Print this Article


නිරෝගිකම ම උතුම් වන්නේ ය

නිරෝගිකම ම උතුම් වන්නේ ය

බුද්ධ චරිතය තුළින් හා සූත්‍ර පිටකයේ විවිධ කරුණු තුළින් ගිලානෝපස්ථානයේ වටිනාකම දැන හඳුනාගෙන ගිලනුන්ට උපස්ථාන කොට ලොව ඇති උතුම්ම ලාභය ලැබීමටත් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව දුක් නැති කර ගැනීමටත් නිවනින් සැනසීමටත් උත්සාහවත් විය යුතු ය.

ලොව විවිධ ලාභ ප්‍රයෝජන ඇත. සමහර ලාභ, මුදල් මත පදනම් වී ඇති අතර තවත් කරුණක් විවිධ භෞතික වස්තූන් මත පදනම් වී ඇත. ඒ කෙසේ වෙතත් ලාභ ප්‍රයෝජන සත්වයාගේ සුඛ විහරණය උදෙසාම යොදාගෙන කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයයි. නමුදු බොහෝ ලාභ ප්‍රයෝජන තුළ ඇත්තේ තාවකාලික සැපතකි. කෙටි කලකින් ටික මොහොතකින් ලාභ අලාභ බවට ද පත් වේ. එවිට කම්පා වීමට සෝක වීමට ද සිදු වේ. අටලෝ දහමින් පෙන්වා දුන් පළමු කාරණය වන්නේ ද ලාභයයි.

නමුදු බුදුරජාණන් වහන්සේ ධම්ම පදය තුළින් කොසොල් මහ රජු මුල් කොට ගෙන නිරෝගිකම උතුම්ම ලාභය වශයෙන් දේශනා කළහ. එයට හේතුව වන්නේ වෙනත් කොතරම් ලාභ තිබුණද නිරෝගිකම නැත්නම් අන් ලාභ වලින් ප්‍රයෝජනයක් නොමැති වීමයි. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් දේශනා කළේ එම හේතුවෙනි. නිරෝගිකම උතුම්ම ලාභය වන්නේ කෙසේද? යන්න විමසා බැලීම ඉතා වැදගත් කරුණකි.

සත්වයාට විවිධ රෝගාබාධ ඇති වීම ස්වභාවික වුවද ඒවා විවිධ අංශවලින් එළඹෙන අයුරු සූත්‍රානුසාරයෙන් පැහැදිලි වේ. බුදු රදුන්ට විවිධ රෝගාබාධ ඇති වූ අයුරු බුද්ධ චරිතය තුළින් පැහැදිලි වේ. නිතර කොන්දේ ආබාධයක් ලෝභිත පක්ඛන්ධිකා රෝගය වැනි රෝග ඉන් ප්‍රධාන වේ. බුද්ධ ශාසනයේ කිසිදු රෝගයක් නොවැළඳුණ භික්ෂුවක් ලෙස බක්කුල මහරහතන් වහන්සේ ප්‍රකටය. උන්වහන්සේ නිරෝගිමත් භික්ෂුවක් ලෙස ද දීර්ඝායුෂ ලැබූ භික්ෂුව ලෙසද ප්‍රකටය. ඒ අනුව 160 වර්ෂයක් ආයු වැළඳූ බව පැහැදිලි වේ.

පෙර කර්ම ශක්තිය අනුව ද, බාහිර බලවේග අනුව ද රෝගාබාධ ඇතිවීම සිදුවේ. ඒ අනුව උපතින් සමහරු විවිධ රෝගාබාධවලට පත්වීමද ඉපදුනාට පසුව විවිධ රෝගාබාධවලට පැමිණීම ද සිදුවේ. කෙසේ වෙතත් පෙර පින් බලය හා ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණයම නිරෝගිකම ලැබීමට හේතුවන බව චරිත කතා තුළින් ප්‍රකට වේ. බුදුරජාණන් වහන්සේ තම දෑතින්ම ගිලනුන්ට උපස්ථාන කළ අයුරු බුද්ධ චරිතය තුළින් විදහා දැක්වේ. සුප්පියා උපාසිකාවගේ වණයක් සුවපත් කිරිම, පූතිගත්ත තිස්ස තෙරුන්ට සෑදුන සැරව ගෙඩි සඳහා උණුපැන්වලින් නෑවීම, උදරාබාධයකින් පෙළුණ භික්ෂුවකට පිහිටවීම ආදී කතා තුළින් බුදු රදුන්ගේ උපස්ථාන ගුණය ප්‍රකට වේ. එලෙසම රෝගාබාධ සඳහා අවශ්‍ය බේත්හේත් විනය පිටකයේ භෙසජ්ජක්ඛන්ධයෙන් පෙන්වා දීමද ඉතා වැදගත් වේ.

