Print this Article


හෝමාගම පොසොන් මහ පෙරහර

හෝමාගම පොසොන් මහ පෙරහර

ශ්‍රී ලංකාව වසර දෙදහස් පන්සිය ගණනක සිට බෞද්ධ සංස්කෘතික හරයන්ගෙන් පෝෂිත දහම් දිවයිනක් ලෙස අප රට පත්ව ඇත. සාහිත්‍ය තුළ බෞද්ධ සාහිත්‍ය ලකුණ ද කලා ශිල්ප තුළ බෞද්ධ ශිෂ්ටාචාරයක නටබුන් ද සංස්කෘතික අංග ශිල්පවලදී බෞද්ධ මුහුණුවර ද දක්නට ලැබෙන්නේ බොදු උදානය සෑම අංශයකම පැතිරී ඇති හෙයිනි. සිරිලක සිවු කොණ අස්සක් මුල්ලක් නෑරම දාගැබ්, මහබෝ, පෙති පිළිම ඈ වන්දනීය පූජනීය වස්තූන්ගෙන් පිරී පවතින්නේ බුදු දහමේ ආභාසය ලැබූදා සිට ගම් දනව් සිසාරා බොදු හැදියාව, බොදු සිරිත,බොදු දහම මානව වර්ගයා වෙත දායාද වූ බවය.

මහා වංසය ආදී අපේ ජාතික වංශ කතාවලින් සිරිලක රජ දරුවන් ලංකා මාතාවගේ විජයග්‍රහණය පිණිස කරන ලද අනගිභවනීය සේවාව වාර්තා කරන්නා සේ ආගමික ප්‍රබෝධය පිණිස දිවි හිමියෙන් ගෞතම බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ගත් විවිධ ක්‍රියා මාර්ග ගැන ද තොරතුරු සඳහන් වේ. සමුදුරු පරයන මහ වැව් තනවා, මහ වැව් කෙළවර දාගැබ් තැනුවේ හෙළයා අර්ථයෙන් ධර්මයෙන් පෝෂිත ජනතාවක් කිරීම සඳහාය. ඒ නිසා එම වගකීම මැනවින් ඉටු කරන අතර මහින්දාගමනය නිසාද දායාද වූ අනෙක විධි කලාශිල්ප ආදී නව අංග කෙරෙහි ද ජනතාව වඩාත් උනන්දු විය. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම ලංකා ශාසන ඉතිහාසයේ අසිරිමත් සිදුවීමක් වූ අතර බෞද්ධ පූජනීය වස්තුවක් වෙනුවෙන් මහ පෙරහරක් පැවැත්වීමද දළදාගමනය සිදුවීමත් සමඟ උදා විය.

හෝමාගම පුරාණ විහාරස්ථානය ජාතික ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් උදා කරන හේවාගම් කෝරළයේ පිහිටි පැරණි විහාරස්ථානයකි. එහි 1960 වර්ෂයේ ආරම්භ කළ පොසොන් මහ පෙරහර මෙවරද 54 වන වරටත් ජූනි 13 වන දින රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතය. පුරාණ විහාරාධිපති සිනාදි සිව් කොරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අනුශාසනය පරිදි විහාරස්ථ මහා මහින්දෝත්සවය සමිතිය සංවිධානය කරන මෙම මහ පෙරහරට විහාරස්ථ විශාකා කුලඟන සමිතිය, දායක මහ සභාව, සිරි සීවලි දහම් පාසල යන ආයතන සෘජුවම දායකත්වය සපයයි. එපමණකුදු නොව හෝමාගම ප්‍රාදේශීය සභාව විශාල අනුග්‍රහයක් දක්වන අතර බස්නාහිර පළාත් සභාව ද හේවාගම් කෝරළයේ මෙම සංස්කෘතික උදානයට දායකත්වය සපයයි. හෝමාගම පුරාණ විහාරස්ථානයට කවදත් අතහිත දෙන හෝමාගම ව්‍යාපාරික ප්‍රජාව හා බැංකු මෙම පොසොන් මහ පෙරහර සාර්ථක කර ගැනීමට දක්වන අනුග්‍රහය අගය කරමි.

මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව වැඩම කරවන අතර මහා මහේන්ද්‍ර ප්‍රතිමාව වැඩම කරවීමද මෙම පෙරහරේ විශේෂ අංග ලක්ෂණ වේ. එම දෙඅංශයේ පූජනීයත්වය ගරුත්වය රැක දෙනු වස් අවශේෂ විශේෂාංග රැසක් මෙවර පෙරහරට අතිරේක ආලෝකයක් සපයයි. උඩරට, පහතරට, සබරගමු නැටුම්, අලි ඇතුන් පහළොවක්, වෙනත් නර්තන අංග, නැටුම්, ගැයුම්, භක්ති ගීත, ගිනිබෝල, වන්නම්, බොරු කකුල්, කස ඇතුළු සාම්ප්‍රදායික ජන නැටුම් රැසකින් හෝමාගම පොසොන් පෙරහර ආලෝකවත් වනු ඇත.

අපේ බෞද්ධ සංස්කෘතියේ හරය ඉස්මතු වන ලෙසින් අපේ ජාතික සහ ආගමික අනන්‍යතාව ඉස්මතු වන ලෙසින් අපේ ජාතික සහ ආගමික අනන්‍යතාව ඉස්මතු වන ලෙස ප්‍රෞඪ හා අභිමානවත් ලෙසින් පැවැත්වෙන මෙම පෙරහර ශ්‍රී මහින්දෝත්සව සමිතියේ නිසි මඟ පෙන්වීම සහ කැපවීම නිසාය.

පෙරහර නැරඹීමෙන් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ සිත් පහන් සුවපත් වනු ඇත. ජාතික,ආගමික, සහජීවනය තහවුරු වනු ඇත. බැතිබර හැඟුම් ජනතා සිත් සතන් තුළ සද් පුරුෂ චේතනා හා ගුණ දහම් බීජ ජනතා හදවත් තුළ රෝපණය වනු ඇත. අලි ඇතුන් 15 දෙනෙකු හා උඩරට පහතරට සබරගමු නැටුම් අංග 60 කින් සමන්විත මෙම පෙරහර 2015 ජූනි 13 රාත්‍රී 8.00 හෝමාගම පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වී අතුරුගිරිය පාර හෝමාගම නගරය හයිලෙවල් පාර, වලව්ව පාර නගර සීමා මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණේ.