Print this Article


බුද්ධිය ලබාගැනීම පුද්ගලයකුට වැදගත් කරුණකි

බුද්ධිය ලබාගැනීම පුද්ගලයකුට වැදගත් කරුණකි

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි බුද්ධකාලීන භාරතීය සමාජය දර්ශනවාදී චින්තකයන්ගෙන් පිරුණ එකකි. සෑම පුද්ගලයකුගේම උනන්දුව තිබුණේ කිසියම් ඥානයක්, කිසියම් ධ්‍යානයක් තමන් ලබා ගන්නවාය යන අදහසය. සෑම පුද්ගලයකුම උත්සාහ කරනු ලැබුවේ අනෙකුත් අය කොපි කිරීමක් නොවෙයි. තමන් කුමන හෝ දෙයක් සොයාගෙන සමාජයට එය දිය යුතුයි යන අදහසයි.

ඒ අනුව බුද්ධකාලීන භාරතීය සමාජය තුළ සත්‍ය සොයාගෙන ඇවිදගිය පුද්ගලයන් විවිධයි. සත්‍යය සොයාගෙන සමාජ ගත වූ පිරිස බොහෝ වෙයි. ඒ පිරිස අතර පිරිවැජි සමාජයත් වැදගත් වේ. පිරිවැජි සමාජය යනු ගිහි ජීවිතය ගත කරමින් සිටි අය, ගිහිජීවිතය අතහැර ගොස් තවුස් පැවිද්දෙන් පැවිදිව අධ්‍යාත්මික වශයෙන් තැන්පත් මානසිකත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ කරපු පිරිසකි. ඇතැම් පිරිසක් බණ භාවනා කළේ ය. ඇතැම් පිරිසක් තමන් වටේ සිටින ශිෂ්‍යයන්ට අධ්‍යයන ආයතන පිහිටුවාගෙන ඉගැන්නුවේ ය. සංජය නමැති පිරිවැජියා අධ්‍යාපනය දැනුම අනෙකුත් පිරිසට බෙදා දුන් පුද්ගලයෙකි. විශාල පිරිසක් ශිෂ්‍යයන් ලෙස තබාගෙන ඒ ශිෂ්‍යයන්ට දැනුම දෙමින් එම ශිෂ්‍යයන්ට අවබෝධය දෙමින් අධ්‍යාපන කාර්යය ඉටු කළේ ය. දැනුම සොයමින් තමා සොයාගත්තා වූ දැනුම ශිෂ්‍යයන්ට ලබා දුන්නේ ය. සංජය පිරිවැජියා එදා බුද්ධකාලීන සමාජය තුළ ප්‍රසිද්ධව සිටියේ දැනුම බෙදාදෙන අයෙකු ලෙසය. සත්‍ය සොයාගෙන යන තරුණයන් දෙදෙනෙකු මේ පිරිවැජියා ළඟට පැමිණේ.

“කෝලිත” සහ “උපතිස්ස” එම තරුණයන් දෙදෙනා ය. මොවුන් දෙදෙනා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ සංජය පිරිවැජියා මාර්ගයෙනි. “සංජය” පිරිවැජියාගේ අධ්‍යයන ආයතනයට පැමිණි තරුණ පිරිස සමඟ එම දෙදෙනා ද හොඳින් ඉගෙන ගත්තේ ය. මේ දෙදෙනාගේ යහළු මිත්‍රකම නිසාම ඒ අය හොඳින් ඉගෙන ගනිමින් තමන් ලබාගත් දැනුම හොඳින් සාකච්ඡා කර කර ගැටලු විසඳා ගත්තේ ය. මේ ආකාරයෙන් කාලයක් ගත වන විටත් කෝලිත, උපතිස්ස යන දෙදෙනාම ඉතා ඉක්මනින්ම සංජය පිරිවැජියා තුළින්. ඉගෙනගත යුතු සියලු කරුණු කාරණා ඉගෙන ගත්තේ ය. අප දැන් ඉගෙනගෙන අවසානයයි. කිව්වට පසුව සංජය පිරිවැජියා ප්‍රකාශ කරනු ලැබුවේ ඔය ගොල්ලෝ ගුරුවරුන් ලෙස මට උදවු කරන ලෙසයි. මෙම අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යාමට ඔබ දෙපළ ලබාගත් දැනුම අනෙකුත් අයටත් ලබා දෙන්නැයි යනුවෙනි. එම ඉල්ලීමටත් එකඟ වී ඉන්නා කාලය තුළ උපතිස්ස පිරිවැජියාට අහම්බෙන් හමු වූ අස්සජී හාමුදුරුවන්ගෙන් අසා ගන්නට ලැබුණු බණ පදය කෝලිතට ප්‍රකාශ කිරීමෙන් පසු දෙදෙනාම එකඟ වී අස්සජී හාමුදුරුවන්ගේ ගුරුවරයා සොයාගෙන යාම සඳහා එකඟ වුණි. එසේ එකඟ වී තමන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුතුමා සමීපයට ගොස් මෙම කරුණු කාරණා ප්‍රකාශ කරන අතර ගුරුවරයාටත් ආරාධනා කළේ මෙම උතුම් ගුරුවරයා හමුවීම සඳහා යාමට එන ලෙසටය. එසේ ආරාධනා කළ විට සංජය පිරිවැජියා ප්‍රකාශ කරනු ලැබුවේ මා දැන් කාලයක් තිස්සේ ගුරුවරයකු ලෙස කාලය ගත කරපු කෙනෙක්. මම බොහෝ කාලයක් දැනුම ලබාදුන් කෙනෙක්. මම ගුරුවරයෙක් මට නැවත වතාවක් ඉගෙනීමට ආසාවක් නැහැ. මට ඉගෙන ගන්න දේකුත් නැහැ. එනිසා ඔබ ගිහින් එම ගුරුවරයාගෙන් යමක් ඉගෙන ගන්න. මම මගේ දැනුමෙන් මේ කටයුතු කරගෙන යන්නම්, යනුවෙනි. කෝලිත, උපතිස්ස දෙදෙනා එතැනින් සමුගෙන බුද්ධ ශාසනයෙහි පැවිදිව ශාසනික වශයෙන් තනතුරුත් ලබාගෙන ශාසනය ඒකාලෝක කරන්නට කැප වුණි.

