Print this Article


දියුණුවේ දොරටු හඳුනා ගනිමු

දියුණුවේ දොරටු හඳුනා ගනිමු

මෙම ලිපියේ මුල් කොටස ඉකුත් මැදින් පුර පසළොස්වක පෝදා(මාර්තු 05) පළවිය.

එසේ නැතිව ලාභ, යස, ප්‍රශංසා, සැප අවස්ථාවල දි එයින් මත්ව තමා උසස් කොටත් අනුන් පහත් කොටත් (අත්තුක්කංසන – පරවම්භන) සලකා මෙලොව පිරිහීමත් පරලොව දුගතියත් හිමිවන සේ ක්‍රියා කිරීම නුසුදුසුය. එමෙන්ම අලාභ –අයස, නින්දා, දුක් යන අවස්ථාවලදි බැගෑවීමත් දිනවීමත් නුසුදුසුය. එ’ බැව් මෙසේ සඳහන් වේ. “බෙදො විපත්තීසු පටික්‍රියා න, තස්මාන දීනප්පකතිං භජෙය්‍ය”
(හත්ථවනගල්ල විහාරවංස)

එහෙත් අද සමාජයේ බොහෝ දෙනා විශේෂයෙන් තරුණ පරපුර ඉතා සුළු කරුණකදී පවා කිසි ඉවසීමක් විඳ දරා ගැනීමක් නැති ව විස පානය කිරීමෙන් හෝ වෙනත් උපක්‍රම මගින් සිය දිවි හානිකර ගනිත්, ඒ සඳහා ක්‍රියා කරත්. එසේ සිය දිවි හානිකර ගැනීම මහත් පාපයකි. තමාටත් රටටත්, ජාතියටත්, බලවත් අලාභයකි.ඇතැම් දෙනා එයින් ජීවිත හානියට පත් නො වුවද ජීවිතාන්තය දක්වා රෝගීහු වෙත්,දෙලොවින්ම පිරිහෙති.

කම්ම විපාකජා ආබාධා

සත්වයා සසර සැරි සරද්දි කරන ලද යම් යම් අකුසල කර්ම හේතුවෙන් හටගන්නා රෝගයයි. කාශ – ස්වාස –අපස්මාර පාප රෝග විශේෂයෙන් මේ කොටසට අයත් වේ. ඒවා ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නො හැකිය. කර්ම විපාකය විඳීමෙන් ම අවසන් කළ යුතුය. මෙබඳු කර්ම විපාක හේතුවෙන් හටගත් පිට රුජාවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටද පැවැති බැව් සඳහන් වේ. අප මහා බෝධිසත්වයන් වහන්සේ පෙර ආත්ම භවයෙක්හිදි මල්ලව ශූරයෙක්ව සිය ප්‍රතිමල්ලවයා බිම හෙළා කොන්ද කැඩීමේ අකුසලය නිසා මේ රෝගය සැදුණූ බැව් සඳහන් වේ. එසේම මසුන් මරන තැනෙක බලා හිඳ සතුටුවීම නිසා බුදු වු අවසන් ආත්මභාවයේදි බලවත් හිස රුජාවකින් පෙළුණු බවද සඳහන් වේ. තවද රෝහිණි නම් කුල දුවක් බලවත් කුෂ්ට රෝගයකින් පෙලෙමින් දකින්නවුනට අපි‍්‍රයවීම නිසා අතිශයින් මකුව ගෙයි ම මුළුගැන්වී සිටින විට බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා දුන් උපදේශයක් පරිදි සංඝයාට දාන ශාලාවක් කරවා පූජා කිරීමෙන් පසු එයින් මිදුණු බැව් එක් ප්‍රවෘත්තියෙක සඳහන් වේ. බලවත් කුසලයක් කිරීමෙන් දුර්වල අකුසල විපාක ශක්තිය මැඩ පැවැත්විය හැකි බැව් යටපත් කළ හැකි බැව් එයින් පෙනේ.

