Print this Article


මිහිඳු මහ රහතන් වහන්සේගේ සේවය

මිහිඳු මහ රහතන් වහන්සේගේ සේවය

ශ්‍රී. බු. 2509 පොසොන් පුර පසළොස්වක් දා බුදුසරණ පළමු පත්‍රයේ පළවූ ලිපියකි.

සිංහල මිනිස්සු අවුරුදු දෙදහසකට වැඩි කාලයක් බෞද්ධ පරිසරයක ජීවත් වූහ. රටේ නිදහස වැළලීගිය හැම විටම ඔවුහු තම ආගම ගැන දුක් වූහ. පසුගිය ශත වර්ෂ කීපයේ, ජාතික හා ආගමික නිදහසෙන් තොරව, ජීවත් වූ සිංහලයෝ නිදහස ලත් වහාම තම ආගමික උවමනාවන් ගැන කතා කළහ. ක්‍රියා කළහ.

එහෙත් දීර්ඝ කාලයක් ආගමික පරිසරයෙන් තොරව ජීවත් වූ නිසා ඇතැමෙක් ආගම කුමක් දැයි නොදත්හ. සමහරු ආගම් එපායැයි දෙසූහ. ආර්ථික වුවමනාව ආගමික ඕනෑකම්වලට වඩා සුළු යැයි තර්ක කළහ. බුදුසමය විසින් සිංහල ජන ජීවිතය හැඩගස් වනු ලබන බව ඔවුහු නොදත්හ.

ඒ නොදැනීම ගැන අනුකම්පා කළ යුතු ය. එයට ප්‍රතිකර්මද යෙදිය යුතු ය. සමිති සමාගම් මාර්ගයෙන් ද දේශනා මාර්ගයෙන්ද පොත්පත් මාර්ගයෙන්ද එය කළ හැක.

සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඒ සම්බන්ධයෙන් අලුත් පියවරක් ගෙන තිබීම ඉතා වැදගති. “බුදුසරණ” නම් සතිපතා පත්‍රයක් දැන් ආරම්භ කොට ඇත්තේ ය. බෞද්ධ ප්‍රබෝධය පිණිසත් බෞද්ධ සංස්කෘතිය දියුණු කිරීමටත් එය බෙහෙවින් ඉවහල් වේ. මෙය ආරම්භ කළ පින්වතුන්ට කෘතඥ විය යුතු අතර සෑම බෞද්ධයෙකුම පත්‍රය තම දූ දරුවන්ට ලබාදීමට උත්සාහ ගත යුතු ය.

පොසොන් පෝය දා නිකුත් වන “බුදුසරණ” බෞද්ධයාගේ අතීතය සිහිගන්වයි. සිංහලයා උසස් සංස්කෘතික දායාදකයට හිමිකාරයෙකු වූයේ බුදුසරණ නිසාය.

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩ මේ දිවයිනටත් ජනතාවටත් ආශිර්වාද කළහ. ආරක්ෂාව සලසා දුන්හ.

මිහිඳු මහ රහතන් වහන්සේ ඉතිරි හරිය සම්පූර්ණ කළහ. බුදුසමයේ ආශිර්වාදය ලැබුණේ ජාතිය පමණක් නොවේ. චිත්‍ර, කැටයම්, මූර්ති ආදී කලාවන්ට ද සිරිත් විරිත් වලට ද බුදු සමයේ ආලෝකය වැටුණේ ය.

මිහිඳු හිමියෝ

මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට පැමිණීමෙන් සිංහලයාට සිදු වූ යහපත ගණන් පදම් නැත. උන්වහන්සේ මෙරටට පැමිණි නිසා දෙවන පෑතිස් නරදේවයන් ඇතුළු රාජකීයයෝ බුදු සමය වැළඳ ගත්හ.

එදා පටන් රට විදේශිකයන්ට යටත්වනතුරු සෑම රජෙක්ම බෞද්ධයෙක් විය. මෙය කොතරම් බලවත්වීද? සුදු පාලකයන්ටත් බුද්ධාගම ගැන නොසලකා බැරිවිය. කොටින්ම බුදුසමය රජයේ ආගම බවට පත් කළෝ මිහිඳු මහ රහතන් වහන්සේ ය.

තමන් වහන්සේගේම නැගනිය වූ සංඝමිත්තා රහත් මෙහෙණ මෙහි කැඳවා ගත්තේ කිසිම පක්ෂයක් කොටසක් ආගමෙන් ඈත් නොකරනු සඳහා ය.

මේ නිසා රජ කුමරියගේ පටන් අන්ත දුගී දුප්පත් මැහැල්ල තෙක් සෙසු ස්ත්‍රී වර්ගයාද බෞද්ධ දායාදය හිමිකර ගත්හ.

ධර්මදූතයෙකු වශයෙන් මිහිඳු මහා හිමියන්ගෙන් සිදුවූයේ බණ කියා ඇවිදීම පමණක් නොවේ. බුදුසමය නම් කුමක්ද? භික්ෂුව කවරෙක්ද? නිවන් මඟ කෙබඳු දැයි තේරුම් ගැනීම සඳහා “චුලහත්ථි පදොපම සූත්‍රය” දෙසූහ. පොදු ජනතා උනන්දු කරවීම සඳහා “අප්පමාද සූත්‍රාන්තයෙන් දහම් දෙසූහ. සර්වඥ ධාතූන් වහන්සේලා ගෙන්වා ථූපාරාමය කරවීමෙන් මෙරට ගෘහ නිර්මාණ ශිල්පය දියුණුවට පත් කළහ. ශ්‍රී මහා බෝධි ශාඛාව ගෙන්වා ලක්දිව පුද පූජා විධික්‍රමික කරවූහ. එවකට ලොව පැවැති උසස්ම සමාජ තත්ත්වය මෙහිද ගොඩනැංවීම උන්වහන්සේගේ අදහස විය.