Print this Article


අනුරාධපුර මහාවිහාර පුරාණය

අනුරාධපුර මහාවිහාර පුරාණය

මෙම ලිපියෙහි මුල් කොටස අධි ඇසළ පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

මෙම සප්ත ස්ථානයට උන්වහන්සේ විසින් මල් පුජා කිරීමත් සමඟ පෘථිවිය කම්පා වූ බව ද සඳහන්ය. මහාවිහාර සීමාව මෙම මහාසීමාව ඇතුළත වුවක් ලෙසින් විද්වද්හු පෙන්වා දෙති. සේනක බණ්ඩාරනායක මහතා උතුරින් ථූපාරාමයත් දකුණින් මයුර පිරිවෙනත් ගිණිකොණින් ශ්‍රී මහාබෝධියත් නැගෙනහිරින් ලෝවාමාහාප්‍රාසාදයත්, ඊසාන දිගින් රුවන්වැලි සෑයටත් වයඹින් බසවක්කුලම වැවත් බස්නාහිරින් මිරිසවැටියත් දකුණින් දක්ෂිණ විහාරයත් නැගෙනහිරින් හාල්පාන ඇලත් මෙම විහාර සීමාවට ඇතුලත් වන්නට ඇතැයි අනුමාන කරයි.ඇතැම්හු ථූපාරමාය මහාවිහාර සීමාවෙන් පිටත පැවැති ස්ථානයක් ලෙසින් එහි ඇති නටබුන් පිරික්සීමෙන් තීරණය කර තිබේ. නමුත් මූලාශ්‍රගත තොරතුරු විමසනවිට ථූපාරාමයද මහා විහාරයට අයත් වුවක් ලෙසින් සැලකීම වඩා යුක්ති සහගතය.

ඒ අනුව උතුරින් ඇතුළු නුවර දක්ෂිණ පවුර දකුණි දක්ෂිණ ථූපය දක්වාත් නැගෙනහිරින් හාල්පාන ඇල දක්වාත් බටහිරින් මිරිසවටිය දක්වාත් භූමි කලාපය මහාවිහාරයට අයත්වන්නට ඇතැයි සංජීව හෙට්ටිආරච්චි මහතා අදහස් කරයි.

දුට්ඨගාමිණී රාජ්‍ය සමය (ක්‍රි.ව. 160- 137) මහාවිහාර ථෙරීය සම්ප්‍රදායේ දියුණුව උදෙසා කටයුතු රැසක් ඉටු වූ ස්වර්ණමය අවධියක් ලෙසින්ද ඉතිහාස ගතය. මිරිසවැටිය , මහාථූපය හා ලෝවාමහාපායට මහාවිහාර භුමිය තුළ පිහිටුවමින් මහාවිහාරය වඩාත් ජනපි‍්‍රයත්වයට පත්කරලීම, මූලස්ථානයක් ලෙසින් මහාවිහාරයේ පැවැත්මට හිතකර සාධකයක් විය. වට්ඨගාමිණි රජු දවස ත්‍රිපිටකය ලේඛනාරූඬ කිරීමට මහාවිහාරිකයන් ගත් ප්‍රයත්නය ත්‍රිපිටක ධර්මයේ දීර්ඝ කාලීන පැවැත්ම උදෙසාගත් කාලෝචිත පියවරක්ද විය. මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ප්‍රථමයෙන් ග්‍රන්ථාරූඬ කළේය. සිහල බසින් මුඛ පම්පරානුගතව ආරක්ෂා කළ ත්‍රිපිටක අටුටාවන් පස්වැනි සියවසේදී ලංකාවට පැමිණි අටුවාචාරිය බුද්ධඝෝස හිමියන්ට මාගඡි බසට නැඟීමට මහත් උපකාරිත්වයක් ලැබුණේ ත්‍රිපිටකය හා අටුවාවන් මෙසේ ග්‍රන්ථාරූඩව පැවැතීම මතය.

