණය සර්වප්‍රකාරයෙන් ම නෑසූ සේක. එහෙයින්ම වෑත්තෑවේ හිමියන්,

කිසිවකු හටත් නැති
මුනිඳුට ස නුවණෙක් ඇති
මෙලොව සැමටම ඇති
වාසනා ගුණ කිසිවකුත් නැති

මේ පදයෙහි එන මුණිඳුට සනුවණෙක් ඇති යන්න හා වාසනා ගුණ කිසිවකුත් නැති යන පාඨ ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – මුනිඳුට සනුවණක් ඇති බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂිත වූ ඤාණ 6 කි. එනම් ,

ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය, ආසයානුසය ඤාණය , යමක පාටිහාරිය ඤාණය, මහා කරුණා සමාපත්ති ඤාණය , සර්වඥතා ඤාණය , අනාවරණ ඤාණය

වාසනා ගුණ කිසිවකුත් නැති සියලු රහතන් වහන්සේලා විසින් සියලු කෙලෙසුන් නසන ලද නමුත් ඒ ක්ලේශ වාසනා නොනසන ලද්දේය. මෙහි ක්ලේශ වාසනා දහම් පත පොතෙහි එන උපමා කථාවක් අනුව මෙසේ පැහැදිලි කළ හැකිය. කුණු වූ මසක් දවටා බැඳි කුස තණපත් ආදියෙහි කුණු මස් ඉවත් කළ කල්හිත් ගඳ පවත්නාක් මෙන් ප්‍රහීණ ක්ලේශ ඇත්තා හටද අප්‍රහීණ ක්ලේශ ඇත්තකු ගේ කාය වාග් වූ කෙලෙසුන් විසින් පිහිටුවන ලද උත්සාහ විශේෂයක් වන්නේය.

ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ සතර මග, ඵලයට පැමිණද නොරහත් සමයෙහි පැවති ක්ලේශ වාසනා සංඛ්‍යාත භාවිත බලයෙන් චණ්ඩාල වාදයෙන් මිනිසුන්ට පරිභව කළේ ඉහත සඳහන් ක්ලේශ වාසනා නොනසන ලද හෙයිනි.

ප්‍රශ්නය - මහරජාණෙනි ප්‍රවෘජිතයන් වහන්සේ අල්පෙච්ඡ වන සේක. සන්තුෂ්ඨ වන සේක. විවේකීව වසන සේක. පටන් ගන්නා ලද වීර්ය ඇති සේක. අසංතෘෂ්ඨ වන සේක. නිරාලය වන සේක. සැහැල්ලු ප්‍රවෘත්ති ඇති වන සේක. ධුතාංග ප්‍රතිපත්තියෙහි දක්ෂ වන සේක. ඒ කාරණයෙන් ප්‍රවෘජිතයන් වහන්සේ යම්කිසි කටයුතු කෘත්‍යයක් ඇද්ද සියල්ලම කල් නොයවා වහාම සමෘද්ධි වන්නේ ය. (මිලින්ද ප්‍රශ්න පි. 150) යනුවෙන් නාගසේන භික්ෂු ප්‍රතිපදාව මිළිඳු රජුට දේශනා පාඨය ඇසුරු කරමින් පැවිදි වත පෙලපොත (පාලි ග්‍රන්ථ) ඇසුරු කොට පැහැදිලි කරන්න.

පිළිතුර -භික්ෂුවගේ මූලික කාර්ය වියයුත්තේ කුමක්ද “මුත්තොහං සබ්බපාසෙහි යෙ දිව්වායෙව මානුසා - තුම්හෙ පි භික්ඛවෙ මුත්තා සබ්බපාසෙහි යෙ දිව්වායෙව මානුසා ජන සුඛාය ලොකානුකම්පකාය ජ් අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං මා එතෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදී කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සත්ථං සම්‍යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ සන්ති සත්තා අප්පරජක්ඛ ජාතිකා - අස්සවනතා ධම්මස්ස ජ පරිහායන්ති භාවිස්සන්ති ධම්මස්ස අඤ්ඤතාරො (මහා වග්ග පාලි 1 – පි. 42 )

සියලු දිව්‍යමය වූත් මානුෂිකවූත් මාරපාශයන්ගෙන් මිදීමයි. එසේ මිදී ඇත්නම් කළයුත්තේ චාරිකාවේ හැසිරීමයි. චාරිකාවේ හැසිරෙන්නේ බොහෝ ජනයාට හිත පිණිසයි. සුව පිණිසයි. ලෝකානුකම්පාව පිණිසයි. දෙව් මිනිසුන්ට හිතසුව පිණිසයි. එසේ හිත සුව සලසන්නේ නම් කළයුත්තේ ආදී මධ්‍ය පරියොසාන වශයෙන් යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත හාත්පසින් පිරිසුදුවූ පිරිපුන්වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශයට පත් කිරීමයි. බ්‍රහ්මචර්යාව ස්ථාවරයට පත් කෙරෙන්නේ අනුෂය සහිතවම කාම රාගය ප්‍රහාණය කිරීමෙනි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේලා සැටනම අමතා අල්ප රජස්ක සත්වයන්ගේ නොපිරිහීම පිණිස බඹසර පදනම් කරගත් සදහම් මග දේශනා කිරීමට අනුදැන වදාළ ආකාරය බලනවිට සසුනට භික්ෂුත්වයක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න පැහැදිලි වෙයි. උභයාර්ථ (මෙලොව හා පරලොව) සංසිද්ධිය ඇතිකර ගනිමින් ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කිරීම භික්ෂුවගේ අභිමතාර්ථයයි. (අත්ථ දත්ත පරත්ථ) තමා හා අනුන් සඳහා සේවයද තම පාරිශුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසොධයෙ ධනෝපායනය භික්ෂු ආකල්පය ගැටුමට තුඩුදෙන්නක් සේම මූලික පරමාර්ථයෙන්ද ඈත්වීමට සිදුවෙයි.

අසද්පුරුෂ ගති ලක්ෂණ හඳුනාගත යුතු එනම් අසද්පුරුෂ සිතිවිලි නිරතුරුව ඔහු තුළ ජනිත වෙයි. තමාට මෙන්ම අනුනට ද දුක් සඳහාම සිතිවිලි සහිතයි. එසේම, සියලුදෙනාට අයහපත ළඟාවීම සඳහා සිතිවිලි ක්‍රියාත්මක කරයි. ඒ සඳහා අසත්‍ය කේළම් පරුෂ වචන හිස් වචන ප්‍රයෝජනයට ගනියි. සද්පුරුෂ ගති ලක්ෂණ

01. සද්ධා , 02. හිරිමා , 03. ඔත්තප්පී , 04. බහුස්සුතො , 05. ආරද්ධ විරියො , 06. උපට්ඨයේති , 07. පඤ්ඤවා

ශ්‍රද්ධා ඇති සේ වෙයි. ලජ්ජාව (පවට) ඇති බිය (පවට) ඇති සේ වෙයි. බහුශ්‍රැත වූයේ වෙයි. ආරම්භ වීර්යය වෙයි. එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. නැණවත් වෙයි.