මෙසේ හෙයින් රෝග පිළිබඳව මෙම විස්තරය තේරුම් ගෙන වාත පිත සෙම නසා හටගන්නා වු ද සන්නිපාතික උතුපරිණාමජ ආබාධයන් ද හැඳින, ඒවාට නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් සහ සිහියෙන් යුතුව සෞඛ්‍යාරක්ෂක විධි අනුගමනය කිරීමෙන් නිරෝගී ප්‍රතිකාර ලැබීමෙන් සහ සිහියෙන් යුතුව සෞඛ්‍යාරක්ෂක විධි අනුගමනය කිරීමෙන් නිරෝගී භාවය ලැබීමටත් කම්ම විපාකජ ආබාධයන් කර්මය ප්‍රත්‍යවේක්ෂා කොට විඳ දරා ගැනීමෙන් හා බලවත් කුසල කර්මයන්හි යෙදීමෙන් අකුසල බලය යටපත් කොට සැනසුම් ලැබීමටත් විසම පරිහාරජ ඔපක්කමික ආබාධයනට හේතුවන පරිදි ක්‍රියා නොකිරීමෙන් ඒවායින් වැළකී සිටීමටත් උත්සාහවත් විය යුතුය. මෙසේ කායික නිරෝගිතාව ඇති කර ගැනීම දෙලොව යහපතට හේතු වේ.

මානසික රෝග

මානසික රෝග තම සිතෙහි හෝ සිත පිළිබඳව හට ගන්නා රෝගයි. සාමාන්‍යයෙන් ශරීරගත පිත කිපීම නිසාද මානසික උමතු බව ඇති විය හැකිය. එම රෝගය එම දොස් සමනය සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් සුවය ලැබිය යුතුය.වාත, පිත, සෙම නිසා කායික රෝග හට ගන්නා සේ විශේෂයෙන් රාග, දෝස, මෝහ තුන නිසා මානසික රෝග හටගනී. එහි රාග නම් ඇල්මයි. එනම් ආශාවයි. එයට ලෝභ, තණ්හා,ආදි විවිධ නම් රාශියක් ව්‍යවහාර වේ. දෝස යනු ද්වේශයයි. එනම් තරහවයි. කොධ, –පටිඝ යනුද ව්‍යවහාර වේ. මෝහ යනු මෝඩකමයි. එනම් නොදැනීමයි.අවිද්‍යා යනුද නමකි. සත්වයාගේ

චක්ඛු – ඇස
සෝත – කන
ඝාණ – නැහැය
ජිව්හා – දිව
කාය – ශරීරය

යන මේ පඤ්චේන්ද්‍රිය ගොදුරු වන රූප ,ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ යන පඤ්චාරම්මණයන් පි‍්‍රය වශයෙන් ගත් කල්හි රාග (ඇල්ම) ද අපි‍්‍රය වශයෙන් ගත් කල්හි දෝස (කිපීම) ද ඇතිවේ.මේ රූපාදි අරමුණු පි‍්‍රය වශයෙන් හෝ අපි‍්‍රය වශයෙන් ගනු ලබන්නේ මෝහය (නොදැනීම) නිසයි. ඒ රූපාදීහු පිළිබඳ යථාභූත ඥානය (ඇති සැටිය දැකීම) ඇත්නම් ඒවා පි‍්‍රය වශයෙන් හෝ අපි‍්‍රය වශයෙන් නො ගනිත්. එවිට ඇල්ම (රාග) හෝ කිපීම (දෝස) හෝ ඇති නොවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දාරුචීරිය තෙරුනට මෙසේ වදාළහ.

දිට්ඨෙ දිට්ඨමන්තං හොහී
සුතෙ සුතමත්තං හොහි
මුතෙ මුතමත්තං හොහි

”දුටු දෙයෙහි දැකීම පමණක් වන්න. එය පි‍්‍රය අපි‍්‍රය වශයෙන් නො ගන්න. කනින් ඇසු, නැහැයෙන් ආඝ්‍රණය කළ දිවෙන් රස විඳි කයින් ස්පර්ශ කළ දේ එපමණකින් නවතින්න. ඒවා පි‍්‍රය අපි‍්‍රය ආදි වශයෙන් නොගන්න”