ථෙරිය සම්ප්‍රදායට එරෙහිව ඉස්මතු වෙමින් පැවැති වෛතුල්‍ය මත මර්ධනය කිරීමට මහාවිහාරිකයනට පාලක අනුග්‍රහයද ලබා ගනිමින් සිය ස්ථාවරත්ව තහවුරු කර ගැනීමට සිදුවිය. කපිල ඇමැතිගේ උපදේශකත්වය ලබා ගනිමින් මහාවිහාරිකයන්ගේ හා වෛතුල්‍යවාදීන්ගේ ග්‍රන්ථ සංසන්දනය කරමින් ධර්ම විනය හා සංසන්දනය කරමින් වෛතුල්‍යවාදීනට නිග්‍රහ කොට එම මත බැහැර කළා පමණක් නොව එහි පොත් ගිනි තැබීමටද වෝහාරික තිස්ස රජු විසින් කළ අණ ථෙරවාදීන්ගේ ඉදිරි ගමනේ බාධක ඉවත් කිරීමේ තව පියවරක් විය.

ථෙරවාදි සම්ප්‍රදාය ආරක්ෂා කරලීම සදහා අභයගිරියට මෙන්ම මහායානික මතවාදයන්ට එරෙහිව මහාවිහාරික භික්ෂූන් පෙළගැසීමත් පාලකයන්ගේ සහාය ලබා ගැනීම් නිසා මහාවිහාරය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රි.ව. සිව්වැනි සියවස වන විට ඉස්මතු වේ. දකුණින්ූ ඉන්දියාවේ සිට පැමිණෙන සංඝමිත්ත භික්ෂුව මෙම කාර්යාවලියේ පුරෝගාමියා විය. මහා විහාරිකයන් ගෙන් පලි ගැනීමේ චේතනාවේ ලංකාවට පැමිණී සංඝමිත්ත භික්ෂුව, රජුගේ සිත දිනා සිය පුත් කුමරුවන්ගේ ආචාර්යවරයා ද බවට ද පත්වේ.

මීළඟ අදියර ලෙසින් සංඝමිත්ත භික්ෂුව මහාවිහාරය විනාශ කරලීමට මහාසේන (ක්‍රි.ව. 334-362) පොලඹවා ගැනීමට කටයුතු යෙදීය. එහිදි මහාවිහාරිකයන් විනයවාසී නොවන බවත් තමන් විනයවාදි බවත් රජුට ඒත්තු ගන්වමින් ථෙරවාදීන් කෙරෙහි පාලකයා තුළ වු ආකල්ප වෙනස් කිරීමටද ක්‍රියා කළා පමණක් නොව මහාවිහාර වැසි භික්ෂුවක් විෂයෙහි දනක් දුන් කෙනෙකුට සියයක් දඩයයි රාජ ආඥාවක් ද තැබ්බ විය. ථෙරවාදීහු මහාවිහාරය අතැහැර මලය,රෝහණය වැනි ප්‍රදේශයන් වෙත ගොස් සිය ස්ථාවරත්වය පාවා නොදීමට කටයුතු කළහ.

රජුගේ බලයෙන් සිය බලය පිරිහියන අවස්ථාවේ මහාවිහාරිකයන් තම අනන්‍යතාවය රැක ගැනීම අරභයා ගත් මෙම ප්‍රයත්නය කාලෝචිතය. හිමිකරුවකු නොමැති දෑ රජු සතු වේ යැයි කියු සංඝමිත්ත භික්ෂුව, රජුගේ සහ සෝණ ඇමැතිගේ ද සහාය ඇතිව මහා විහාරයේ ගොඩනැගිලි පවා විනාශ කරමින් එහි පැවැති ගෘහඋපකරණ වැනි දෑ පවා අභයගිරිය වෙත ගෙනයෑමට කටයුතු යෙදියි. මහාවිහාර භුමිය සමතලා කොට උඳු වැපුරු බව නිකාය සංග්‍රහය මෙන්ම රාජරත්නාකරයේද දැක්වේ.

