Print this Article


ලෙල්ලොපිටිය බුදුලෙන රාජමහා විහාරය

ලෙල්ලොපිටිය බුදුලෙන රාජමහා විහාරය

මංසන්දියෙන් දකුණට ඇති මාර්ගයෙන් මෙම ලෙන් විහාරයට යාමට හැකිය. අඩි 40 ක් තරම් උස් වූ ගල් පර්වතයක පිහිටි ගල් විහාරය කොටස් දෙකකින් යුක්තය. අඩි තිස් දෙකක් පමණ දිගැති විසිපහක් පමණ පළලැති කොටසෙහි විහාර මන්දිරය පිහිටා ඇත

රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ ලෙල්ලොපිටිය මංසන්දියෙන් දකුණට ඇති මාර්ගයෙන් මෙම ලෙන් විහාරයට යාමට හැකිය. අඩි 40 ක් තරම් උස් වූ ගල් පර්වතයක පිහිටි ගල් විහාරය කොටස් දෙකකින් යුක්තය. අඩි තිස් දෙකක් පමණ දිගැති විසිපහක් පමණ පළලැති කොටසෙහි විහාර මන්දිරය පිහිටා ඇත.වළගම්බා රජදවස ඉදිකළ විහාරයක් බවට ජනප්‍රවාදගතය. ඓතිහාසික තොරතුරු අනුව මහනුවර රාජ්‍ය සමයේ රාජාධි රාජසිංහ රජු විසින් කරවන ලද බව පිළිගැනේ. තුඹගොඩ ස්වර්ණජෝති හිමි සුපතිපන්න විනයධර නායක ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ ශීලාදි ගුණ අසන්නට ලැබීමෙන් සතුටු වූ මහනුවර රාජාධි රාජසිංහ රජතුමා උන්වහන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා ගොඩ මඩ ඉඩම් රාශියක් ශ.ව. 1718 (ව්‍යාවහර වර්ෂ 1796) දී මෙම විහාරයට සන්නසකින් පවරා තිබේ.

බුදු මැදුරෙහි සැතපෙන ප්‍රතිමා වහන්සේ දිගින් රියන් දහ අටකි. විහාරය තුළම විෂ්ණු, සමන් දේව පතිමා දෙකක්ද දෙපස පිහිටුවා ඇත. වෙනත් විහාරවල දක්නට නොමැති මහා බ්‍රහ්මයාගේ හා සක්‍ර දෙවියන්ගේ ප්‍රතිමා දෙකක්ද දෙපස පිටුවා තිබීම විශේෂ ලක්ෂණයකි.

මෙහි තවත් ගල් ලෙනක් සංඝාවාසයක් ලෙස සකසා ඇත. තවත් කුඩා ගල්ලෙනක විහාරයේ ප්‍රයෝජනය පිණිස පැන් ලබා ගැනීමට ළිඳක් සකස් කර ඇත. වනගත පරිසරයක පිහිටි මෙම ඓතිහාසක විහාරය දුටුවන්ගේ චිත්ත සමාධිය ඇති කරන්නෙකි. ඈත කඳුයායෙන් ඉස්මතුව පෙනෙන සමන්තකුට පර්වතය විහාරය අබියසට මනාව දිස්වේ.

වර්ථමාථයේ විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිය, ධර්මශාලාව, සංඝාවාසය ආදි විහාරංගයන්ගෙන් සමන්විතය. විහාරාධිපති අස්ගිරි විහාර පාර්ශවයේ ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පාතකඩ විමලරතන නාහිමිපාණන්ගේ අනුශාසනාව හා මඟ පෙන්වීම යටතේ සංවර්ධන කටයුතු සිදු කෙරේ.එළඹෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දින එනම් 2015.07.01 මෙම විහාරස්ථානයට බුදුන් වදාළ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරිත්‍යාග කෙරේ. ඒ වෙනුවෙන් ශ්‍රී රතනපාල දහම් පාසලේ සිසු සිසුවියන් හා ආචාර්ය මණ්ඩලයත් විහාරස්ථ දායක සභාවත් පූජෝපහාර සහිතව පෙරහරකින් විහාරස්ථානයට වැඩම කරවීමට කටයුතු යොදා ඇත. මෙම මහඟු පරිත්‍යාගය පිළිබඳව ජනමාධ්‍ය ලේකම්තුමා වෙත. විහාරස්ථ දායක සභාවේ ආශිර්වාදය පිරිනැමේ.