Print this Article


වසර 2322 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 262 ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

වසර 2322 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 262 ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

වර්තමාන සම්බුද්ධ ශාසනයෙහි මූලස්ථානය වන මහනුවර මල්වතු මහා විහාරයේ හා අස්ගිරි මහා විහාරයෙහි වාර්ෂිකව පවත්වනු ලබන සම්බුද්ධ ශාසනයේ පවත්නා ශ්‍රේෂ්ඨතම මහා විනය කර්මය වන උපසම්පදා මහා පුණ්‍යෙීත්සවය 262 වන වරටත් මහනුවර මල්වතු මහා විහාරයේ දී හා අස්ගිරි මහා විහාරයේ දී 2015 ජූනි 02 පොසොන්පුර පසළොස්වක් පොහෝදින පටන් ගෙන ජූලි මස 01 දින අධි ඇසළ පුර පසළොස්වක් පොහෝදින දින තෙක් සිදු කිරීමට මහනුවර මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞර වාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා මඟින් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්ට ඇතුළත් මහා සංඝරත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිවය.

සම්මාසම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක් දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේ යැයි දීපවංශ, මහාවංශ, ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවී වසර 218 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ නිග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත්ව මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ කාය සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතියටපත් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වීය.

ධර්මාශෝක මහරජතුමන්ගේ පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ බු.ව. 237 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත් කොට, රාජකීය අරිට්ඨ කුමාරයන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කරමින් භික්ෂු ශාසනය පිහිටවූ අතර, සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා අනුලාදේවිය ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කරමින් භික්ෂුණී ශාසනයත් පිහිටුවීමෙන් අනතුරුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසෙන් යුත් ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය බැබළවිය.ටික දිනක් ගතවන මොහොතේ මහානාග කුමාරයාට රාජ්‍ය පිළිබඳව ඇති වූ ආරවුල් තත්ත්වය නිසා මහවැලි ගඟෙන් එගොඩට රෝහණයට යන්නට සිදු විය. භික්ෂූන් වහන්සේ සහිත ස්වකීය පිරිස රැගත් මහානාග කුමාරයා මහවැලි ගඟෙන් එගොඩ වීමත් සමඟම එතුමාගේ නමින්ම නාගාරාම හෙවත් වර්තමාන සෝමවතී විහාරය ආරම්භ කළ අයුරු ද එකී ස්ථානයෙහි ඇති පිහිටුවා ඇති අභිලේඛනයන්

ගෙන් මැනවින් පැහැදිලි වේ. ඉන් අනතුරුව යටාලතිස්ස ප්‍රදේශය ආදිකොට ඇති ප්‍රදේශයන් මුල්කොට වෙහෙර විහාර ඉදිකරමින් ලක්දිව රෝහණ ප්‍රදේශයේද සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කිරීමට හැකිවිය.

එදා මිහිඳු මාහිමියන් වහන්සේ සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාමසීමාව සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දී ඉන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි ඇති කළ සම්බුද්ධ ශාසනය අනුරාධපුර, පොළොන්නරු ආදී යුගයන් හි දියුණුවට හා පරිහානියට පත් වූ ආකාරය ඓතිහාසික තොරතුරුවලින් මැනවින් පැහැදිලි වේ. එදා අනුරාධපුර මහා විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීලයැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය සමඟම බෝධිමූලයේ සිදු වූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්ෂ තිස් හයක් ශික්ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය පළමු වැනි වෙයි. ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශි‍්‍රත ශීලය යන ශීල හතර අධි ශීල වෙයි. පංච ශීලය, අටසීලය, ආජීව අට්ඨමක ශීලය, සාමනේර ශීලය යන හැමටම වඩා මේ චතුර්විධ ශීලය අධිශීලයයි. මෙම අධිශීලය ලැබීම උපසම්දා ශීලයයි. දම්සක් පැවතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමති බව කියා සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එව මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව“ යන්නයි. එම වාක්‍යය අවසාන වත්ම හෙතෙම සෘද්ධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි. බුදුරදුන් බුදු වූ මුල් කාලයෙහි බොහෝ දෙන, මහණකම හා උපසම්පදාව ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන්පටන් උපසම්පදා වන ක්‍රම 8 ක් දක්නට ලැබේ.

