UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය – ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වන වර්ගයේ දෙවන ගාථාවය. සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.

පිළිතුර – “සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
ඒස මග්ගො විශුද්ධියා “

ගාථා ධර්මයේ අන්තර්ගත අදහස මෙසේය. සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි යම් කලෙක නුවණින් දකීද එකල දුකෙහි කළ කිරේ. මෙය නිවනට මඟ වේ.

”අනිච්චා වත සංඛාරා” සංස්කාර ධර්ම අනිත්‍ය ලක්ෂණයන් යුක්ත වන බැවින් දුකය. අනාත්ම ලක්ෂණයෙන් යුක්ත වන බැවින් අනාත්මය,අනිත්‍ය ලක්ෂණය නම් බිඳීයාමය. පිළිසිඳගත් මොහොතේ සිට දිරීම වෙනස්වීම ආදි වශයෙන් පරිහානිය කරා යොමුවීම දුක්ඛ ලක්ෂණය නම් පිළිසිඳගත් මොහොතේ සිට දිරීම,පෙලීම ආදිය නිසා ඇතිවන දුක් වේදනාවය. අනාත්ම ලක්ෂණය නම් තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බවය. කිසිවක් තමා යටතෙහි නොපැවැත් වෙන බවය. තමාට තම ශරීරයෙහි ආදිපත්‍ය නැති බවය.

ප්‍රශ්නය – පහත සඳහන් ධම්මපද ගාථාව ඉතා වැදගත් තොරතුරක් ඉදිරිපත් කරයි. පැහැදිලි කරන්න.

”ඉධ වස්සං වසිස්සාමි
ඉධහේමන්තගිම්හිසු
ඉති බාලො විචින්තෙති
අන්තරායාං න බුජ්ඣති”

පිළිතුර – හේමන්ත වස්සාන ගිම්හාන යැයි වර්ෂයේ ඍතු 03 කි. කුසීතව විසීම හැර සසර පැවැත්ම ගැන අඥාන පුද්ගලයෙකු පිළිබඳව කෙරෙන විස්තරයකි මේ. විනය පිටකයට අනුව හේමන්ත වස්සාන ගිම්හාන යනුවෙන් අවුරුද්දේ මාස 12 ඍතු තුනකට බෙදේ. මේ බුද්ධ කාලයේ මගධයේ නියමයයි. ඒ අනුව ඍතු 03 මෙසේය. ඉල්, උඳුවප්, දුරුතු, නවම් යන සිව්මස හේමන්ත කාලයයි. මැදින්, බක්, වෙසක් ,පොසොන් යන සිව්මස ගිම්හාන කාලයයි.ඇසළ, නිකිණි. බිනර වප් සිව්මස වස්සාන කාලයයි. හිම බහුල කාලය හේමන්තයයි. හිරුරැස් සැඩ පරුෂ කාලය ගිම්හානයයි.වැසි බහුල කාලය වස්සානයයි.

ප්‍රශ්නය – ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක් දැයි පැහැදිලි කරන්න.

පිළිතුර –01.කාමාසව 02. භවාසව 03. දිට්ඨාසව 04. අවිජ්ජාසව

ප්‍රශ්නය – නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි. මේ කියමන ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨි නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නවලෝකෝත්තර ශී‍්‍ර සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නාසේම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය – ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සස්නට ඇතුළත්ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවාය. මේ තැනැත්තිය කවුද ?

රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳ කෙටි සටහනකික් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතු වී පෙනේද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට යොමු වු ඇය පටාචාරා අසරණියයි. තම ස්වාමියාත් දරුදෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයාත් එක දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමිවූ පටාචාරාව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට ලක් වීමෙන් සුව පත් වූවාය.

ප්‍රශ්නය – බුද්ධ චරිතයේ එන ඉතාමත් සංවේදී අවස්ථාවකි මේ.අවස්ථාව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් මෙම ප්‍රකාශය කවුරුන් උදෙසා කරන ලද්දක්ද?

