Print this Article


කුරුවිට වීදියවත්ත ශ්‍රී සුමනගිරි ආරණ්‍ය සේනාසනය

කුරුවිට වීදියවත්ත ශ්‍රී සුමනගිරි ආරණ්‍ය සේනාසනය

සම්මා සම්බුදු සිරිපා පද්මයෙන් පාරිශූද්ධ වූ සමනොළ අඩවියේ සිරිපා කදු ශිඛරයන්ට තදාසන්නව පිහිටි වීදියවත්ත ග්‍රාමය කුරුවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත්ය. මේ ගම්මානයේ ඉහළ කොටසේ ශෛලමය පර්වතයන්ගෙන් සමන්විත ඉතා සුන්දර වතුරොදක 1965 දී ආරම්භ කරන්නට යෙදුණු භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනයකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කඩවැද්දුවේ ජිනවංශාභිධාන මහාස්වාමින්ද්‍රයන් වහන්සේ පවා කලක් වැඩ සිටින්නට යෙදුණූ මෙම නිසල වන පියසේ ක්‍රමයෙන් සැදැහැවතුන් පෙළ ගැසී දානාදී පින්කම් කරමින් කලක් පැවැතුණි. වර්තමානයේ සමස්ත කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ආරණ්‍ය සේනාසන පද්ධතියේ ප්‍රධාන අනුශාසක ධුරන්ධර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහෝපාධ්‍යාය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ගමහා පණ්ඩිත නාඋයනේ අරියධම්මාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අනුශාසනා පරිදි ශ්‍රී සුමනගිරි ආරණ්‍ය සේනාසනය නමින් පවත්වාගෙන යන මෙමගින් ප්‍රදේශයේ බොදු දායක පවුල් සිය ගණනාවකට ආගමික ශාසනික වශයෙන් අතිමහත් සේවාවන් රැසක් සිදු කෙරෙන පූජනීය සිද්ධස්ථානයකි.

දැරණියගල සිට එරත්න හරහා රත්නපුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයෙන් වීදියවත්ත ග්‍රාමයෙන් වම් පස දෙසට ඇති සේනාසන මාවත ඔස්සේ පැමිණිය හැකි භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ පිරිසක් වැඩ සිටින මෙම සෙනසුනේ කෘත්‍යාධිකාරිත්වය දරන්නේ විනයාචාර්ය යටිවල ජිනසේන ස්වාමින් වහන්සේය. ඒ අතර උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ ඉතා අලංකාරව ගල්ලෙන් ආශි‍්‍රතව තැනෙන භාවනාකුටි සමූහයකින් හා ගිහිපැවිදි දෙපාර්ශ්වයටම කුසල් දහම් රැස් කරගන්නට මනරම් ස්ථානයක් ලෙස වසර ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් පවතී.

පෝදින ශීල භාවනා ආදි විශේෂ පින්කම් අවස්ථා සඳහා ඉඩ පහසුකම් ඇති ධර්ම ශාලාවක් ,සදහම් පුස්තකාලයක් වේ. පැරැණි බෝධියත් පිළිම ගෙයත් සක්මන් මළු කීපයක්ද ඉදිකර ඇත.

එමෙන්ම දැනට ඉදිවෙමින් පවතින අලංකාර ධාතු මන්දිරයත් යෝජිත චෛත්‍ය රජාණන් වහන්සේ ගිනිහල්ගෙය ඇතුළු ඉදිකිරීම් රැසක් අනාගතයේදී මෙම රමණීය වන සෙනසුනේ පූජනීය බව දෙගුණ තෙගුණ කෙරෙන ලකුණු දැක ගත හැකිය.

මේ ප්‍රදේශයටම ආවේණික ඉතා දුර්ලභ ඝනයේ ඖෂධ පැලෑටි හා වනස්පතින් , පුෂ්පයන් මෙන්ම වලිකුකුළන් ,දඩු ලේනන් ,මුගටින්, ඉත්තෑවන් ,විෂ කූරු සර්ප විශේෂ, දිවි මකුළුවන් හා ගෝනුසු, තවත් වන සතුන්ද විවිධ ප්‍රමාණයේ විචිත්‍ර පක්ෂින්ද වර්ග රැසක් දැක ගත හැක.

නිරතුරුව නිහඬ බව බිඳ දමන රසාලිප්ත විහඟ ගී රාවය වෙනත් කිසිඳු බාධාවන් නොමැති හෙයින් යෝගාවචරයින්ට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. කෙලෙස් මළ සෝදා හරින්නට බුදු මග පිළිපදින හැමට හුදකලා බවේ උපරිම ප්‍රයෝජන අත්කර ගත හැකිය. උක්ත කාරණාව මුනිවතට ඇවැසි පාරිසරික පදනම මොනවට මෙහි දිස්වීමෙන් තහවුරු වනු ඇත.

මග පෙන්වූ ඉඹුල්පිටියේ කෝලිත හිමියන්ට විශේෂ ස්තුතිය