මේ ලෝකයෙහි ඇති සියලු ගැටුම් වල ආරම්භය මේ අනුනය (ඇලීම්) පටිඝ (ගැටීම් දෙකයි.මේ දෙකම ඇති වන්නේ අවිද්‍යාව (නො දැනීම) නිසයි. එනිසා සියලු මානසික රෝගවලට මුල මේ රාග, දෝස, මෝහ යනුයි. මේනිසා මේ රාග දෝස මෝහ ප්‍රධාන කොට ඇති කෙලෙස් සහිත මුළු පෘථග්ජන ලෝකයම එක් අතකින් උම්මත්තකාගාරයක් බැව් “සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා” යනුවෙන් සියලු පෘථග්ජනයෝ පිස්සෝ යැයි බුදුහු වදාළහ.යම් පමණකට හෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ දැනීම් ඇතිකර ගැනීමෙන් සද්පුරුෂ ආශ්‍රය හා යෝනිසෝමනසිකාරය ඇතිව ක්‍රියා කිරීමෙන් මේ උමතු බව අඩුකර ගත හැකිය. එයින් සැනසිලි ජීවිත ගත කළ හැකිය. භාවනාමය කුසලය මේ සඳහා අතිශය ප්‍රයෝජනවත් වේ.

මේ මානසික රෝගයෝ මෙලොව ජීවිතය අඳුරු කරනු පමණක් නොව සසර මතු ජීවිත ද දුකට පත් කරත්. මේ රාගාදී ක්ලේශයන්ට වසඟ වූ තැනැත්තා හොඳ නො හොඳ යුතු අයුතුකම් නො දකී. එනිසා ඔහු ප්‍රාණඝාත (පරපණ නැසීම) ආදි පස්පව් දශ අකුසල් සිදු කරයි. දෙමවුපියන්ට, අඹුදරුවන්ට, සොයුරු සොයුරියන්ට, ඤාතීන්ට ගමට රටට,ජාතියට ආගමට කළ යුතු යුතුකම් ඉටු නොකරයි. මෙලොව අඳුරු ජීවිත ගත කරයි. මරණින් මතු නරක, තිරිසන්, පේ‍්‍රත අසුර යන සතර අපායන්හි ඉපිද අප්‍රමාණ දුක් විඳියි. භව දුක නම් මෙයයි. මේ සසර දුකට පිළියම් දේශනා කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේමය. එනිසා ලෝවැඩ සඟරාවෙහි 'සත්හට වන බව දුකට වෙදාණන්’ යනු කීහ. අනෙක් සියලු වෛද්‍යාචාර්යවරු සත්වයන්ට මෙලොව වශයෙන් පැමිණෙන කායික මානසික රෝගයනට පිළියම් කරති. අප බුදුරජාණන් වහන්සේම භව දුක්ඛයට (සසර දුකට) ප්‍රතිකාර කරති.

මෙසේ කායික මෙන්ම මානසික වූ සියලු රෝග ලක්ෂණ දැන හැඳිනගෙන කායික මානසික නිරෝගිතාව ඇතිකර ගැනීමටත්, විශේෂයෙන් බෞද්ධ වු හැම දෙනා බුදුන් වහන්සේ ගේ මානසික ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරිමෙන් දෙලොව සුවය සහිත ලෝකෝත්තර සුවයක් සලසා ගැනීමට උත්සාහවත් විය යුතුය.

