Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 31

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 31

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පස්වන වස් කාලය නිමා කර විශාලා මහනුවරින් නික්ම සැවැත් නුවරට වැඩමකර වදාළහ. එහි ජේතවනයෙහි වසන භාග්‍යවතුන් වහන්සේ වෙත දිනක් කෝශලාධීශ්වර රජතුමා එළැඹියේ ය.පිළිසඳර කථා කොට පසෙක හුන්නේය. එසේ හුන් රජතෙම භවත් ගෞතමයන් වහන්සේ තුමු නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබූහයි ප්‍රතිඥා කෙරෙත් දැයි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වය ලැබූ බවත් එබැවින්ම සම්‍යක් සම්බුද්ධයෙමියි ප්‍රතිඥා කරන බවත් වදාළ සේක.

එවිට, ස්වාමිනී, මහ පිරිස් ඇති කීර්තිමත් පූර්ණකස්සප, මක්ඛලිගෝසාල, නිගණ්ඨනාථ පුත්ත, සංජය බෙල්ලට්ඨි පුත්ත, කකුධ කච්චායන, අජිත කේසකම්බලී යන සයදෙනාගෙනුත් ඔබ සම්‍යක්සම්බුද්ධදැයි මා විසින් ප්‍රශ්න කරන ලද නමුත් සම්‍යක් සම්බුද්ධ බවක් ඉඳුරා නොකීහ. කිමෙක්ද? උන් හැමට වඩා වයසින් බාල වූ මෑත පැවිදි වූ ගෞතමයන් වහන්සේ තුමු සම්‍යක් සම්බුද්ධයි ප්‍රතිඥා කෙරත්දැයි රජතුමා ඇසීය. එවිටැ භාග්‍යවතුන් වහන්සේ රජු අමතා දහම් දෙසූ සේක. ඒ ඇසූ රජ පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. රජතුමා ජේතවනයෙහි බුදුරජාණන් වහන්සේට රාජකාරාමය නම් විහාරයක් ද කරවීය. බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට වදාළ බණ අසා රජුගේ නැන්දණියෝ සුමනා දේවී සරණ ශීලයන්හි පිහිටියාය. ඇය පැවිදි වනු කැමැති වූවත් රජුගේ මිත්තණියට උපස්ථාන කළ යුතු වැ තිබුණු බැවින් අවසර නොලත්හ.


දම් සභා මණ්ඩපය

කලකට පසු රජුගේ මිත්තණියෝ මළාය. රජ ශෝකයට පත්ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ බව දැන්වීය. එවිට සියලු සත්වයන් මරණයට යටත් බව වදාරා භාග්‍යවතුන් වහන්සේ රජුගේ ශෝකය සංසිඳ වූ සේක. ඉක්බිති සුමනා තොම රජ කැටුව බොහෝ ඇතැගි භාණ්ඩ ගෙන ගොස් සංඝරත්නයට දෙවුවාය. භාග්‍යවතුන් වහන්සේ වදාළ බණ අසා ඕ අනාගාමී ව පැවිද්ද ඉල්ලුවාය. එවිටද භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා රහත් ව තොමෝත් එය ම කීවා ය. එයම ඇගේ පැවිද්ද හා උපසම්පදාව විය.

සැවැත්නුවර වසන භාග්‍යවතුන් වහන්සේ බක් අව පසළොස්වක් දා අලුයමැ ලොව බලා වදාරන සේක. චූලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණිපළගක් නිසා විය හැකි යුද්ධයක් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් සෘද්ධියෙන් ලක්දිව වැඩි සේක. දෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි කිරුපළු රුකට අධිගෘහිත සමිද්ධි සුමන නම් දේවතාවා එය උදුරා ඡත්‍රයක් මෙන් භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි දරමින් ගෙනායේ ය. එසේ වඩිනා භාග්‍යවතුන් වහන්සේ යුද්ධයට සැරසී සිටි නාග සේනාවට පෙනෙමින් අහසේ වැඩ හිඳ පෙළහර පා ඔවුනට දහම් දෙසූ සේක.


