Print this Article


අරුත්බර බව තරුණ පෙළට කියා දෙමු

අරුත්බර බව තරුණ පෙළට කියා දෙමු

වෙසක් උලෙළ සඳහා අපේ තරුණයා කෙසේ අනුගත විය යුතුද? යන ප්‍රශ්නය අද අප ඉදිරියේ පැන නැඟී තිබෙන්නක් .

තරුණයා කෙසේ වෙසක් උළෙලට අනුගත විය යුතුද ? “වෙසක්” තරුණයා උදෙසා කෙසේ අනුගත විය යුතුද? ඒ සංකල්ප දෙක ගහට පොත්ත මෙන් එකට බැඳී පවතින්නක්.

බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යත්වයට පත්වන විට වයස අවුරුදු තිස් පහයි. උන්වහන්සේ ගිහිගෙයින් නික්මුණේ වයස අවුරුදු 29 දී, වසර හයක් තිස්සේ ශරීරයට දුක් දී එයින් සත්‍යය අවබෝධ කර ගන්නට බැරි වූ නිසා මැදුම් පිළිවෙතට පැමිණුණා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී ගොඩ නැගූ සමාජය සමස්තයක් වශයෙන් තරුණ සමාජයක් හැටියට අපට හඳුන්වාදීමට පුළුවන්. ඒ තරුණ සමාජයට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කෙළේ තමන් වහන්සේගේ ධර්මය මැනවින් අවබෝධ කරගෙන තවත් පිරිසකට එහි ප්‍රතිඵල ලබාගතහැකි ආකාරයටයි.

තරුණ භික්ෂු සමාජය උන්වහන්සේ එසේ පෙළ ගස්වා ගත්තා. වෙසක් උලෙළ සැමරීමේදීද අප තරුණයන් යොමු කළ යුත්තේ එම දර්ශනයෙහි පිහිටුවමින් බව අවබෝධ කරගත යුතුවනවා.

අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ තරුණයාට ගැළපෙන අයුරින් වෙසක් උළෙල උපයෝගී කර ගත හැක්කේ කෙසේද යන්නයි.

වෙසක් උත්සවය තරුණයන් සමඟ කෙසේ සංවිධානය කළ යුතුද ? මෙහිදී ඉතා පැහැදිලිවම කිව හැකිවන්නේ වෙසක් නම් එය තරුණයන් උදෙසාමය ‘යන්න බවයි.

‘වෙසක්’ යන්න සිංහල ව්‍යවහාරයේදී මැයි මාසය හැඳින්වීමට යොදා ගන්නවා. වෙසක් මාසය යනුවෙන් මැයි මාසය අප හඳුන්වන නිසා අන්තර්ජාතික වශයෙන් වෙසක් යන්න ප්‍රසිද්ධ වී තිබෙනවා. එයත් මෙහිදී සිහිපත් කළ යුතු වනවා.

එසේ අන්තර්ජාතික වශයෙන්ද වෙසක් යොදා ගත්තේ නම් එහිදී වඩාත් අවධානයෙන් අවබෝධයෙන් එය කළ යුතු වනවා. මෙහිදී ප්‍රධාන වගකීම පැවරෙන්නේ කාටද? .තරුණයාට ගතේ මෙන්ම සිතේ ශක්තිය ඇති නිසා තරුණ පිරිස් ඒ සඳහා යොමු කළ යුතු වනවා. එසේ යොමු කළ යුත්තේ කවුරුන් විසින්ද ? අපගේ වැඩිහිටියන් විසින්.

තාරුණ්‍යය ඉක්මවා ඇති තමන්ගේ වැඩිහිටියන්ගේ වෙසක් සම්බන්ධව ලබා ඇති අත්දැකීම් ඔස්සේ මෙසේ තරුණයන් මෙහෙයවීමේ හැකියාව වැඩිහිටියන්ට ලැබෙනවා.

සෑම විටම වෙසක් ඊළඟ පරපුරට උරුම කර දිය යුතු වන්නේ වැඩිහිටියන් විසින්. එහිදී තරුණයන්ගේ ක්‍රියාකාරකම්වල අඩුපාඩු වැරැදි ඇත්නම් එහි වගකීම ඇත්තේද වැඩිහිටියන් සතුවයි. තරුණයන් වෙසක් සම්බන්ධව අසා දැන ගන්නේ ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්.