සීලය

කය, වචනය, දෙකේ මනා සංවරය සීලයයි. එනම් ප්‍රාණඝාත ,අදත්තාදාන, කාමමිච්ඡාචාර යන කයින් කෙරෙන වැරදි තුනෙන් හා මුසාවාද පිසුනාවාච, ඵරුසාවාචද සම්පප්ඵලාප යන වචනයෙන් කෙරෙන වැරදි සතරෙන්ද යන වැරදි හතෙන් වැළකීමයි. පන්සිල්,අටසිල්, ගිහි දසසිල්, පැවිදි දසසිල්, අධිසීලය හෙවත් උපසම්පදා සීලය යනාදි වශයෙන් සීලයේ ප්‍රභේදයෝ බොහෝය. මේ හැම සීලයකින්ම කෙරෙන්නේ කයෙන් වචනයෙන් සිදුවන වැරදි හතෙන් වෙන්වීම නිසා එය චාරිත්‍ර සීලයයි. වැරදි නො කිරීමෙන් පමණක් සීලය සම්පූර්ණ වෙතැයි ඇතැමෙක් සිතති. එහෙත් එය වැරදිය.’වත්තං න පරිපුරෙන් තො න සීලං පරිපුරති’ යුනුවෙන් හොඳ යැයි සම්මත යහපත් දෙය කිරීමෙන්ද සීලයේ චාරිත්‍ර කොටස සම්පූර්ණ වෙයි. මේ අනුව සියලු හොඳ දෙය අනුගමනය කිරීමත් සියලු වැරදි වලින් වැළකීමත් සීලය බැව් දත යුතුය. මෙකල බොහෝ දෙනා සිල් ගන්නේ අනුන්ට පෙන්වීමටයි. එහෙත් සීලය පෙන්විය යුත්තක් නො වෙයි.රැකිය යුත්තකි. කය වචනය දෙකේ සංවරයක් පිරිසුදුකම් නැතිව බාහිර වශයෙන් පිරිසුදු වස්ත්‍ර ඇඳීමෙන් පමණක් සිල්වතෙක් නොවෙයි. පිරිසුදු සිල්වතෙකුට මෙලොව පරලොව සියලු සම්පත් ලැබිය හැකිය.

සීතල අර්ථයෙනුත් ශිර්ෂ අර්ථයෙනුත් සීලයේ වැදගත්කම පැහැදිලි කරයි. කය වචන දෙකේ සංවරශීලිභාවය නිසා එයින් මිනිසාට අමුතු විධියේ ප්‍රබෝධයනුත් සිසිලකුත් ලැබෙයි. මිනිස් සිත කලඹන, අවුල් කරන කලබලකාරි ගතිය නැතිකොට හැදිච්ච කමත් කීකරුකමත් ඇති වන්නේ කය වචන දෙකේ සන්සුන් බවක් ඇති විටයි. එයින් ඇති වන කායික මානසික සැනසීම අසීමිතය. මිනිස් සිරුරේ වටිනාම කොටස හිසයි. හිස නැති නම් මිනිස් භවේ අර්ථයක් නැතිවාක් මෙන්ම සීලයෙන් තොර ජීවිතයේද හරයක් නැත.

සත්ව ලෝකයේ අනෙක් සත්වයන්ගෙන් මිනිසා වෙන් වන්නේද සීලයෙනි. සදාචාරාත්මක හැදිච්ච කමක් නැතිනම් මිනිසාද තිරිසනෙකි.අප සමාජයෙහි හිස කඳ ගාත්‍රා වලින් සමාන මිනිසුන් කොටස් හතරකි. මනුෂ්‍යත්වය ඉකුත් කළ මෛත්‍රි කරුණා සමානාත්මතාදි උතුම් ගුණාංග දියුණු කළ මිනිසා මිනිස් වේශයෙන් සිටින දෙවියෙකි. මනුෂ්‍යත්වය හැඳිනගෙන සමාජශීලිව ආත්මාර්ථ පරාර්ථ සේවයේ යෙදෙන මිනිසා උතුම් මනුෂ්‍යයෙකි. මනුෂ්‍යත්වය නො හඳුනන ගත සිත මෙන්ම පරිසරයද කිලිටි කරගෙන ජීවත් වන මිනිසා පේ‍්‍රතයෙකි. මිනිස්කම නො හඳුනන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකරාදිය පුරවාගෙන තමා පමණක් සිටියොත් ඇත යන අදහසින් ජීවත්වන මිනිසා තිරිසන් සතෙකු හා සමානය.

