Print this Article


වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

දකුණු පළාතේ ගාල්ල සහ මාතර යන පුරාණ නගර දෙක අතර පිහිටා තිබෙන පැරැණි වරායක් ලෙසින් වැලිගම හඳුන්වාදිය හැකිය. කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ රැසකම වැලිගම පිළිබඳ සඳහන් වී ඇත. ඊට අමතරව කඩයිම්පොත්වල වැලිගම හඳුන්වා ඇත්තේ “වැලිගම දහස්ගම්” යන නාමයෙනි. ගාල්ල – මාතර මහා මාර්ගය අසළ ඇති ස්වභාවික ගල් පර්වතයක උන්නත රූපයක් ලෙසින් (ගලෙන් වෙන් නොකර පිහිටි ගලෙහිම නෙළා ඇති.) නෙළා ඇති මෙම මූර්තිය එකල මෙන්ම මෙකලද ප්‍රකටව ඇත්තේ ‘කුෂ්ට රාජ ගල” යන නාමයෙනි. මෙම පුදබිම මුල් කාලයේ දී වැලිගම අග්‍රබෝධි විහාරය නමින් ප්‍රකට වූයේ ය. මෙම වැලිගම අග්‍රබෝධි විහාරයත් වැලිගම පිහිටි කුෂ්ට රාජ ගලත් පුරාණයේ තිබුණේ එකම බිම් කඩකය. බ්‍රිතාන්‍ය යුගයේ දී සාදන ලද දුම්රිය මාර්ගය නිසා මෙම පුදබිම අද වනවිට දෙකඩ වී ඇත. ඒ නිසා මෙම පුදබිම එකක් ලෙසින් පුරාණ කාලයේ දී පැවති බව ඉතා පැහැදිලි කරුණකි.

අනුරාධපුර යුගයේ දී දේවානම්පියතිස්ස රාජ කාලයේ සිදුවූ මහින්දාගමනයට මාස කීපයකට පසුව දීප චක්‍රවර්ති ධර්මාශෝක මහා රාජ අනුග්‍රහය මත සිදුවූ දෙවැනි සංස්කෘතික හා ආගමික ආගමනය සංඝමිත්තා මෙහෙණිය විසින් ශ්‍රී ලංකාවට මෙහෙණි සස්න පිහිටුවීමයි. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වරප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා වැඩම කරන අවස්ථාවේ දී බුද්ධගයාවේ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට බුදුබව ලබා ගැනීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ආ බව වංසකතාවල සඳහන්වන ප්‍රකට කරුණකි. මහමෙවුනා උයනේ මෙකල උඩමළුවෙහි එම බෝධිශාඛාව රෝපණය කිරීමෙන් පසුව එහි අෂ්ටඵලරුහ හටගත්හ. ඉන් පසු දෙතිස්ඵලරුහ ද හටගත්හ. එම දෙතිස් ඵල රුහ වලට අයත් එක් ශ්‍රී මහා බෝධි වෘක්ෂයක් වැලිගම අග්‍රබෝධි විහාර භූමියෙහි රෝපණය කළ බව සිංහල බෝධිවංසයේ ද සඳහන්වන කරුණකි. මෙම පුදබිම ඒ අනුව දේවානම්පියතිස්ස රාජ යුගය (ක්‍රි.පූ. 250 – 210) දක්වා කාලයට අයත් වන්නේ ය. වැලිගම පිහිටි ගලෙහිම නිර්මාණය කර ඇති පිළිමය බෝධිසත්ව පිළිමයක් ලෙසින් හඳුනාගෙන ඇත. පුරාවිද්‍යාඥයින්ගේ සහ පුරාණ කලා ඉතිහාසඥයින්ගේ විශේෂ අවධානයට යොමු වී ඇති මෙම මූර්තිය ගැන පොදු ජනතාව අතර ජනශ්‍රැතියක්ද (ජන කතාවක්) පවතී. ඒ අනුව කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජ කෙනෙකු විසින් එම කුෂ්ඨ රෝගය සුව කර ගැනීමට සිදුකළ බාරයක් (පොරොන්දුවක්) සඳහා මෙම මූර්තිය නිර්මාණය කළ බව එම කතාවෙන් කියැවේ. ඒ නිසා මෙම මූර්තිය කුෂ්ඨරාජගල යන නාමයෙන් ප්‍රකට වූයේ ය. සැබවින්ම මෙම මූර්තියෙන් පිළිබිඹු වන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ය. පුරාණ වරාය වල මෙවැනි අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම නිර්මාණය කිරීමද විශේෂයෙන් නාවික යාත්‍රාවල ගමන් කරන අයගේ ආරක්ෂාව සඳහා ඒ සඳහා වැඳුම් පිදුම් කරන ලද බවද ඉතා ප්‍රකටය. ඒ අනුව අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පැවැති බවට ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑයේ ශිලා ලේඛන සාක්ෂි මෙන්ම එහි තිබී හමු වූ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනයට සම්බන්ධ ලෝකඩ මූර්තිවලින්ද (1982 දී හමුවූ) පැහැදිලි වෙයි. මහායාන බුදු සමයෙහි අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පවතින බව ඉතා ප්‍රකට කරුණකි. මෙම බෝධිසත්ව පිළිම වල විශේෂ ලක්ෂණයක් නම් එම පිළිමවල ජටා මකුටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි බුදු පිළිමයක් මූර්තිමත් කර තිබීමය. මෙම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයෙහි සමාධි බුද්ධ ප්‍රතිමා සතරක්ම ජටා මකුටැ යෙහි මූර්තිමත් කර (නෙළා) ඇති බව ඉතා පැහැදිලි ලෙසින්ම දැකිය හැකිය.

(වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 170 (2003) ලංකාවේ ඇති විශාලතම ශිලාමය අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ මාළිගාවිල පුදබිම අසළ පිහිටි දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයයි. මෙම මාළිගාවිල මහබුදු පිළිමය මෙන්ම දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයද 1990 වර්ෂයේ දී සංරක්ෂණය කර දැනට ඉතා අලංකාර ලෙසින් දැකිය හැකිය. මෙම කුෂ්ඨරාජ ගල නමින් ප්‍රකට අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයේ දකුණු අත විතර්ක මුද්‍රාවෙන් ද වම්අතින් ආහ්වාන මුද්‍රාව ද ප්‍රකාශ කරන බව උල්රිච් වොන් ශ්‍රොඩර් මහතා Buddhist Seulptres in Sri Lanka (බුඩිස්ට් ස්කල්පචර් ඉන් ශ්‍රී ලංකා) නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය පුරාණ භාරත දේශයේ තිබුණු අදහස් අනුව නොව ලංකාවේ පුරාණ කාලයේ ස්වාධීන ලෙසින් නිර්මාණය කරන ලද බෝධිසත්ව පිළිමයක් බවද එම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. වැලිගම කුෂ්ඨරාජගල බෝධිසත්ව පිළිමයේ යටිකය ඉතා අලංකාර දෝතියකින් සරසා ඇති අතර එම පිළිමයේ උඩුකය උදර බන්ධනය කින්ද ගෙල මාලවලින් ද දෑත වළලු වලින්ද සරසා ඇත. පුරාණ කාලයේ දී මෙම පුදබිම අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පැවති පුදබිමක් ලෙසින් ද ප්‍රකටය.

කුෂ්ඨරාජගල මූර්තිය මඟින් නිරූපණය කරන්නේ නාථ දෙවියන් යැයි මතයක් පවතී. අවලෝකිතේශ්වර නාථ දෙවියන් පිදීම රෝග ව්‍යාධි සමනය කිරීමට හේතුවන බව මහායානිකයින්ගේ පිළිගැනීමය. නාථ දෙවියන් ගේ එකසිය අටක් වූ අවතාර අතරේ සිංහනාද අවලෝකිතේශ්වර රෝග සමනය කරන්නෙකු බවත් එනිසාම සිංහල ද්වීපයෙහි ආරෝග්‍යශාලා ලෝක නාථ නාමය ව්‍යවහාර කරන බවක් නේපාල ලිපියක සඳහන් වන්නේ යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරන කරුණකි.

අප මෙහිදී අවධාරණය කරන ලද්දේ වැලිගම පුරාණ රජමහ විහාරයට සම්බන්ධ වූ අග්‍රබෝධි විහාරයේ පිහිටි කුෂ්ඨ රාජගල නමින් ප්‍රකට අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ගැන පමණකි.