තරුණයන්ගේ අරමුණ ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන් තම හැකියාවන් ඔප් නංවා ගන්නවා. එහිදී සිදුවන අඩුපාඩු වැරැදි සිදුනොවීමට නම් වැඩිහිටියන් තම යුතුකම නිසි පරිදි ඉටු කළ යුතුවනවා. මෙහිදී වැඩිහිටියන් යන පිරිසට වැඩිහිටි භික්ෂූන් වහන්සේ සිල්මෑණිවරුන් මෙන්ම උපාසක උපාසිකාවන්ද අයත් වනවා.

වෙසක් උත්සවය තාරුණ්‍යය යොමු කළ යුත්තේ ප්‍රබලතම දානමය කොටස් දෙක ඔස්සේමයි. ඒ ආමිෂ හා ප්‍රතිපත්ති දාන මඟින්. වෙසක් උත්සවයේදී ආමිෂ දානය ඉස්මතු කළ යුතුමයි. එය ඉතාම වැදගත්. බොහෝ කළ යුතු දේ මෙන්ම වැළකී සිටිය යුතු බොහෝ දේ ඊට ප්‍රතිවිරුද්ධව කළ යුතු දේ කිරීමෙන්ම වළකා ගත හැකි වනවා.

ආමිෂය යන්න ප්‍රායෝගිකව තමන් විසින් අත්විඳිය යුතුයි. ප්‍රතිපත්ති පූජාවද එසේමය. එම නිසා තරුණ පිරිසට එම වැඩපිළිවෙළ වැඩිහිටියාගෙන් සම්පූර්ණ විය යුතුවනවා.

ආමිෂයේ ඉතා සරල කටයුතු ගෙන බැලුවහොත් අපට මේ බව තේරුම් ගත හැකියි. තොරණ ඉදි කිරීම, සත්සතිය පිළිබඳ කුඩා පත්‍ර සහිතව තොරණක් හෝ වෙනයම් දර්ශන ඉදිරිපත් කිරීම වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය වැනි දේ ඒ අතර වනවා. මෙහිදී සමගියද ඉස්මතු වන බව අප තේරුම් ගත යුතු වනවා. වැඩිහිටියන් සියලු දෙනා එකමුතු වී තරුණයන්ට තමන්ගේ ආමිෂ ප්‍රතිපත්ති සකස් කර ගැනීම පූර්ණ සහාය ලබා දිය යුතුවනවා.

මව්පියන් ඇතුළු වැඩිහිටියන් සියලු දෙනාම එකතු වී දූදරුවන් සමඟ වෙසක් කූඩු සෑදීම තුළින් පවුලේ එකමුතුවත් නිතැතින්ම රඳා පවතිනවා. පවුලක් තුළ සියුල දෙනා එක්සත්ව සිටීම සිදුවන එකමුතුභාවය ඉතාම වැදගත්.

අද ලෝකයටම ප්‍රශ්නයක් වී තිබෙන්නේ පවුල තුළ සාමය ඇති නොවීමයි. පවුල තුළ විශ්වාසයක් නැතිකම සැක පහළ වීම නිසා විශාල ගැටලු මතුවී තිබෙනවා. නුරුස්වන ස්වභාවය වර්ධනය වෙලා. මේ තත්ත්වයට හොඳම පිළියම අපට වෙසක් ඔස්සේ ලබාගත හැකිවනවා. අප බක් මාසයේදී සම්පූර්ණයෙන්ම සංස්කෘතික වටිනාකමක් සහිතව සිංහල අලුත් අවුරුද්ද සමරනවා.

වෙසක් මාසයේදී ආගමික වටිනාකමක් ලබාදෙනවා. පොසොන් මාසයේදී ජාතික වටිනාකමක් ලබාදෙනවා.

ජාතිය ගොඩනඟපු ජාතිය නැඟී හිටපු ජාතියට මිහිඳු හිමියන්ගේ චින්තනය ලබා දුන් පොසොන් දිනය වැදගත් වන්නේ එම නිසයි.