මේ අනුව බලන විට අප සමාජයේ මිනිස්කම තේරුම්ගෙන ජීවත්වන්නේ කීයෙන් කී දෙනෙක්ද ? පරිපූර්ණ මිනිස් ජීවිතයක් ගොඩනඟා ගත හැක්කේ පිරිසුදු සීලයක පිහිටීමෙනි. අපේ සමහර පින්වතුන් සකස් වෙලා තියෙන්නේ කන්දෙන් පටන් ගෙන කෙන්දෙන් ඉවර කරන්නයි. ඒ නිසා භාවනා කරන්න යයි. වස්කාලවලදි දස සිල් සමාදන් වෙයි. පොහොය දිනවල බොහෝ දුර බැහැර ගොස් අටසිල් සමාදන් වෙයි. මේවා මහ ඉහළින් ඉටු කිරීම ඉතා හොඳයි. එහෙත් මේ වැඩි දෙනෙක් කිසිම වියදමක් නැතිව රකින්න පුළුවන් පන්සිල් පද රකින්න උනන්දුවන්නේ නැත. පින්වත, මුළු ත්‍රිපිටකය ම පන්සිල් පද පහේ ගැබ්වෙලයි. තිබෙන්නේ .ඒ නිසා හොද බෞද්ධයෙක් හොඳ මනුෂ්‍යයෙකි. හොඳ සිල්වතෙක් වෙන්න, දෙලොව ම දියුණු වන්න. පන්සිල් පදවත් හොඳින් ආරක්ෂා කරන්න.

වුද්ධානුමත

වුද්ධානුමත යැයි කියන්නේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවන්ට ඇහුම්කන් දීමයි. මෙය අද අප සමාජයෙන් ගිලිහී ගිය පරිහානි ලක්ෂණයක් වී ඇත. වැඩිහිටියන් වශයෙන් හැඳින්වෙනුයේ මව්පියෝ, ගුරුවරු , භික්ෂූන් , වහන්සේ යන අයයි. මොවුන් යම් අවවාදයන් අනුශාසනාවක් කරන්නේ හුදු කරුණාවෙන් දියුණුවක් අපේක්ෂා කරමින්ය. ඒවාට ඇහුම්කන් දීමෙන් මෙලොව, පරලොව උභයාර්ථ සංසිද්ධිය ම සලසා ගත හැකිය. අද සමාජයට අවවාද අනුශාසනා නුරුස්සනා දෙයක් වී ඇත්තේ මොන කරුමයක් නිසා දැයි අපි නොදනිමු. දුවට, පුතාට ගෝලයාට අවවාදයක් දැනමුතුකමක් දිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ නිසා අවවාද අනුශාසනා කිරීමේදි වැඩිහිටියන් වගකීමෙන් යුතුව ඒව කළ යුතුය. ‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට” බාල පරපුර යහමගට ගැනීම සඳහා කටයුතු කරන පුද්ගලයා ආදර්ශවත් විය යුතුය.ආදර්ශය අවවාදයට වඩා බලවත්ය.බොහෝ වැඩිහිටියෝ සමාජයේ විවිධ දූෂණ ක්‍රියා කරමින් බාල පරපුර විවේචනයෙහි යෙදේ. වැඩිහිටියන් හා තරුණ පරපුර අතර නො සන්සිඳෙන වෛරයක් පැන නැගී ඇත්තේ මේ නිසා යැයි සිතිය හැකිය.

වැඩිහිටි අවවාදය නරක දෙයක් නොවෙයි. බුද්ධාදී සද්පුරුෂයන්ගේ ප්‍රශංසාවලට පත් වූවකි. වැඩිහිටියන් සමාජයේ විවිධ ප්‍රශ්නයන්ට මැදි වී එයින් තැළී පොඩි වී ලැබු අත්දැකීම් සම්භාරය අතිවිශාලය. වයසින් හා දීර්ඝකාලීන පළපුරුද්දෙන් ලැබු අත්දැකීම් ක්‍රමානුකූලව නිසි වයසේදි දූ පුතුන් ඉදිරියේ තබනවා නම් නියම ඵල නෙළා ගත හැකිවෙයි. ඉවක් බවක් නැතිව තැන නො තැන නො බලා අවවාද අනුශාසනා නො කොට, බාල පරපුර යහමගට ගැනීමේ පරම චේතනාවෙන් ‘කාලෙක ධම්ම සාකච්ඡා’ යනාදි වශයෙන් මෙලොව පරලොව දෙලොව දියුණුව සලසා දෙන අටියෙන්ම අවවාද අනුශාසනා කළ යුතුය.