දිනක් මේ දෙදෙනා මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ වෙත පැහැදිලි කළේ අපි ළඟ හිටිය ගුරුවරයාට ඔබ වහන්සේ හමුවට එන්න අප ආරාධනා කළා. ඔහු ප්‍රකාශ කළේ “මම ගුරුවරයෙක් මට නැවත ගෝලයෙක් වෙන්න බැරි බව. ඒ සිදුවීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලද්දේ මේ ලෝකය තුළ පවතින ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳවය. එම ප්‍රධාන කාරණා දෙක නම් සරුසාර දෙය සහ නිසරු දෙය ලෙසට, ලෝකය තුළ සැමදාම ක්‍රියාත්මක වන්නේ සරුදෙය සහ නිසරු දෙයයි. මෙම තත්ත්වය අපටවත් වෙනකෙනෙකුටවත් වෙනස් කළ නොහැකියි. එදා සමාජය තුළත් සරුදෙය තිබුණා මෙන්ම නිසරු දෙයත් තිබුණි. එය එක කාලයකට පමණක් සීමා නොවී තුන් කල්හිම වෙන දෙයක්.

මනුෂ්‍යයෙකු ලෙස බුද්ධිමත් කෙනකු විය යුතු යි. බුද්ධිමත් කෙනකු විය යුතු යනු කුමක්ද? සරු දෙය කුමක්ද? නිසරු දෙය කුමක්ද? නිවැරදිව දැන හඳුනාගන්න හැකියාව තිබෙන පුද්ගලයාටයි. අපේ සමාජයේ බොහෝ දෙනා සරුදෙය, නිසරු දෙය ලෙස හිතනවා. නිසරු දෙය සරු දෙය ලෙස සිතනු ලැබේ. නොකළ යුතු දෙය, කළ යුතු දෙය ලෙස හිතනු ලැබේ. කළ යුතු දෙය නොකළ යුතු දෙය ලෙස ද හිතනු ලැබේ. ලෝකයේ තිබෙන ස්වභාවයන් මැනවින් අවබෝධ කර ගත නොහැකි නිසා මෙවැනි සිතිවිලි ඇතිවේ. බුද්ධිය ලබා ගැනීම යනු පුද්ගලයකුට වැදගත්ම වන කාරණාවක් හැම ගුරුවරයාම හැමදාම ගෝලයෙක්. හැම ගුරුවරයාම හැමදාම ඉගෙන ගනු ලැබේ. අධ්‍යාපනය යනු මැරෙනකම්ම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ කෙනෙකු මහරහත් බවට පත්වීම දක්වාම ඉගෙන ගත යුතු දේ තිබේ. එනිසා වර්තමාන සමාජයටත් මෙම කතාව ඉතාම වැදගත්. අපේ සමාජයේ බොහෝ දෙනා උත්සාහ කරන්නේ අනෙකුත් අයට උගන්වන්න. අනෙකුත් අයට ඉගැන්වීමට අවශ්‍යතාවය තිබුණට තමාට ඉගෙන ගැනීමට වුවමනාවක් නොපවතී. තමන්ගේ අඩුපාඩු හදාගන්න වුවමනාවක් නොමැතිය. සංජය පිරිවැජියා නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයින් අප ගත යුත්තේ අප අවසන් හුස්ම හෙළන තුරුම අපට ඉගෙන ගැනීමට කාරණා තිබෙන බවයි. අප ඒ මාර්ගයේ යා යුතුයි යන කාරණාවය.

හේමමාලා රන්දුනු