Print this Article


බුදු දහමින් පෝෂණය ලද ලාංකික උත්සව හා පූජාවිධි

බුදු දහමින් පෝෂණය ලද ලාංකික උත්සව හා පූජාවිධි

කණ්ඩායම් වශයෙන් එක් රැස් වී අදාළ ප්‍රධාන සිද්ධිය අළලා භක්ති ගීත ගායනා කරවති. මේ මාර්ගවලින් නරඹන්නන්ගේ හා ශ්‍රාවකයන්ගේ බුද්ධ ධර්මය පිළිබඳ දැනුම ද ශ්‍රද්ධාව ද දියුණු කෙරෙයි.

බෞද්ධ උත්සවවල විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය යුතු තවත් විශේෂ කරුණක් ඇත. එනම් පෙරහර පැවැත්වීමයි. ඒ සිරිත ආරම්භ වූයේ දෙවනපෑතිස් රජතුමාගේ කාලයේ දී ම ය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වූ අවස්ථාව ඊට කදිම නිදසුනකි. ඉන්දියාවේ සිට ලංකාවේ දඹකොළපටුන නම් වූ මුහුදු තොටට වැඩම වූ බෝධින් වහන්සේ එතැන් සිට අනුරාධපුරය දක්වා වැඩමවන ලද්දේ පංචතුර්යනාදය සහ අනේකප්‍රකාර නෘත්‍ය - ගීත – වාදිතයන්ගෙන් සමන්විත වූ විසිතුරු පෙරහරකින් ය. කිත්සිරිමෙවන් රජු දවස දන්තකුමරු සහ හේමමාලා කුමරිය විසින් ආරක්ෂා සහිත ව වැඩමවන ලද දළදා වහන්සේ මුහුදු තොටේ සිට අනුරාධපුරය දක්වා වැඩමවා ගෙන ආවේ ද දර්ශනීය පෙරහරකින් බව වංශ කතා පවසයි. අද වන විට විවිධ ආගමික සිද්ධීන් නිමිති කොට ගෙන රටේ නොයෙක් තැන්වල පෙරහර පැවැත්වෙයි. ඒවා බොහෝ විට රටවාසීන්ගේ කලාකාමීත්වය සහ කලාකරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපයෝගී වී තිබේ.

බුදු සමයේ බලපෑම ඔස්සේ දියුණු වී ගිය තවත් පූජා විධියකි, පිරිත් දේශනාව. එය එක් අතකින් ශාන්තිකර්ම විධියකි. පුද්ගලික ජීවිතයේ බොහෝ අවස්ථාවල දී පැන නගින අවශ්‍යතා පහසුවෙන් විසඳා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස පිරිත භාවිතා වන බවට සාධක දක්නා ලැබේ. දරු ප්‍රසූතිය, දරුවෙකුට නම් තැබීම, පළමු වරට කෙස් කැපීම, අකුරු කියවීම, විවාහය, රෝගියෙකු වීම, අමනුෂ්‍යයන්ගෙන් බියජනක පරිසරයක් වීම, ආදී අවස්ථාවල දී පමණක් නොව, නිවසකට මුල්ගල් තැබීම, කුඹුරු වැපිරීම ආදී අවස්ථාවල දී ද පිරිත් අනිවාර්ය වී තිබේ. මෙයින් පෙනීයන්නේ ජන ජීවිතයටත් ඔවුන්ගේ ආර්ථික හා ජීවනෝපායවලටත් පිරිත කොයිතරම් වැදගත් වේ ද යන්නයි.

බෞද්ධයන්ගේ චාරිත්‍ර අතර පිරිතට ලැබී තිබෙන ස්ථානය කොබඳුද? යන්න පැහැදිලි කර ගැනීම සඳහා කෙටි විමසීමක් කිරීම වැදගත් ය. පිරිත් දේශනාවට ගන්නා කාලය මත එය වර්ග කර ඇත. සත් දිනක් පුරා නොකඩවා දෙසන පිරිත සතිපිරිත යනුවෙන් ද, තිස් පැය (සිංහල පැය දෙකහමාරක් ඉංග්‍රීසි පැය ලෙස ගණනය කෙරෙයි) තුනක් තිස්සේ පැවැත්වෙන දේශනාව තුන්තිස් පැයේ පිරිත යනුවෙන් ද , පැය කීපයක් තිස්සේ දෙසන පිරිත වරු පිරිත යනුවෙන් ද වරු (වේල්) පිරිත යෙනුවෙන් ද වර්ග කර ඇත. මෙහි නියමය වන්නේ රෝගයේ හෝ සිද්ධියේ බරපතළකම අනුව කාලය නියම වීමයි. අංගුලිමාල පිරිත සහ වැසිපිරිත ආදී වශයෙන් නම් කෙරෙන පිරිත් තනිකර එක සිද්ධියකට පමණක් සීමා වෙයි. මෙයින් පෙනී යන්නේ පිරිත. ජීවිතය හා ඉතා කිට්ටුවෙන් බැඳී පවතින බවයි. හින්දු ආගමේ ශාන්තිකර්මවලට සමානත්වයක් දක්වන පිරිත් දේශනාව සත්‍යක්‍රියාවක ස්වරූපය දරන බව මේ අනුව නිගමනය කළ හැකි ය.

අධ්‍යයනය අතින් බැලුවොත් මාතෘකාව සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් කර තිබෙන නමුත් තව කළ යුතු බොහෝ දේ තිබේ. මේ ලිපියෙන් කර තිබෙන්නේ පර්යේෂණයක් නොව, අසම්පූර්ණ දළ විස්තරයක් ඉදිරිපත් කිරීම පමණි. මත්තෙහි දී වැඩි විස්තර දැන ගත යුතු වනු ඇත.