ඒ අනුව ගිලානෝපස්ථානය උතුම් කරුණක් බව උන්වහන්සේ විසින් ලෝක සත්වයාට දේශනා කළහ. “යො භික්ඛවේ මං උපටඨහෙය්‍ය සො ගිලානං උපටඨහෙය්‍ය” යනුවෙන් විනය පිටකයේ මහාවග්ග පාලිය තුළින් දේශනා කර ඇත්තේ යමෙක් මා හට උපස්ථාන කරන්නේද? හේ ගිලනුන්ට උපස්ථාන කරන්යේය යනුවෙනි.එසේ නම් බුදුරදුන්ට උපස්ථාන කළා හා ආනිශංස ගෙන දෙන පින්කමක් වශයෙන් ගිලානෝපස්ථානය හැඳින්වීමට පුළුවන. එම නිසා උන්වහන්සේ ගිලනාගෙන් උපස්ථායකයාටත් උපස්ථායකයාගෙන් ගිලනාටත් ඉටුවිය යුතු ගුණ සමුදායක් ද දේශනා කළහ. ඒ අනුව උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණ වන්නේ,

1. දක්ෂ උපස්ථායකයා ගිලනාට හිත බෙහෙත් පිළියෙල කර දෙයි.
2. හිත අහිත ආහාරපාන දැන හිත බොජුන් සැපයීමද අහිතකර බොජුන් ඉවත් කිරීමද කරයි.
3. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව මෙත් කුළුණින් උපස්ථාන කරයි.
4. මළ මුත්‍ර ඉවත් කිරීමේ දී පිළිකුලක් නූපදවයි.
5. වරින් වර ගිලනාගේ හිත සැනසෙන පරිදි උපදෙස් දෙයි.

උපස්ථානයට යෝග්‍ය ගිලනා විසින්ද පිළිපැදිය යුතු හා වැඩිය යුතු ගුණ පහක් දේශනාකොට ඇත. එනම්,

1. සැප වූ ආහාර පාන ගනියි.
2. සැප වූ ආහාර පානාදියෙහි පමණ දනියි.
3. නියමිත වේලාවට බෙහෙත් පාවිච්චි කරයි.
4. උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දන්වයි.
5. ධෛර්ය උපදවා රෝගය ඉවසයි.

කයේ හටගන්නා විවිධ ආබාධ රෝග පිළිබඳව මහා කස්සපත්ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දත්ථෙර බොජ්ඣංග, ගිරිමානන්ද ආදී සූත්‍ර තුළින් බුදුරදුන් පැහැදිලිව දේශනා කොට ඇත. රහතන් වහන්සේලාට පවා ඇති වූ කයේ ආබාධ පිළිබද එම සූත්‍ර තුළින් විග්‍රහ වී ඇත. ඒ අනුව රෝගාබාධ ඇතිවීම සෑම කෙනෙකුටම පොදු බවක් පෙන්නුවද එයින් නිදහස් වීමට හැකිනම් එය පරම ලාභයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

රෝගාබාධ සත්වයාට කිය කියා එන දේවල් නොවේ. නිරෝගිව සිටි අය ක්ෂණිකව රෝගීන් වන අයුරු ලෝකය දෙස බැලීමෙන් පැහැදිලි වේ. ඒ අනුව සතා සිව්පාවෙකුට වුවද රෝගාබාධයක් ඇති වූ කල එයට පිහිට වීමට මැලිනොවිය යුතු ය. අප රටේ සිටි බුද්ධදාස රජු සතා සිව්පාවුන්ට පවා වෙදකම් කළ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද සැලසූ රජ කෙනෙකු වශයෙන් ඉතා ප්‍රකටය. බුදුරදුන් කල භද්‍රවතිකා නම් ඇතින්නියකගෙන් වැඩ රැගෙන වයසට ගිය පසුව ඉවත දැමීම හේතුවෙන් උදේනි රජුට කරුණු පහදා දී බුදුරදුන් විසින් එසේ නොකරන ලෙස දේශනා කළහ. මේ ආදී විවිධ කතා පුවත් තුළින් ගිලානෝපස්ථානයෙහි වටිනාකම විදහා දක්වා ඇත.

බුද්ධ චරිතය තුළින් හා සූත්‍ර පිටකයේ විවිධ කරුණු තුළින් ගිලානෝපස්ථානයේ වටිනාකම දැන හඳුනාගෙන ගිලනුන්ට උපස්ථාන කොට ලොව ඇති උතුම්ම ලාභය ලැබීමටත් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව දුක් නැති කර ගැනීමටත් නිවනින් සැනසීමටත් උත්සාහවත් විය යුතු ය.