අග්නිවෙස්න, මට මෙසේ අදහස් විය.අතීතයෙහි මහණ බමුණන් විසින් විඳින ලද තියුණූ ු කටුක ඖපක්‍රමික දුකක් වේදනාවක් වී නම් මේ දුකම ඊට වඩා බරපතලය. වර්තමානයෙහි මහණ බමුණන් විඳින ඖපක්‍රමික තියුණු කටුක දුකක් වෙයි නම් මේ දුකම ඊට වඩා බරබතලය.

පිළිතුර – වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ දුෂ්කර ක්‍රියාවෙහි දුක් වේදනාවල තියුණු කටුක බව භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේම වචනවලින් සව්වකුට ප්‍රකාශ කොට ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය – ශක්‍ර පදවිය ලැබීමට පළමු මිනිස් බව ලැබූ බව සප්ත ව්‍රත සංයුත්තයේ එන සූත්‍රයක සඳහන් වෙයි. ඒ අනුව සප්ත ව්‍රත පද මොනවාද? සක් දෙව් පදවියේ ස්වරූපය කෙසේද ?

පිළිතුර – සප්ත ව්‍රත පද මෙසේය.
දිවිහිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම
දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම
දිවිහිමියෙන් මිහිරි වදන් කීම
දිවිහිමියෙන් කේළාම් බස්නොකීම
දිවිහිමියෙන් ත්‍යාගශීලි බවෙන් යුතුවීම
දිවිහිමියෙන් සත්‍යගරුක වීම
දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකු වීම

තවද මෙම සූත්‍රයෙහිම එන පරිදි දිනක් මහාලී ලිච්ඡවී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සක්දෙවි රජ දුටුසේක්දැයි ඇසීය. එයට බුදුරජාණන් වහන්සේ පිළිතුර ලෙසින් මහාලි මම ශක්‍රයාද දිටිමි. ශක්‍රයෙකු වීමට නිසි දහම්ද දනිමි යැයි වදාළේය.

සක් දෙවි රජ පෙර මිනිස් වූයේ මඝ නම් මාණවකයෙක් විය. මඝවා යැයි කියනුයේ එබැවිනි. මිනිස්ව සිටියදී මූලිකව දන් දුන් බැවින්ද පුරින්දද නම් විය. සකසා දන් දුන් බැවින් සක්ක යැයි කියනු ලැබේ. ආවාස හෙවත් නිවාස දන්දුන් බැවින් වාසව යැයිද අරුත් දහසක් මොහොතක සිතන බැවින් සහස්සක යැයිද කියනු ලැබේ. ශ්‍රකයාගේ භාර්යාව සුජා නම් අසුර කන්‍යාවකි. තව්තිසා දෙවියනට ආධිපත්‍යය දරන බැවින් දේවාන යැයිද කියනු ලැබේ. (මහාලී සත්ත්වත පද සූත්‍රසං:නි:)

ප්‍රශ්නය – හිමාලවාසි තවුස් පිරිසක් විසින් බුදුරදුන් ලොව පහලව සිටිතියි ඇසූ සිටුවරුන් තිදෙනෙක් බුදුන් වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද?

පිළිතුර – ඝෝෂිත සිටුවරයා ඝෝෂිතාරාමය, කුක්කුට සිටුවරයා කුක්කුටාරාමය, පාවාරික සිටුවරයා පාවාරිකම්භ වනය.

ප්‍රශ්නය – ඝෝෂිත සිටුවරයා ඝෝෂිතාරමාය, කුක්කුට සිටුවරයා කුක්කුටාරාමය, පාවාරික සිටුවරයා පාවාරිකම්භ වනය.

ප්‍රශ්නය – චීන ධම්මපද සිංහල පරිවර්තන ග්‍රන්තයකින් උපුටාගත් පාඨයකි මේ.

භාග්‍ය තාරක – “මම කියන්නේ නෑ ඔබේ දුව ලස්සන නෑ කියලා ඇය ඔබේ මිම්මේ හැටියට හරිම ලස්සනයි. ඒ වගේම මම කියන්නේ මම ලස්සන නෑ කියලා මම ලස්සනයි. මගේ මිම්මේ හැටියට” බුදුරජාණනන් වහන්සේ තමා අභියස සිටි බමුණාට පවසති.