පසුව එල්ලවන විරෝධතා හමුවේ අවසානයේදි මහාවිහාර භුමිය තුළ මහසෙන් රජු විසින් ජේතවන විහාරය ඉදිකිරීම මඟින් මහාවිහාර ථෙරීය භික්ෂුන් විසින් සමාජය තුළ ඇති කර තිබු සිය ස්ථාවරත්වය කුමක්ද? යන්න තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

මහා විහාර හා අන්‍ය නිකායික මතවාද අතර ගැටුම්ද ක්‍රමයෙන් උත්සන්න බවට පත්වන බවත් ථෙරවාදි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ජෝතිපාල නම් වු භික්ෂුවක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩමවීමෙන් පැහැදිලි වේ. පලමුවැනි අග්ගබෝධි සමයේදී (ක්‍රි.ව. 568-601) ශ්‍රී ලංකාවට වැඩමවන ජෝතිපාල හිමියන් ප්‍රසිද්ධියේ වාද කරමින් වෛතුල්‍යවාදි මත ඛණ්ඩනය කළ බව මහා වංසයේ හා නිකාය සංග්‍රහයේ දැක්වේ. ඇතැම් ථෙරිය භික්ෂූ පිරිස් මහාවිහාරිය ථෙරවාදී සම්ප්‍රදාය ගරු කළ මුත් කාලීන වෙනසක් කරා යායුතු යැයි ඔවුහු විශ්වසි නොකළහ. මෙහි ප්‍රතිලය වූයේ පාංශුකූලික හා ආරණ්‍යක වැනි ප්‍රතිපත්තිමය පාර්ශ්වය කෙරෙහි වැඩි විශ්වසනීයත්වයකින් ක්‍රියා කළ භික්ෂු සම්ප්‍රදායන් බිහිවීමය.

මෙනිසා ඇතැම් පාලක පිරිස්වල ද නව ආගමික පිරිස් විෂයෙහිද සැලකිල්ලක් ලැබුණූ බවක්ද පෙනේ. ථෙරවාද සම්ප්‍රදාය නොනැසී පැවැති බුරුම දේශයෙන් භික්ෂුන් විසිනමක් හෝ විසිපස්නමක් ලංකාවට වැඩමවා පෙරළා මෙරට භික්ෂු ශාසනය නඟාලීමට කටයුතු යෙදීමට පළමුවැනි විජයබාහු රජුට සිදුවිය. බුරුම භික්ෂූන්ටද ආරාධනා කළ බව පොළොන්නරුවේ වෙලෙක්කර අභිලේඛනයේද සඳහන්ව ඇත. එමෙන්ම ඇතැම් ධර්ම පුස්තක පවා එරටින් ගෙනෙන ලද බව කියයි.

පොළොන්නරු යුගයෙන් පසු පාලන කේන්ද්‍රස්ථාන නිරිතට සංක්‍රමණයට වීමත් සමඟ මහාවිහාරය කෙරෙහි තිබු අවධානය ක්‍රමයෙන් අඩුව ගියත් ථෙරිය භික්ෂුන් සිය මතවාද සුරක්ෂිත කර ගැනීමටද දැරූ ප්‍රයත්නයෝ අත්නොහළහ.

නැවත මහා විහාරය හා මහා විහාරය හා සබැඳි ආගමික ගොඩනැගිලි ගැන අවධානය යොමුවනු ලබන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ සමයේදීය.

වැලිවිට සරණංකර සඟරාජයාණන් වහන්සේ අටමස්ථානයට රජු සමඟ වැඩම කොට එහි සවර්ධනයට කටයුතු කළ බව දැක්වේ. අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසු මහාවිහාරයේ අටමස්ථානය ආදි ස්ථාන හඳුනාගනිමින් නවීකරණ කටයුතු ආරම්භ කෙරිණි.