සුත

මෙයින් උගන්වන්නේ බොහෝ ඇසු පිරූ තැන් ඇති බවයි. හෙවත් බහුශ්‍රැත බවයි. එනම් විවිධ විෂය ක්ෂේත්‍රයන් මඟින් ලබන දැනීමයි. ඈත අතීතයේ දැනීම ලැබු ක්‍රම ඉතා අල්ප ය. ශ්‍රැතමය, ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, විද්‍යාමය ප්‍රඥා , ඍද්ධිමය ප්‍රඥා යනුවෙන් හඳුන්වන්නේ ඒ දැනීම ලැබු මාර්ගයන්ය. එහෙත් අද විද්‍යාඥයන් . තාක්ෂණ ක්‍රමත් නිසා මුද්‍රණ යන්ත්‍ර බිහිවීමේ ප්‍රතිඵලයෙන් පොත පත, සඟරා, ගුවන්විදුලිය, රූපවාහිනිය ආදි සන්නිවේදන මාධ්‍යයන් සුලබවීම නිසා දැනීම් සම්භාරය රැස් කර ගැනීමට බොහෝ පහසුකම් සැලසී ඇත. සමාජ රටාවේ හැටියට ඉගෙනීම අතිශයින්ම අවශ්‍යයි. එය කාගේත් මතකයේ රැඳිය යුත්තකි. කුලී වැඩක් කරගෙන ජීවත් වීමට වුවත් ඉගෙනීමක් තිබිය යුතුය. දෙමාපියෝ දුවගේ පුතාගේ ඉගෙනීම ඵල ගැන්වීමට හැම උත්සාහයක්ම දරති. ඉගෙනීම දේශ දේශාන්තරයෙන්හි හොඳින් ජීවත්වීමට රජතමය මගකි. එහෙත් මෙහිදී ශ්‍රැතය යන්නෙන් අදහස් කරන්නේ විද්‍යාව, ගණිතය වාණිජ්‍ය වැනි රැකියාවකට අවශ්‍ය ඉගෙනීම පමණක් නො වෙයි. ඉගෙනීම යන වචනයේ පුළුල් අර්ථය විය යුත්තේ තමාගේ ජීවිතයේ තමාටත් අනුන්ටත් බරක් කරදරයක් නැතිව සකස් කර ගැනීම යි. පොතපත ඉගෙනීමෙන් පමණක් මිනිසෙක් පරිපූර්ණ නොවෙයි. ඔහුගේ ඉගෙනීමෙන් තමාටත්, අනුන්ටත්, රටටත්, ජාතියටත්, ආගමටත් සේවයක් සිදුවිය යුතුය.ආගම ධර්මය අනුව ශික්ෂණයක් නො ලැබ භාෂා ශාස්ත්‍ර පිළිබඳව පමණක් උගත් බොහෝ දෙනෙකු අද සමාජයට මහත් හිසරදයක් වී ඇති බව රහසක් නොවෙයි. ඔවුන් නිසා සමාජයේ නොයෙක් අපරාධ දූෂණ ක්‍රියා වැඩි වී ඇත. හැදිච්ච කමක් නැත්නම් ඉගෙනීමෙන් පලක් නැත. ‘විද්‍යා දදාති විනයං’ උගතා විනය ගරුක විය යුතුය. හැදිච්චකමෙන් හික්මීමෙන් තොර උගතාගෙන් සාමාජික යුතුකම් ගිලිහි යයි. ශික්ෂණය ලැබු උගතා පූර්ණ පුද්ගලයකු වන අතර ඔහු දෙලොව දියුණුවද සලසා ගනී.

ධම්මානුවත්ති

මෙලොව, පරලොව දියුණුව සලසා දෙන පස්වැනි කාරණය ධර්මානුවෘත්තියයි. කය, වචන, සිත යන තුන්දොරින් සිදුවන දුශ්චරිතයන් දුරුකොට දස සුචරිත ධර්මයන්ට අනුව ජීවිතය සකස් කර ගැනීම දැහැමින් ජීවත් වීමයි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, ඔවුනොවුන් කොටවන කේළම් කීමෙන්, මනස දූෂණය කරන පරුෂ වචනයෙන්, තමන්ටත්,අනුන්ටත් වැඩක් නොවන හිස් වචනයෙන්, අන් සතු වස්තුවෙහි දැඩි ලෝභකමින්, ක්‍රෝධයෙන්, වැරදි දර්ශනයෙන් දුරුව ජීවන මාර්ගය සකස් කර ගත් තැනැත්තා ධාර්මික ව ජීවත් වන්නෙකි.

