Print this Article


මිහින්තලේ ඓතිහාසික පුරාණය

මිහින්තලේ ඓතිහාසික පුරාණය

පොසොන් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

ආගමික ක්‍රියාකාරිත්වයෙන් සරල දිවිපෙවෙතකට හුරු වූ ජන ජීවිතයත් ඒ තුළින් මතු වූ සංයමය හා පරාර්ථචරියානුබද්ධ ජීවන ප්‍රතිපදාවත් නිසා ශි‍්‍ර ලාංකේය අනන්‍යතාව තහවුරු වූ සංස්කෘතියක් බිහිවීම කෙරෙහි බලපෑවේය. මේ නිසා ශී‍්‍ර ලාංකේයනට අලුත් ජීවන මාර්ගයක් පමණක් නොව ජීවත්වීමේ අලුත් පරමාර්ථයක්ද උදා කළ පින් භූමිය වූයේ මිහින්තලයයි.

දීපව්‍යාප්ත අක්ෂර රටාවක් මෙන්ම භාෂාවක් හඳුන්වාදීමේ ගෞරවය මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්ෂුනට හා භික්ෂුණිනට හිමිවන බව පැහැදිලිය. ක්‍රිස්තු පූර්ව තෙවැනි හා පළමුවැනි සියවස්වලට අයත් සෙල්ලිපි හැත්තෑපහක් පමණ මෙහි හමුව ඇති අතර පළමුවැනි සියවසත් දෙවැනි සියවසටත් අයත් සෙල්ලිපි හතරකි. ක්‍රිස්තු වර්ෂ සය වැනි හත්වැනි සියවස්වලට අයත් සෙල්ලිපි කීපයක්ද ක්‍රිස්තුවර්ෂ අටවැනි සියවසට අයත් තඹපත්‍ර හා අම්බස්තල ස්තූපයට නුදුරින් ඇති ත්‍රිකායසද්තව සෙල්ලිපියත් දහවැනි සියවසට අයත් සිවුවැනි මිහිඳු රජුගේ පුවරු ලිපිය බුද්ධ ශාසන ඉතිහාසයෙහි සංඝ සමාජය හා විහාර පාලනය පිළිබඳ එළී කරනු ලබන වටිනා ලිපියකි. ඉදිකටු සෑයේ තිබි සොයාගත් ලේඛන මහායානික සූත්‍රයක්වන පංචවිංසති සහශි‍්‍රක ප්‍රඥා පාරමිතාව සඳහන්ය. තවත් තඹ පත්‍ර කීපයකින් කාශ්‍යප පරිවර්ත සූත්‍ර පාට හමුවී තිබේ.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා රැසක් සනිටුහන් වූයේ මහින්දාගමනයෙන් පසුව බව සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි තුළින් සනාථ වේ. පන්සල අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූ අතර භික්ෂුව ජාතියේ ගුරුවරයා විය. මිහිඳු හිමියන් විසින් අම්බස්තලයේදි රජුගෙන් විචාළ අඹ පැනයත් ඥාති පැනයත් රජු ලබා දුන් පිළිතුරත් නිරතුරුව සිහිගන්වනුයේ ගුරුවරයකුගේ භූමිකාවයි. ඒ අනුව භික්ෂුව ජාතියේ ගුරුවරයාවීමේ පළමු පියවර තබන ලද්දේද මිහින්තලයෙන් බව පැහැදිලිය. එමෙන්ම ක්‍රිස්තු පූර්ව සයවැනි සියවසට අයත් කළ හැකි බ්‍රාහ්මී අක්ෂර කීපයක් දැනට අනුරාධපුර ගෙඩිගේ කළ කැණීම් මඟින් මතු කරගෙන ඇතත් දීප ව්‍යාප්ත වූ අක්ෂර රටාවක් ගැන තොරතරු ලැබෙනුයේ ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසින් පසුව බව අභිලේඛන සාක්ෂි පෙනීයයි.