”නෑ ස්වාමීනි ඔබ වහන්සේත් මගේ මිම්මේ හැටියට හරිම ලස්සනයි. ඒ නිසයි මගේ දුව ඔබ වහන්සේට යෝජනා කළේ. භාග්‍ය තාරක අපේක්ෂාවෙන් ආලෝකමත් වූ දෙනෙත් ඇතිව උන්වහන්සේ හමුවෙහි එසේ පවසන්නේ සිය රූබර දියණිය දෙසද අභිමානයෙන් බලමිනි. බ්‍රාහ්මණය ලස්සන ඔබ මනින්නේ පිට පෙනුමෙන් නොවේ. පිට පෙනුමෙන් මනින ලස්සන මායාවක් හරවත් දෙයක් නොවේ. බුදුරදහු ඔහුට පැහැදිලි කළහ.

ස්වාමීනි මට ඔය ධර්මයෙන් පලක් නෑ. මගේ දුව ලස්සනයි. ඔබ වහන්සේත් ලස්සනයි. ඔබ වහන්සේට මේ ලස්සන සුරූපී දියණිය ගැන ආසාවක් ඇතිවන්නේ නැද්ද ?

බුදු සිරිත හා බැදී පවත්නා මේ පුවත පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස්සධම්ම නම් නියම් ගමේ දී පිඬුසිඟා වඩින අතර මාගන්ධි බමුණා මුණ ගැසිණ. බුදුරදුන් ගැන පැහැද තම දියණිය විවාහ කරදීමට කළ සාකච්ඡාවකි මේ.

මාගන්ධි බමුණා බැමිණිය මේ බණ අසා අනාගාමි වූ අතර දියණිය බුදුහු තම රූසිරියාව අවමනට ලක් කළේ යැයි යන වෛරයෙන් වෙළි බුදුරදුන්ගෙන් පළිගැනීම සඳහා විවිධ උපක්‍රම යෙදීය.

ප්‍රශ්නය – පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරමාදර්ශි ලෝකාර්ථ චරියාවයි. ඒ සඳහා උන්වහන්සේ වෙත භාවිත බහුලීකෘත කරුණා මෛත්‍රිය ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහත්මා ශක්තියක් හේතු භූත විය. තවද තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නැති කරුණු 04 කුත් චෝදනා නොකළ හැකි කරුණු 03 කුත් ඇති බව උන්වහන්සේගේම අභීතසිංහ නාදයත් පෙළපොත්වල සඳහන් වේ. බුද්ධ චරිතයෙහි එන මේ තොරතුරු පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර – සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකාය අරකේඛ්‍ය සූත්‍ර පාඨයකින් උපුටා ගත් මේ කරුණූ පැහැදිලි කිරීම වඩාත් උචිතය. මහණෙනි තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නොවන කරුණූ 04 නම් තථාගතයන් වහන්සේ පිරිසුදු කාය සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනිවා කියා සැඟවිය යුතු කාය දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු වාග් සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු වාග් දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු මනෝ සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනිවා කියා සැගවිය යුතු මානෝ දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු ආජීව ඇති සේක මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනිතීවා කියා සැඟවිය යුතු අපිරිසුදු ආජීවයක් නැත.

චෝදනා නොකළ කරුණු තුන නම්,

තථාගතයන් වහනසේ ස්වාක්ඛාත ධර්ම ඇති සේක. තථාගතයන් වහන්සේ ස්වාක්ඛාත ධර්ම ඇත්තෝ නොවෙතිය කියාද ? තථාගතයන් වහන්සේ නිබ්බාණගාමිණී පටිපදාව මැනවින් පනවන ලදී. තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බාණගාමිණි පටිපදා මැනවින් නොපනවන ලදී. සිය ගණන් ශ්‍රාවකයෝ ආශ්‍රව නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්වය ලබා වාසය කරති. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති යි කියා ද මේ තුන්කරුනෙන් කළ දෙවියෙකු මාරයෙකු බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමි. එබැවින් මම ක්ෂේම ප්‍රාප්තව අභය ප්‍රාප්තව විශාරදව වාසය කරමි. මිහිපිට මිනිසෙකුට අකම්පිතව නොසැලී විශාරදව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය මෙහි අන්තර්ගතය.

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]