සුගන්ධ කුටිය මලින් සරසා ඇති අයුරු.

ධර්ම ශ්‍රවණයෙන් සතුටු වූ නා රජුහු සමගිව ඒ මිණි පළගින් භාග්‍යවතුන් වහන්සේ පිදූහ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටි සේක. ඉක්බිති නාගයෝ මධුර භෝජනයෙන් භාග්‍යවතුන් වහන්සේ වළඳවා මනාව බණ ඇසූහ. බොහෝ නාගයෝ සරණ සිල්හි පිහිටියහ.

මහෝදර රජුගේ මළනුවන් වූ මණිඅක්ඛිත නා රජු කැලණිපුර සිට යුද්ධයට පැමිණ එහි සිටි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පූජා වස්තුවක් ඉල්ලීය. භාග්‍යවතුන් වහන්සේ ඒ මිණිපළඟ ද තමනට සෙවණ කළ සමිද්ධි සුමන දේවතාවා අරක් ගත් කිරිපළු රුක ද නාගයනට පූජා වස්තු කොට දී යළිත් අවවාදානුශාසන කොට නැවතත් ජේතවනාරාමයට වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක සැවැත් නුවර වස්සාන සෘතුව ගත කොට එයින් පසු දක්ෂිණගිරි ජනපදයට වඩින්නට සැරැසුණු සේක. මේ පුවත ඇසූ අනේපිඬු සිටුතුමා ද විශාකා උපාසිකාවෝ ද පසේනදී කොසොල් රජතුමා ද නොයෙක් කරුණු කියා තව ටික කලක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරම නවත්වා ගන්නට උත්සාහ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම නොපිළිගෙන ගමන වඩින්නට ම සැරසුණු සේක. අනේපිඬු සිටාණෝ මහත් කණගාටු වී ගෙයි පැත්තකට වී කල්පනා කරමින් සිටි සේක. සිටු ගෙදර බැල මෙහෙවර කරන පුණ්ණා නම් දාසිය එය දැක ස්වාමිනී කණගාටු ගතියෙකින් ඉන්නේ ඇයිදැයි ඇසුවා ය. සිටුතෙම කාරණය කීයේ ය. ස්වාමීනි, මමත් උත්සාහයක් කර බලන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වුවහොත් මට දෙන්නේ මොනවාදැයි ඇසුවාය. නුඹ දාසභාවයෙන් මුදා පවුලේ කෙනකුගේ තත්ත්වයට නංවමියි සිටුතුමා කීහ. එවිට ඇය දිවගොස් ජේතවනයෙන් වඩිනා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ස්වාමිනි මට අනුකම්පා කොට මේ ගමන නවත්වන්නැයි කීවා ය. මේ ගමන මා නැවැත්වීමෙන් නුඹට වන යහපත කිමෙක් දැයි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ඇය සිටුතුමා කී වචනය සැළ කොට දාසිභාවයෙන් මිදිගත හෙන්නෙමි යි කීවාය.


කොසොල් රජතුමා පූජා කරන ලද රාජකාරාමය

භාග්‍යවතුන් වහන්සේ ආනාගතාංශඥානයෙන් බලා මතු ඇය පැවිදි වැ රහත් බව ද දුටු සේක. පුණ්ණා ගොස් සිටුතුමාට තමාගේ උත්සාහය සාර්ථක වූ බව පැවැසුවා ය. සිටුතෙම සොයා බලා භාග්‍යවතුන් වහන්සේ ආපසු වැඩි නියාව දැක සතුටු ව ඇයට ප්‍රශංසා කොට දාසභාවයෙන් ඇය මිදුයේ ය. විශාකාවෝ ද පසේනදී රජතුමා ද ඇයට ස්තුති කොට සත්කාර කළහ. ඕ මෙහෙණි සස්නේ පැවිදි ව ස්වල්ප කලෙකින් රහත් වූවාය .

