Print this Article


බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානය

බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානය

වසර 150 කට වඩා ඉපැරණි බටවල, නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානය පෞරාණික වටිනාකමකින් යුක්ත සිද්ධස්ථානයකි. එම ස්ථානයේ විහාරය ඉදිවීමට පෙර ඉතා විශාල වශයෙන් නාගස් රෝපණය වී තිබීමත් , අවට පරිසරය හා බැලීමේදී උස් වූ භූමියක් ලෙස තිබීමත් නිසා එම ස්ථානයට නාගස්ගොඩැල්ල යැයි ව්‍යවහාර වූ බව ගම්වැසියන් පවසති. ඉක්බිතිව ශ්‍රී විෂ්ණු දේවාලය සමඟ විහාරස්ථානය, කටුමැටි ගැසූ සංඝාවාසය ඉදිවීමත් සමඟ එහි දේව ආකර්ශනය ඇති ප්‍රබල ස්ථානයක් බවට පත්විය. 1851 මෙම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පනාගොඩ රේවත නාහිමියන් වැඩ විසූ අතර 1856 සිට 1899 දක්වා විහාරාධිපති ලෙස බටවල ගුණරතන හිමියන් වැඩ විසූහ. 1899 සිට 1925 දක්වා වෙල්ගම ධම්මරතන නාහිමියන් බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ විහාරධිපති ධූරය හොබවන ලද අතර 1925 වසරේදී විහාරාධිපති ධුරයට පත්වූ මාදුළුවාවේ සුමණතිස්ස නායක ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ අභිවෘද්ධිය දියුණුව උදෙසා සමාජ සත්කාර්යන්ද අරඹන ලදී. ඒ අතර බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ ශ්‍රී සුමන තිස්ස දහම් පාසල ආරම්භ කරන ලදී. ඉන් පසුව 1956 දී විහාරාධිපති ධුරයට පත්වූයේ පිටිපන මේධානන්ද මාහිමිපාණන් වහන්සේය. 1960 වර්ෂයේදී පමණ මෙහි පවත්වන දේව පූජාවන් සඳහා විශාල වශයෙන් බැතිමතුන් සහභාගි වී ඇත.

1990 වසරේ සිට විහාරාධිපති ධුරයටපත් ගොඩගම සුමේධ නාහිමියන්ද මහත් ශාසනික මෙහෙවරක් සිද්ධ කරන ලදී. අදටත් ගොඩගම සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා උපදෙස් මේ විහාරස්ථානයේ උන්නතිය සඳහා ලබාදීම ඇගයිය යුතු කරුණකි. ඉක්බිතිව 2000 වසරේදී බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ සියලු කටයුතු සොයා බලමින් ගරාවැටී ගිය බෝධි ප්‍රාකාරය ගොඩනැගීම සඳහා කටයුතු කරනලද අතර ඒ සඳහා බටවල ගම් පියසේ පදිංචි ව සිට ජන්මාන්තරගත වෛද්‍යචාර්ය තිලකරත්න රතුගම මහතා හා බේබි නෝනා අමරසිංහ මහත්මියට පින් පිණිස දූපුතුන්ගේ සිය ධන පරිත්‍යාගයෙන් බෝධි ප්‍රාකාරය ඉදිකර බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන ලදී. එවන් විශාල කාර්ය භාරයක් ඉටුකරමින් විහාරස්ථානයට අඩුපාඩුවක්ව පවතින වෙහෙර වහන්සේ නමක් ස්ථාපනය කළ යුතුයැයි තීරණය කළ උන්වහන්සේ මෙතෙක් කලකට නොහැකි වූ මෙම භාරදූර කාර්ය ඇරඹීම සඳහා මූලික අඩිතාලම 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලදී. දැනට මූලික අඩිතාලම් කටයුතු අවසන් කර ඇති අතර, වෙහෙර වහන්සේ ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් තට්ටුව (ස්ලැබ් එක) දමා ඒ මත වෙහෙර වහන්සේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. වෙහෙර වහන්සේගේ යට ඉදිවෙන ශාලාව ගිහි පැවිදි පින්වතුන්ට භාවනා කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව විහාරාධිපති ගොඩගම ධම්මරතන හිමියෝ පවසති.

ඉදිවෙමින් පවතින වෙහෙර වහන්සේ උදෙසා රුපියල් ලක්ෂ පනහක් වැයවන බවත් කියයි. විහාරස්ථානයේ ඉදිකර ඇති විෂ්ණු දේව මන්දිරය පිළිබඳව ගම්වැසියන් තුළ ඇත්තේ ඉතා ප්‍රබල භක්තියෙන් යුත් විශ්වාසයකි.

පැරණි ධර්ම ශාලාව සහ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දර්ශනීය ලෙස මූර්තිමත් කරන ලද දර්ශනීය බුද්ධ මන්දිරය දැක ගත හැකිය. ඉදිකළ දානශාලාව ගොඩගම ධම්මරතන හිමියන් සංඝාවාසය ලෙස ඉතා දුෂ්කරව පරිහරණය කරයි. බටවල නාගස්ගොඩැල්ල පුරාණ විහාරස්ථානය පෞරාණික මෙන්ම දේව ආකර්ෂණය පවතින අති උතුම් පුදබිමකි. එවන් සිද්ධස්ථාන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සියලු දෙනාගේම යුතුකම හා වගකීම විය යුතු බවද කියයි.