1. එහි භික්ඛු, උපසම්පදා, මෙය බුදුරදුන් මහණ මෙහි එව බඹසර හැසිරෙව යි ශ්‍රී හස්ථය දිගු කළ පමණකි සිදු කළ උපසම්පදාව. 2. සරණා ගමන උපසම්පදා, තෙරුවන් සරණ යෑමෙන් සිදු වෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මෙය උපසම්පදාව බුද්ධ කාලයේදීම ප්‍රතික්ෂේප කරන ලදී. 3. ඕවාද පටිග්ගහණ උපසම්පදාව, අවවාද පිළිගැනීමෙන් සිදුවෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපසම්පදාව මෙම ක්‍රමයෙන් සිදු විය. 4. පඤ්භව්‍යාකරණ උපසම්පදාව, ඒක, නාමකිං ආදි වශයෙන් ප්‍රශ්න කළවිට ඒවාට දුන් පිළිතුරුවලින් අනුදැන වදාළ උපසම්පදාවයි. මෙයින් හත් හැවිරිදි සෝපාක සාමණේරයන් වහන්සේගේ උපසම්පදාව සිදු විය. 5. ගරුධම්ම පටිග්ගහන උපසම්පදා ගරුධර්ම අටක් පිළිගැනීමෙන් අනුදැන වදාළ උපසම්පදාවයි. එය ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය කෙරෙහි පමණක් බලපැවැත්විය. සෙසු කුමාරිකාවෝ ගරුධර්ම අට පිළිගෙන භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. 6. දූතේන උපසම්පදාව, දූතයෙකු යවා කරන උපසම්පදාවයි. මෙය අඩ්ඩකේෂි මෙහෙණ සඳහා පමණක් වදාරන ලදී. 7. අට්ඨවාචික උපසම්පදාව, උහතෝ සංඝ කෙරෙන් මෙහෙණනට අනුදැන වදාළ උපසම්පදාවයි. 8. ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි, රාධ බ්‍රහ්මණයා උපසම්පදා කිරීමට අනුදැන වදාළේ මෙම උපසම්පදාවයි. එතැන් සිට සරණාගමන ආදී උපසම්පදා ප්‍රතික්ෂේප කොට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වාම පවත්නේ මෙම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි. සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමඟම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාමය. එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරමින් වැඩිදියුණු කිරීමට පටන් ගති.

විදේශ ආක්‍රමණය හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික ආගමික සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්වී උපසම්පදා විනය කර්මයට ප්‍රමාණවත් භික්ෂූන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහළු විජයබා රජතුමා රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදී. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමඟි කරවා කතිකාවතක්ද ඇති කොට දහස් ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.

දඹදෙණිය, කුරුණෑගල, යාපහුව, ගම්පොල, කොට්ටේ ආදී රාජ්‍ය යුගවලදීද සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට හා රාජ්‍ය අනුග්‍රහය නොලැබීමෙන් පරිහානි තත්ත්වයට පත් වූයේ නමුත් සීතාවක රාජ්‍ය යුගයේ දී පළමුවැනි රාජසිංහ රජතුමා විසින් සම්බුද්ධ ශාසනයත් ධර්ම ග්‍රන්ථයත් විනාශයට පත්කිරීම නිසා සම්බුද්ධ ශාසනය හා ශබ්ද ශාස්ත්‍ර අන්තපරිහානියට පත්විය. එකල සෙංකඩගල විසූ වීරවික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රධාතුන් වහන්සේ නිදන්කොට දාගැබක් බැඳ දෙමහල් පෝයගෙයකින් යුත් පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ අතර, ධර්ම කීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදු කළ ආකාරය මහා වංශයේ 92 පරිච්ඡේදයෙහි මැනවින් පැහැදිලි වේ.