වෙසක් උත්සවයේ වැඩිහිටිය්න්ගේ කාර්යභාරය තේරුම් ගෙන අවුරුදු දිනයේ මෙන් වෙසක් දින ශීල සමාදාන, තොරණ ආදි විවිධ පෙදු කටයුතු, ආගමික කටයුතු සඳහා තරුණ පිරිස යොදවනවාක් මෙන්ම පවුල් වශයෙන් එක් වී විවිධ පූජාවන් කළ යුතු වෙනවා. අවුරුදු සමයේ තිබෙන තරගකාරිත්වය පසෙක තබා ආධ්‍යාත්මික කටයුතු සඳහා සමස්ත සමාජය මෙහෙයවීමට කටයුතු කළ යුතුවනවා.

නමුත් අද අප සමාජයේ වෙසඟේ නියම අරුත මතු පරපුරට ලබා දෙන බවක් පෙනෙන්නට නැහැ. වෙසක් දිනයටත් සැණකෙළි පවත්වන තත්ත්වයක්ද තිබිය යුත්තේ. මාරක ළිඳ, කතුරු ඔන්චිල්ලා ,මෙරිගෝ රවුන්ඩ් වෙසක් දිනයේත් ජනතාවට විවෘත වනවාද? මෙහිදි වැඩිහිටියන් විසින් කළ යුත්තේ දරුවන්ගේ මනස කඩා නොදමා නිසි පරිදි කරුණු වටහාදීමයි. තෙමඟුලක් ලෙස හඳුන්වා දී තිබුණෙත් වෙසඟ ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, මෙන්ම පිරිනිවන් පෑමද සිදුවූ බව අප සිහිතබා ගත යුතුවනවා.

එම නිසා විනෝදාත්මක සැණකෙළි එදින පැවැත්වීම නුසුදුසු බව දරුවන්ට අවබෝධ කර දීමෙන් එය මතු පරපුරට ලබා දිය හැකි අගනා දායාදයක් ද වනවා.

ඒ අයුරින් තරුණ දරුවන්ට මේ තෙමඟුල යන්න නිසි අවබෝධයක් ඇතිවුවහොත් ඔවුන් නළා පිඹිමින් පාරේ යන අයට හිරිහැර කරමින් යන්නේ නැහැ. වෙසක් මුහුණු පැළඳගෙන විකාර කිරීම් සිදු කරන්නේ නැහැ.

දන්සල පවත්වන තරුණ දරුවන්ට පසුගිය කාලයේ ලබා දුන් අවවාද අනුශාසනා නිසා අද දන්සල ආදර්ශමත් වෙලා.

දන්සල පැයක් දෙකක් පවත්වලා පුටු ටික එළිය තියාගෙන සංගීත සාජ්ජේ පැවැත්වීම අද බොහෝ දුරට අඩුවෙලා.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ශෝකී දිනයක් ලෙස පහන් සංවේග උපදවා ගත යුතු බවට අප තේරුම් ගත යුතුවනවා.

අකලට මල් ගස්වල මල් පරවුණා. කොළ හැලුණා, පරිසරයම ශෝකාන්ත වූ දිනයක විනෝදකාමී වීම සුදුසුද? යන්න පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුවනවා.

පෙර කීවාක් මෙන් තොරණට ජනතාව මදි නිසා සැණකෙළි පැවැත්වීම් සිදුකිරීම් කිසිසේත් සුදුසු නැහැ. ජනතාව අද්දවා ගැනීමද බෞද්ධ සංස්කෘතිය සුරැකීමද යන්න අප තේරුම් ගත යුතුවනවා.

නිරතුරුවම බුද්ධ දේශනාවට අනුවයි අප කටයුතු කළ යුත්තේ. දරුවන් බුදු දහම දන්නවා. ඔවුන්ට ආදර්ශවත් වී ඔවුන්ට මඟ පෙන්වීමයි වැඩිහිටියන් කළ යුත්තේ. වෙසක් දිනය වෙසක් උත්සව වාණීජකරණයට යොමු නොකිරීමට වග බලා ගත යුතු වනවා.

වෙසක් උලෙළ ආමිෂ මෙන්ම ප්‍රතිපත්තියද අරුත් දැනගෙන සැමරිය යුතු වන්නාක් මෙන්ම එය ඒ අයුරින්ම අනාගත පරපුරටද දායක කළ යුතුයි.