Print this Article


මොරටුව විදර්ශනාරාම මූල මහා විහාරය

මොරටුව විදර්ශනාරාම මූල මහා විහාරය

මොරටුව, එගොඩඋයන විදර්ශනාරාම මූල මහා විහාරයේ විහාරාධිකාරී මීරිගම සුගතනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එගොඩ උයන ගම්වාසී දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් හා වැඩිහිටි සැමගේ ආධාර උපකාරයෙන් පවත්වාගෙන යනු ලබන මිහිඳු ළමා පෙරහර මෙවරත් පොසොන් පොහෝදා (ජූනි 02) ඉතා අත්‍යාලංකාර අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් ධාතු කරඬුව රැගත් මංගල හස්තිරාජයා පෙරටුකරගත් අලි ඇතුන් 9 දෙනෙකු පමණ පිරිවරාගෙන පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. දේශීය සංස්කෘතික නර්තනාංගයන්ගෙන් පෙරහර ඉතා විචිත්‍රවත් වන මෙවර පෙරහර පවත්වනු ලබන්නේ 50 වැනි වරටය. මෙවර මිහිඳු ළමා පෙරහරේ ඇති විශේෂත්වයද වන්නේ පෙරහරට වසර 50 ක් සම්පූර්ණ වීමයි. පෙරහර ආරම්භ කර ඇත්තේ 1966 වසරේදීය. පෙරහර පැවැත්වීමේ අරමුණු ලෙස ශ්‍රී ලංකාද්වීපයට බුදුදහම තිළිණ කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සමරා උන්වහන්සේට පූජෝපහාර පිදීම සහ තවත් අරමුණු මුල් වී ඇත.

පෙරහර ආරම්භ කළ හා පවත්වාගෙන ගිය දෙහිගම විනයපාල හිමියන් ඇතුළු අපවත් වී වදාළ හිමිවරුන්ටත් දිවංගත ගිහි ලොකු කුඩා සැමටද පින් අනුමෝදන් කිරීමත් ය.