බුදුරජාණන් වහන්සේ උතුම්ම දානය ලෙස සලකන ලද්දේ ධර්ම දානයයි. බුදුරජාණන් වහන්සේ වසර දහ නවයක කාලයක් ධර්මය දේශනා කරන ලද දම් සභා මණ්ඩපය අසළ දැන් ඔබ සිටින්නේ යැයි දඹදිව බුද්ධභූමිවන්දනාවේදී සිහිකරන්න. මොහොතක් නිසලව නිහඬව සිට භාග්‍යවතුන් වහන්සේගේ කාරුණික සමාධි රූපය ඔබේ සිතෙහි ඇඳගන්න. භාග්‍යවතුන් වහන්සේගේ මධුර මනෝහර ස්වරය ඔබ දෙසවනෙහි තැන්පත් කර ගැනීමට මොහොතක් දෙනෙත් පියාගන්න. ඔබේ මනස තුළ බුදු රුව ඇඳේ. භාග්‍යවතුන් වහන්සේ පෙරදිගට මුහුණ ලා දම් සභා මණ්ඩපයේ වැඩ සිට දහම් දේශනා කරයි. පිටු පසින් භික්ෂු සංඝයා ද ඉදිරිපස බලා සිටියි. ඉදිරියෙන් සිටින ගිහි ජනතාව අතරේ ඔබත් චිත්ත රූපයක් මවා කවදාහරි ඉන්නට ඇතැයි සිහිපත් කර ගන්න. මේ දම් සභා මණ්ඩපය බුදු හාමුදුරුවෝ නොසැලී අපහාස විඳ දරාගත් අවස්ථාවන් රාශියකින් ද සමන්විත ය.

තීර්ථකයන්ගේ වුවමනාව මත චිංචි මානවිකාව දරු ගැබක් ලෙස දරමිටියක් බැඳ බුදුන් හමුවට විත් උන්වහන්සේට අපහාස කරන්නට ගත් ප්‍රයත්නය අසාර්ථක වූයේ ශක්‍ර දෙවියන්ගේ මැදිහත්වීම මතයි. ඇයට ද සිදුවූයේ පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට යෑමටයි. බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමේ වුවමනාව මත ‘සුන්දරී’ නම් පරිබ්‍රාජිකාව මරා දම් සභා මණ්ඩපය පිටුපස මල් ගොඩ යට සඟවා තිබුණේ ද බුදු රජාණන් වහන්සේට අපහාස කිරීමට ය. නමුත් මේ සෑම දෙයක් ම විඳ දරා ගනිමින් නොසැලී තම මෙහෙවර ඉදිරියට ම කරගෙන ගිය අතර උන්වහන්සේ අටලෝ දහමින් කම්පා නොවී සියල්ල සමසේ විඳ දරා ගනිමින් යහපත් ජීවිතයක් ගත කිරීමට මග කියා දුන් ස්ථානය මේ දම් සභා මණ්ඩපයයි. දෙනෝදහසක් දෙනාට දහම් මඟ කියා දීමෙන් පුහුදුන් භික්ෂූන් රහත් විය. පෘථජ්ජන ගිහියා මග ඵල අවබෝධ කර ගත්තේ ය. සෑම දෙනා දහම් අසා සතුටු සිතින් තෙරුවන් සරණ ගියහ.

සැම සිත් ධර්මාවබෝධය තුළින් මෝහය නමැති අවිදු අඳුර දුරු කර ආලෝකය උදා කර ගත්හ. මේ දම් සභා මණ්ඩපය අදටත් පාළු වී නොමැත. සැදැහැවතුන් එහි උදේ සවස මල් පහන් පුදා බුදුන් වඳිති. සැම සිත් සුවපත් කරමින් බුදු දහමේ පණිවුඩය ලොවටම බෙදයි. බොහෝ සැදැහැතියන් බුදුරදුන් වැඩහිඳ දම් දෙසූ දම් සභා මණ්ඩපය දැක බලාගැනීමට යති. සිල් සුවඳ මැද බුදු සුවඳ හමන විට ගතට සිතට අපරිමිත සතුටක් සැනසුමක් ලැබෙනු ඇත.

තවත් කොටසක් බක් පුර පසළොස්වක පොහෝදා අප්‍රේල් 3 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 30