මෙකල දැහැමි ජීවිතයක් ගෙන යන්නකු දැකීම නිකිණි සොයන්නාක් මෙන් දුර්ලභ දර්ශනයකි. කියන්නත් කනගාටුයි. අපේ සමාජය ඇතැම් විට වැරදි කරනවා. මිරිස් කුඩු ටික ගත්තොත් ගඩොල් කුඩු, ගම්මිරිස් ගත්තොත් ගස්ලබු ඇට, හකුරු ගත්තොත් හුඹස් මැටි රස කැවිලි ගත්තොත් ඩයි වර්ග මේ විධියට ඉතා පහත් ක්‍රියා කරයි. එපමණක් නොව අතීතයේ සිංහලයා තුළ පැවති සහජීවනය,ආගන්තුක සත්කාරය, ජාතික සමගිය සමාජය තුළින් ගිලිහී ගොස්ය. මිහිඳු මාහිමියන් මේ රටේ ඇති කළ සදාචාරාත්මක ගුණ වගාව බෙහෙවින්ම පිරිහී ගොස්ය. කතා කරන කොට නම් අපේ ලංකාව ධර්මද්වීපයකි. එහෙත් දුරාචාරය, සූදුව, මත්පෙති වැනි භයානක අපරාධයන්ට තෝතැන්නකි. වංචාව, කපටිකම, කුහකකම හැම තැනම ජීවන මාර්ගය කරගෙනය. බෞද්ධකම දන්න හඳුනන බුද්ධිමත් පිරිස ඇස කන පියාගෙන තවදුරටත් නො සිට අශීලාචාර දුසිරිත් දුරුකොට දැහැමි දිවි පෙවෙතේ අගය වටහා දි සදාචාරාත්මක ආචාරශීලි ධර්මද්වීපයක් ගොඩ නැගීමට ජාතියේ නාමයෙන් ඉදිරිපත් විය යුතුය.

අලීනතාව

දෙලොව දියුණුවේ හය වැනි දොරටුව අලීනතාවයි. කම්මැලි නැතිකමයි. උට්ඨානවීර්යය පටන්ගත් වීර්යය යනුවෙන් හඳුන්වන්නේද මෙය මැයි, කම්මැලිකම,අලසකම තිබෙන තාක් කෙනෙකුට දියුණු වන්නට නොහැකිය. චිත්ත චෛතසික දෙකේ වීර්යයක් නැති අලසකම පරිහානියේ ලක්ෂණය වන අතර උට්ඨාන වීර්යය දියුණුවේ හැම අර්ථ සිද්ධියක්ම සලසා දෙන ඒකායන මාර්ගයයි. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනො පදං යනුවෙන්ද ඒ බව සනාථ කරයි.ලෞකික ලෝකෝත්තර හැම දියුණුවක්ම වූයේ උට්ඨාන වීර්යයෙන් බව ත්‍රිපිටකයේ විවිධ සිද්ධින්ගෙන් පැහැදිලි වෙයි. එසේම බෝසත් සිරිතෙනුත්, බුදු සිරිතෙනුත් උත්සාහයේ මහගු පලය මැනවින් පෙන්වා දෙයි.අප බෝසත්තුමා බුදු බවය පැතුවේ මුහුදුබත් වන්නට ගිය තම මෑණියන් කරපින්නා මුහුද තරණය කිරීමේ වීර ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් තම දු සිඟිත්තා බේරා ගැනීම සඳහා මුහුදු ජලය හිස් කරන්නට ගිය කලන්දක ජාතක සිද්ධිය අපට මහත් ආදර්ශයකි. සිදුහත් බෝසතුන්ගේ දුෂ්කර ව්‍රත පුරාණයේදී වසවත් මරු, පැමිණ සිද්ධාර්ථ ඔය කයට දුක දෙන ව්‍රතය අතහරින්න. ඔබට තව දින හතකින් සක්විති සැපත ලැබේ යැයි කී විට, සිදුහත් තවුසා කීවේ ‘පාපි මාරය, ඔබ මට කරදර නොකර යන්නත් මාගේ සම් මස් වියැළේවා ඇට නහර ශේෂ වේවා. එහෙත් මේ කෙලෙස් සටන අත් නො හරිමි” යනුවෙනි. එහි අමරණීය ප්‍රතිඵලය වූයේ පස්මරුන් දිනා ලොව්තුරා බුදුබව ලැබීමයි.උත්සාහයෙන් අප්‍රමාදී ව කටයුතු කොට මඝමාණවක කුමරුවා දෙව්ලොව දෙව්සිරි ලැබු බව“අප්පමාදෙන මගවා දෙවානං සෙට්ඨංත ගතෝ” යන්නෙන් පහදා දෙයි.මේ අනුව බලන විට දෙව් මිනිස් නිවන් යන ත්‍රිවාර්ගික සැප සම්පත් වල මූල බීජය වූයේ කම්මැළිකම නැතිකමයි. උට්ඨාන වීර්යයයි.