රාජ්‍ය වර්ෂ 1592 දී 1 වන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන්ගල යට සුරක්ෂිතව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත්වූ අතර රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය. සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාලිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්ෂිත කරගනිමින් නැවතත් 2 වන විමලධර්මසූරිය රජතුමා දළදා මාලිගාව තුන් මහල්සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්ඛං දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වූහ. ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජතෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංක සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථ සංග්‍රහය, මහාබෝධි වංශය, භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය. අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරලමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙනඒම සඳහා විදේශයකට දූතයන් යැවීය. නැව මුහුදේදී විනාශවීමත් සමඟම පිරිස ද විනාශයට පත්විය. දොරණෑගම මුහම්දිරම් රාළ නිලමේ පමණක් ඉතිරිවිය.

දෙවන වතාවටත් දූත පිරිසක් යැවී නමුත් ශ්‍රී විජයරාජසිංහ රජතුමාගේ අභාවය සිදුවූ හෙයින් විල්බාගෙදර රාල ඇතුළු එම දූතපිරිස ආපසු පැමිණියහ. අනතුරුව රජකමටපත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා වැලිවිට සරණංකර සාමනේරයන් වහන්සේගෙන් දහම් අසා මැනවින් දැන උගෙන සම්බුද්ධ ශාසනය චිරකාලයක් පවත්නේ උපසම්පදා භික්ෂූන්වහන්සේ නිසාම බව දැනගෙන සරණංකර හිමියන්ගේ උපදෙස් අනුව ලංකාවෙන් ගෙනගිය උපසම්පදාව සියම්දේශයේ සුරක්ෂිතව තිබෙන හෙයින් සියම් දේශයට දූත පිරිසක් යැවීමට තීරණය කරන ලදී.

සියම් රටේ රතනපඤ්ඤ හිමියන් විසින් ලියන ලද ජිනකාලමාලි නම් වංශ කතාවේ සඳහන් වන අයුරින් ඒ වන විට ලක්දිවින් රැගෙන ගිය උපසම්පදාවත් බෝධීන් වහන්සේත් බුද්ධ ප්‍රතිමාවහන්සේත් ත්‍රිපිටකයෙන් සමන්විත සම්බුද්ධ ශාසනය එකී සියම් රටේ තිබීම නිසා අපමණ සතුටින් උපාලි හිමියන් ඇතුළු 25 නමක් භික්ෂූන් වහන්සේ රාජ්‍ය වර්ෂ 1753 දී මහනුවරට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමගේ මල්වත්ත විහාරයක් බවට පත් කොට එකී මල්වත්තෙහි තිබූ රාජස්ථාන ශාලාව පෝය සීමාව බවට පත් කොට ශ්‍රී ලංකාද්වීපයෙහි පළමුවරට ස්‍යාමෝපසම්පදාව එකී මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී පිහිටුවන ලදී. එතැන් පටන් වර්තමාන සම්බුද්ධ ශාසනය මල්වතු අස්ගිරි විහාරයන් මුල්කොට ලක්දිව නොයෙක් දිසාවන් හි පැතිර යමින් වෙහෙර විහාර, සියගණන් ඉදිකෙරෙමින් දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේ ඇති කරලමින් වර්තමාන සම්බුද්ධ ශාසනය පිහිටවූ ආකාරය මැනවින් පැහැදිලි වේ. එදා කොබ්බෑකඩුවේ හිමියන් වැලිවිට හිමියන් තිබ්බටුවාවේ හිමි ආදීන්ගෙන් ආරම්භ වූ වර්තමාන උපසම්පදාව හෙවත් සම්බුද්ධ ශාසනය අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එන අතර, 262 වන වරටත් මහා විහාර උපසම්පදාව මෙම 2015 ජූනි මස 02 වැනි දින මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී අතිගෞරවනී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නායක මාහිමිපානන් වහන්සේගේ ප්‍රධානත්ව-යෙන් සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව හා කම්මාචාර්ය භික්ෂූන් වහන්සේ සහිත මල්වතු මහා විහාරයීය භික්ෂූන් වහන්සේගේ සහසම්බන්ධත්වය ඇතිව වාහලනාග නාමයෙන් ආරම්භකොට ජූලි 01 වන දිනට යෙදෙන අධි ඇසළ පොහොය දක්වා දෛනිකව පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.