Print this Article


බෝධි පූජාව

බෝධි පූජාව

පොසොන් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

ගෞතම ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් ධම්ම චක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාහි මෙසේ වදාරන සේක.

“මහණෙනි යම් කාලයෙකැ මට මේ සිව් අරිසස්හි මෙසේ තුන් පිරිවටක් හා දොළොස් අයුරක් ඇති “ඥාන” සංඛ්‍යාත දර්ශනය සතු සේ වෙසෙසින් විසුදුවී ද, මහණෙනි එකල්හිම අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය (අනුත්තරං සම්මා සම්බෝධිං”) සාක්ෂාත් කොටැගනිමියි ප්‍රතිඥා කරමි”.යනුවෙනි.

ශාක්‍යපුත්‍ර මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ තමන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව, එම බෝධි ඥානය ලබාගත් බව මෙසේ වදාරණ හෙයින් උන්වහන්සේ හැඳින්වීම පිණිස “බුද්ධ නාමයත් එසේම එම බුද්ධත්වයට පත් වූ ස්ථානයෙහි පිහිටි ඇසතු වෘක්ෂයට “බෝධි’ නාමයත් බෞද්ධයන් අතර ව්‍යවහාරයට පත්විය. එසේම ඇසතු වෘක්ෂයට ඇසතු යන නාමය වෙනුවට ‘ශී‍්‍ර මහා බෝධින් වහන්සේ’ යන ගෞරවාදර සම්ප්‍රයුක්ත විශේෂ නාමයද භාවිතයට පැමිණියේය.

වෘක්ෂ වන්දනාව බෝධි වන්දනාව බවට පත්වීම

පුරතාන භාරත දේශීයන් අතර පැවැති වෘක්ෂ වන්දනාව නිරර්ථක වූ ක්‍රියාවක් බව දැක්වූ අංගීරස මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ මෙසේ ඒ වෙනුයට බුද්ධගයාහි පිහිටි ඇසතු වෘක්ෂයට ගෞරවාචාර දැක්වීම අනුමත කළ සේක. එමගින්ම වෘක්ෂ වන්දනාව හා දේව වන්දනාව ද බැහැර කරමින් ආදර්ශවත් වෙනත් අදහසක් ද ඉදිරිපත් කළහ. ඇසතු (අශ්වත්ථ) වෘක්ෂය බෞද්ධයන්ගේ සුවිශේෂ වූ ගරු බුහුමන් ලැබුමට හේතුවූ කරුණුූ රැසක්ම වෙයි.

1. ලෝකනාථයාණන් වහන්සේ බුදු පදවි ලබන දින මෙම ඇසතු වෘක්ෂයට පිට දී එම උත්තරීතර තත්ත්වයට පැමිණීම

2. මෙසේ තථාගත සම්බුදු පහස ලැබීම හා මෙහිදීම උන්වහන්සේ විවිධ වූ ධ්‍යාන සමාපත්තියට සමවැදීම

3. සතියක් මුළුල්ලෙහි ම ගෞතම ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් ද සිය නෙත් කැලුමෙන් (අනිමිස ලෝචන පූජාවෙන්) පුදනු ලැබීම

4. සවණක් ඝන බුදුරැස් මාලාවෙන් මෙම වෘක්ෂයෙහි කඳ හා අතුර පතර ද නැහැවී යාම හා

5. මෙම වෘක්ෂය පිහිටි භූමියෙහි වූ අපරාජිත බව ද මෙම කරුණු අතර වේ.

කාලිංග බෝධි ජාතක අටුවාවෙහි මෙසේ ද සඳහන් වේ.

ආනන්ද බෝධිය රෝපණය කළ ඉක්බිතිවැ ආනන්ද හිමියෝ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේට මෙසේ ඇරයුමක් කළාහුයැ.

“භාග්‍යවතුන් වහන්ස බුදුවන දා මෙන් මෙහි ද වැඩ සිටිමින් එම සියලුම ධ්‍යාන සමාපත්තින්ට සම වදින සේක්වා!

”ආනන්දය එය නො කළ හැකි වූ දෙයෙකි. එසේ කළ හැක්කේ එම අපරාජිත බෝධි මුලයෙහිදීම පමණෙකි. මෙ ලොවැ වෙනත් භූමියකට එබඳු වූ ශක්තියක් නැත” .