තාක්ෂණ ඤාණය උපයෝගි කරගෙන මිනිසා දියුණුවේ නව මං සොයන යුගයකයි අප ජීවත්වන්නේ. ඇතැමුන් ස්ත්‍රි පුරුෂ භේදයන් නොතකා රෑ දාවල් නො බලා උත්සාහයෙන් කටයුතු කොට ප්‍රබෝධවත් ජීවිත ගත කරන අතර ඇතැමෙක් කම්මැලි ඔතෑනිකමින් මිරිකී, හීන දීන වී සමාජයෙන් කොන් වී ප්‍රපාතයට ඇද වැටෙති. මොවුහු අත පය නො සොල්වා සියලු සම්පත් පිනට පහළ වන තුරු දෛවයට හෝ කර්මයට තම ජීවිතය බාර දී අතන මෙතන කඩපිල් ගානේ ලගිමින් පාලම් බෝක්කු උඩ කාලය මගහරමින් දුක සේ ලත් ජීවිතය කාලකන්නි කර ගනිති. ප්‍රමුදිත වූ වීර්යයක් නැතිව දෛවය හෝ කර්මය ක්‍රියාත්මක නොවන බව බුදුසමයෙන් මෙන්ම ‘දෛවං නිහත්‍ය කුරු පෞරුෂ මාත්ම ශක්ත්‍යා’ යන පඤ්චතන්ත්‍ර පාඨයෙන්ද ඒ බව සනාථ කරයි. කම්මැළි මිනිස්සු මාගේ දෛවය මාගේ කර්මය කියමින් සියල්ල දෛවයටත්, කර්මයටත් පවරති. එහෙත් මේවාට වහල් නොවී ආත්ම විශ්වාසයක් ඇති ව උත්සාහයෙන් කටයතු කරන්නේ නම් කර්මය වුවත් වෙනස් කළ හැකිය. උත්සාහවන්තයා ජයගනී. ලැබු මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙළීමට මෙලොව පරලොව ජය ලැබීමට නිවන් සැප ලැබීමට, කම්මැළිකම,අලසකම දුරුකොට ආත්ම විශ්වාසයෙන් හා නො පසුබස්නා වීර්යයෙන් කටයුතු කොට දෙලොව දියුණූව සලසා ගත යුතුය.

‘මෙහි දැක්වු කරුණු හැකි තරමින් ජීවිතයට සම්බන්ධ කර ගත්තොත් අපට පුළුවනි. නිරෝගීව ජීවත් වන්න. ශීලය වශයෙන් යටත් පිරිසෙයින් පන්සිල් වත් රකින්න පුළුවනි.දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට සලකන්න පුළුවනි. හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවනි. දැහැමි ජීවිතයක් ගත කරන්න පුළුවනි. කම්මැලි නැතිව අපේක්ෂිත දියුණුව සලසා ගන්නට පුළුවනි.

ඉතිරි කොටස මැදින් අමාවක පෝදා (මාර්තු 20) පත්‍රයේ