දේවානම්පියත්සස පාලන සමයේ සිටම පාලක අනුග්‍රහය ලැබු ප්‍රධාන බෞද්ධ ආගමික ස්ථානයක් ලෙසින් මිහින්තලයට වැදගත්-කමක් හිමිවේ. මේ බව වංසකථා හා අභිලේඛන මූලාශ්‍රවලින් සනාථ වේ. දේවානම්පියතිස්ස හා මිහිඳු හිමියන් හමුවී රජු ඇතුළු පිරිස් පළමුවෙන් භික්ෂූන් මෙරට තුළදී දුටු ස්ථානයවීම තිසරණගත උපාසකයෙකුවීම පළමුවෙන් ධර්මශ්‍රවණය කළ ස්ථානය වීම නිසාත් එම අවධිය තුළ පළමු පැවිද්ද හා පළමු උපදම්පදාව ද මෙම ස්ථානය කේන්ද්‍රගතකොට ඇති- කිරීමත් සමන්තපාසාදිකව හා මහාබෝධිවංසය දක්වන පරිදි ලක්දිවට වැඩම කරවු මෙහමෙවුනා උයනේ රෝපිත මහාබෝධි හටගත් අෂ්ඨඵලයන් ගෙන් එකක් සෑගිරි අරමෙහි තැම්පත් කළ බව දක්වයි. පළමු දූත පිරිස හා අරිට්ඨතෙරුන් ප්‍රමුඛ මෙරටින් පැවිද්ද ලැබූ පනස් පස්දෙනෙකු සෑගිරියේදී වස් සමාදන්වීම නිසා පළමු වස් සමාදානය සිදු කළ ස්ථානය ලෙසත් භික්ෂුන් උදෙසා පළමු ආරාම පූජාවත් දේවානම්පියතිස්ස රජු දවස මිහින්තලය සිදුවීම නිසා මෙහි ඓතිහාසිකත්වයට වඩාත් වැදගත්කමක් හිමිවේ.

එමෙන්ම උත්තිය රජුගේ අභිෂේකයෙන් අටවැනි වසරේදි මිහිඳු මාහිමියන් අපවත්වීම සිදුව ඇත. එම වසෙර් වප්මස ශුක්ල පක්ෂියේ අටවක්දින මිහිඳු හිමියන් සෑගිරියේ පිරිනිවන් පාන ලද අතර උන්වහන්සේගේ ආදාහනය අනුරාධපුරයේ දී සිදුකොට භෂ්මාව ශේෂවලින් කොටසක් සෑගිරියට ගෙන මිහිඳු සෑය බඳවා තිබේ. එළාර රජු ද සෑගිරිය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවත් සෑගිරියට ගිය අවස්ථාවක සිය රථයේ රෝදය වැදී කැඩී ගිය බවත් පසුව එය තිබු පරිද්දෙන් සකසන ලද බවත් වංසකථාව කියයි. සද්ධාතිස්ස රජු සෑගිරියේ භික්ෂූන්ට දන්දුන් බවත් ලඤ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109) ද මහාවිහාරිය භික්ෂූන් සමඟ ඇති කරගත් මතභේදයක් මත සෑගිරියේ භික්ෂූන්ට දන් දුන් බව අට්ඨකථාව දක්වන අතර පසුව ලක්ෂයක් වියදම් කොට කණ්ඨක චේතියේ සෙල්මුවා කඤ්චුකයක් ද ඔහු විසින් කර තිබේ. සෑගිරියේ මහා පෝය ගෙයක් බැඳවීමට හා එහි ඉදිරියේ ගල් සෑයක් බැඳවීමට කූටකණ්ණ තිස්ස රජු (ක්‍රි.පූ. 41- 19) විසින් සිය දායකත්වය ලබාදී තිබේ. සෑගිරි ගලේ බෝ වෘක්ෂයක් රෝපණය කරලීම පිණිස සිය දායකත්වය දී ඇත. භාතිකාභය රජුද (ක්‍රි.පූ. 19- ක්‍රි.ව. 09) මිහින්තලයේ ඇත්වෙහෙර කළ බව සෙල්ලිපි සාක්ෂිවලින් සනාථ වේ. දිනපතා චේතියගිරි වැසි රහත් භික්ෂුන් විෂයෙහි දන් පිළිගැන්වූ බවද වංසකථාව දක්වයි. අම්බස්තල මහාථූපය ගොඩනැංවීමේ දායකත්වය මහාදාඨික මහානාග රජු විසින් ලබාදුන් බවත් එය වත්මන් මහාථූපය ලෙසින් සැලකෙන බවත් ඇතැම්හු සඳහන් කරති. ඒ නිමිත්තෙන් ගිරිහණ්ඩ පූජාව නම් මහා මහෝත්සවයක් රජු විසින් චේතියගිරිය මුල් කොට ඉටු කොට කොට තිබේ. එමෙන්ම මෙම ස්ථානයේ පැවැත්ම හා නවකම් උදෙසා අවශ්‍ය ආදායම් ලබාදීමට රජු ක්‍රියා කළ බව අභිලේඛන සාක්ෂිවලින් එළිදරව් වේ. සෑගිරියේදී අධිකරණ විනිශ්චයකින් පසු දුසිල්වත් භික්ෂූන් සැටක් පමණ අල්වා කාණීර ගුහාවෙහි දැමීමට කර්ණරජානු තිස්ස රජු (ක්‍රි.ව. 31-30) ක්‍රියා කළ බව වංසකථාව තවදුරටත් දක්වයි. වසරක් පාසා සෑගිරියේ පහන් දහසක් දැල්වීමට වසභ රජු (ක්‍රි.ව. 161-192) අණ තබා තිබේ.

එමෙන්ම අම්බස්තල සෑ ගෙය සෑදිමේ දායකත්වය කනිට්ඨතිස්ස රජු විසින් දරනලද අතර සෑගිරියට ආදායම් ලබාදීමේ අරමුණින් කළුමැටි වැව පළමුවන ජෙට්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 266-276) පූජාකර තිබේ. කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 303-331) මිහිඳු මාහිමියන් අනුස්මරණය කරනු වස් වාර්ෂික පෙරහරක් සහිත උත්සවයක් සංවිධානය කර ඇත. මහානාම රජු දවස (ක්‍රි.ව. 406-428) ලක්දිවට වැඩමකළ ෆාහියන් භික්ෂුව ද සෑගිරිය ගැන සටහන් අමතක නොකළහ. උන්වහන්සේ වැඩමවන සමය වනවිට සෑගිරියේ භික්ෂූන් දෙදහස් පන්සියයක් පමණ වැඩ වාසය කළ බවත් එම භික්ෂුන් අතර උගත් හා සිල්වත් භික්ෂුවක් වූ ධර්මගුප්ත නම් භික්ෂුවක් ගැන තව දුරටත් විස්තරයක් ඉදිරිපත් කරයි. ධාතුසේන රජු (ක්‍රි.ව. 459-477) විසින් ධම්මරුචික භික්ෂූන් විෂයෙහි ලබාදී තිබූ සෑගිරිය තුළ අම්බස්තල විහාරයක් කරවා නැවත මහා විහාරීය භික්ෂූන් වෙත නැවත පිදු බව දැක්වේ. පළමුවැනි අග්ගබෝධි රජු දවස චේතියගිරියේ නාගසෝඩිනම් පොකුණක් කළ බව දක්වන අතර මෙම පොකුණද අද නාගපොකුණ ලෙසින් ව්‍යවහාරයට පත්ව ඇති බව ඇතැම්හු දක්වති. එමෙන්ම මෙම රජු මිහින්තලා වැව ඉදිකොට මිහිඳු හිමියන්ගේ රුව එම ස්ථාන වෙත වැඩමවීමට උපදෙස් ලබාදුන් බවද වංසකථාව දක්වයි.

පස්වැනි අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව. 718-724) මෙහෙසිය විසින් සෑගිරියේ කටු සෑය ඉදිකොට තිබේ. ගිරි කන්ද නම් වෙහෙර ප්‍රතිසංස්කරණය කරමින් භික්ෂුන්ට සිවුපසය ලබා ගැනීම පිණිස භෝග ග්‍රාමයන්ද ප්‍රදානය කර තිබේ. දෙවැනි දප්පුල රජුගේ (ක්‍රි.ව. 815-831) සේනා නම් මෙහෙසිය විසින් සෑගිරියේ කටු සෑයද ජයසේන නම් මහා විහාරයද කරවා ගම්වරයක්ද භික්ෂූන් විෂයෙහි පූජා කළ බව වංසකථාවේ සඳහන්ය. හතරවන කාශ්‍යප රජුගේ සෙන්පතියෙකු චේතියගිරියේ හදසුණ්හ නම් පිරිවෙන ද කරවා ධම්මරුචික භික්ෂුන් විෂයෙහි පූජා කර තිබේ. පළමුවන සේන රජු ( ක්‍රි.ව. 833-863) සෑගිරියට කනා වැව පූජාකොට තිබේ. කනා වැව යනු කනදරාව විය යුතු යැයි නිකලස්ගේ නිගමනයට අනුව තීරණය කළ හැකිය. එමෙන්ම මෙම වැවෙන් ලබන ලද ආදායම් විහාරිය භික්ෂූන් විෂයෙහි ලබාදි තිබේ. දෙවැනි සේන රජු (කි‍්‍ර.ව. 853-887) මෙම ස්ථානයෙහි වෙදහලක් ඉදිකිරීමට කටයුතු කොට තිබේ. එමෙන්ම මෙම විහාරයෙහි ඉඩකඩම් හා විහාර පරිපාලනය ගැන වැදගත් තොරතුරු රැසක් ඔහු විසින් මෙම ස්ථායෙහි පිහිටුවා තිබෙන ශිලාලේඛනවලින් සනාථ වේ. සිවු වැනි මිහිඳු රජුගේ ශිලා ලේඛන දෙකක් මිහින්තලේ මැදමළුවේ දක්නට ලැබේ.විශේෂයෙන් මෙහි ඇති දීර්ඝතම ලිපි දෙක වනුයේ මෙම ලිපියයි. සෑගිරියේ විහාරාම පාලනය ගැන මෙන්ම එම විහාරයිය වැඩ කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීම පිණිස ද මෙම ලිපිය ඉතා වැදගත්කමක් දරයි. අනුරාධපුර යුගයෙන් පසු මිහින්තලය ගැන අවධානය යොමු කළ පාලකයෙකු ලෙසින් සඳහන් කරනුයේ පළමුවැනි පරාක්‍රමබාහු රජුය. ඔහු විසින් සිවු සැටැක් ද දාගැබ් කරවා ජරාවාසව පැවැති ස්ථානයන්හි නවකම් කරවා තිබේ.

ඉන් අනතුරුව මේ ගැන අවධානය යොමුවනු ලබන්නේ විසිවැනි සියවසේ දෙවැනි භාගයේදීය. පළමුවෙන් 1866 එස්. එම්. බාරොස් විසින් මෙම ස්ථානයේ එළිපෙහෙලි කරමින් නටබුන් මතු කරගත් අතර පුරාවිද්‍යාත්මකව ලීවසර් ගේ ආරාධනයෙන් 1890 න් එච්.සී.පී. බෙල් මහතාගේ මෙහෙයවීමෙන් කළ අධ්‍යයනයත් සමඟය. 1910-11 පළ කළ පුරාවිද්‍යා වාර්තාවෙන් මේ ගැන තොරතුරු එළි දැක්වීමත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය වඩාත් මේ කෙරෙහි යොමුවිය. ඉන් පසු ඒ.එම්.හොකාර්ට් හා සෙනරත් පරණවිතාන වැනි පුරාවිද්‍යාඥයින්ගේ අවධානය මේ කෙරෙහි යොමුවීම පර්යේෂණ කටයුතු හා පර්යේෂණ වාර්තා එළි දැක්වීම හරහා මිහින්තලයේ ඓතිහාසිකත්වය වඩ වඩාත් එළි කර ගැනීමට මෙන්ම සමස්ත බෞද්ධයන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කර ගැනීමටත් අවකාශය සැලසිනි.