(එහෙත් තථාගත සම්බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ රාත්‍රියක්ම ආනන්ද බෝධි මූලයෙහි ද ධ්‍යාන සුවයෙන් ගත කළ සේකැයි” එහිම වැඩි දුරටත් දක්වා ඇත)

ඇසතු වෘක්ෂයට මෙසේ ගරු බුහුමන් දැක්වීම් මගින් එම ගරු බුහුමන් දැක්වීම සම්මා සම්බුද්ධ ඥානයට ද කරනු ලබන ගරු බුහුමන් දැක්වීමක් ද වන බව මෙම පුවතෙන් පැහැදිලි වේ. එසේම සම්බුදු දහම්හි දැක්වෙන උදාරතම ගුණාංගයක් වන “කළ ගුණ සැලකීම පිළිබද සත් චාරිත්‍රය මෙයින්ම නිරූපනය කරමින් ලෝවාසින් හට පූර්වාදර්ශයක් ද දෙන සේක.’”බෝධි වුච්චති චතුසු මග්ගෙ සුඤාණං” (බෝධීං යනු චතුර් විධ වූ ආර්ය – මාර්ග ඥානයන් ම වේ) යනුවෙන් අට්ඨ කථාචාරිහු මෙම “බෝධි” නාමය පැහැදලි කරණුවස් අරුත් සපයා ඇත්තේ ද එහෙයින්ය.

ජම්බුද්වීප වාසින් අතර මෙසේ බෝධි පුජා පැවැත්වීම ආරම්භ වූයේ ආරාමයෙහි බුදුරදුන් වැඩ නො සිටින කල්හි බුදුරදුන් වෙනුවට යොදා ගනු ලබන සංකේතයක් වශයෙනි. එසේම සියලුම බෝධි පුජාවන්’ ආමිෂ පුජාවන්’ද වේ. පින්රැස් කරගනු පිණිස තෙරුවන් පිදුම මෙහි අපේක්ෂාව විය. මේ සදහා මල් මලා පිරිසුදු ජලය කොඩිවැල්, සුවඳ පැන් හා සුවඳ දුම් ධජ පතාක හා පහන් දැල්වීම් ආදිය එකල භාවිතා කරන ලදී. දෙව්රම් වෙහෙර වැඩ විසූ සම්මා සම්බුදුරදුන් හට පුද පූජාවන් පැවැත් වූ අයුරු සඳහන් වන කථා රැසක් ම පාලි අට්ඨකථාවන්හි දැක්වේ.

භාරත දේශයෙහි විසූ ශ්‍රේෂ්ඨතම නරපතිවරයාණන් වූ ධර්මාශෝක මහ රජතුමා බුද්ධගයාහි ශී‍්‍ර මහා බෝධින් වහන්සේ කෙරෙහි දක්වන ලද්දේ අසීමිත වූ ගෞරවාදරයෙකි. මෙහෙණි සස්න පිහිටුවීම පිණිස මෙහෙණිවරුන් සමඟම ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ද එසේම එයටම පරිවාර වශයෙන් රාජ කුමාරවරුන් ඇතුළු විශාල පිරිසක් ද ලක්දිවට එවන ලද්දේ එතුමන්ට ප්‍රදානය කල හැකි වූ උත්තරීතර සම්පත මේ රටට පරිත්‍යාග කිරීමක් ද වශයෙනි. ලක්දිවැ බෝධි පූජා ආරම්භ වන්නේ ද මෙතැන් සිටය. මෙසේ ශී‍්‍ර මහාබෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහා මෙඝ වන උද්‍යාන භූමියෙහි (මහා විහාරයෙහි) රෝපණය කරනු ලැබීමත් සමඟම ලක්දිව පුරාම ඇතිවූයේ සුවිශේෂ වූ පිබිදීමෙකි. මහා මහින්ද මහ රහතුන් වහන්සේ සහ සංඝමිත්තා අරහත් මෙහෙණින් වහන්සෙලා ද නිසා ලක්වැසි බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවට ද විශේෂ වූ උද්‍යෝගයක් ලක්දිව පරාම විසූ මහජනතාව අතර ඇති විය.අනුරාධපුර ශී‍්‍ර මහාබෝධින් වහන්සේගේ බෝධිඅංකුර ලක්දිව පුරාම රෝපණය කරවීමට සිදුවූයේ ද එහෙයින්මය.මෙයින් සම්බුදු දහම්හි ව්‍යාප්තිය මෙන්ම පොදු බෞද්ධ ජනතාවගේ ජන ජිවිතය පිළිබඳ වැ වූ අවශ්‍යතා සපුරා ගැනුම පිණිස ද මෙම පූජෝපහාර පැවැත්වීම උපයෝගි කොටැ ගැනුමට ද ඔව්හු විශේෂ උනන්දුවක් දැක්වූහ.’