UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි ගිහි දිවියයි –02 සදහම් මඟ පුද්ගල ජීවිතයට සම්බන්ධ වන්නේ කුමන අයුරකින්ද ?

බුදු දහමයි ගිහි දිවියයි –02

සදහම් මඟ පුද්ගල ජීවිතයට සම්බන්ධ වන්නේ කුමන අයුරකින්ද ?

(ශාසනික සම්ප්‍රදායෙහි උපාසක උපාසිකාවන් සතු කාර්යයන් සම්බන්ධව මුල් ලිපියෙහි (නවම් අව අටවක පෝදා අපි සාකච්ඡා කළෙමු. මේ එහි ඉතිරි කොටසයි)

සදහම් මඟ පුද්ගල ජීවිතයට සම්බන්ධ වන්නේ කුමන අයුරකින් ද? යන වග මූලික වශයෙන් වටහාගෙන සිටිය යුතුය. අලගද්දූපම සූත්‍රයේ එන පහත ධර්ම පාඨයෙන් කියවෙන්නේ ශාසනයේ ලාබාලම පුද්ගලයෙකු පිළිබඳවයි. යෙ තෙ භික්ඛු ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සබ්බේ තෙ සම්බෝධිපරායනා” මෙහි භික්ෂු පිරිස පිළිබඳ සඳහන් වන නමුත් ගිහිපිරිස ගැන නැති බැවින් “සද්ධානුසාරි” බව හා “ධම්මානුසාරී” බව පැවිද්දන්ට පමණක් ඇති කර ගත හැකි විශේෂත්වයක් ලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන.

මේ සඳහා සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයේ සරකානි සූත්‍රය වැදගත් වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරි පුද්ගලයන්ගෙන් පටන්ගෙන රහතන් වහන්සේ දක්වා කරුණු ප්‍රකාශ කර ඇත. දිගු කලක් තිස්සේ තෙරුවන් සරණ ගොස් සිටි සරකානි දුගතිගාමි නොවන බව බුදුරදුන් එහි දී පවසති. අංගුත්තර නිකායේ මීගසාල සූත්‍රය අද්‍යතන යුගයේ මිනිසාට දහම් මඟට බැසීම සඳහා ඉතා වැදගත් වන සූත්‍රයකි. මීගසාලා උපාසිකාවගේ නිවසට ආනන්ද ස්වාමින් වහන්සේ වැඩම කළ අවස්ථාවක ඇය විසින් උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් මෙහි ඇතුළත්ව ඇත. ස්වාමීනි, පුරාණ යනු මගේ පියා ය, ඔහු මිය යන විට ගත කරමින් සිටියේ බ්‍රහ්මචාරි ජීවිතයකි. මාගේ පියා මියගිය පසු බුදුරදුන් ඔහු සකෘදාගාමී අයකු ලෙසත් තුසීත කායිකව උපත ලබා තිබෙන බවත් පැවසූහ. මෙයින් පසුව මාගේ සුළු පියා ද මිය ගියේය. “ඉසි දත්ත” නම් ඔහු ගත කරමින් සිටියේ කාමභෝගී ජීවිතයකි. (කාමභෝගී) හෝ බඹසර වසමින් සිටියෙක් නොවේ’. (අබ්‍රහ්මචාරි) ස්වකීය බිරිඳ හා සතුටු වෙමින් සිටි අයෙකි, (සදාරසන්තුට්ඨි) ඔහු මියගිය පසුද බුදුරජාණන් වහන්සේ ඔහු සකෘදාගාමී පුද්ගලයෙකු බවත් තුසීත කායිකව උපත ලබා ඇති බවත් වදාළහ. මෙසේ මේ දෙදෙනා ස්වරූප දෙකකට ජීවත්ව තිබියදී සකෘදාගාමි බව මේ දෙදෙනාට ම සමාන කොට වදාළේ ඇයි දැයි මීගසාලා උපාසිකාව අනඳ හිමියන් වෙතින් විචාළාය.

මීගසාලා උපාසිකාව විසින් අසනු ලැබූ මේ ප්‍රශ්නය තථාගතයන් වහන්සේ විසින්ම විසඳිය යුතු කරුණක් වන බැවින් මෙය යොමු කරන ලදී. මෙහි දී වැදගත් වන්නේ බඹසර විසුවාද? නැද්ද? යන්න නොව සදහම් ඇසීමත් සම්‍යග්දෘෂ්ටි වීමත් සද්ධර්ම මනසිකාරයෙන් පී‍්‍රති ප්‍රමෝදයට පැමිණීමත් බව උන්වහන්සේ වදාළහ. ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥාව යන මෙකී ගුණාංගයන්ගෙන් සමන්විත වු තෙමේ පහත සඳහන් විශේෂතාවන්ට හිමිකම් කීමට සුදුසු වේ.

1.අගන්තා නිරයං – එවෙනි කෙනෙක් නිරයගාමී නොවේ

2. අගන්තා පෙත්ති විසයං – එවෙනි කෙනෙක් පේ‍්‍රත ආත්මභාවයට පත් නොවේ

3. අගන්තා තිරච්ඡානයෝනිං – එවෙනි කෙනෙක් තිරිසන් බවට පත් නොවේ

4. අගන්තා අපාය දුග්ගතිං විනිපාතං – එවෙනි කෙනෙක් දුගතිගාමී නොවේ’. සැපයෙන් පිරිහීමක් නොවේ.

සාමාන්‍යයෙන් පොදුවේ මිනිස්සු කල්පනා කරන්නේ “අපි ඉතිං පෘථග්ජනඅයනේ, පුළු පුළුවන් හැටියට පිනක් දහමක් කරගන්න එකයි ඇත්තේ. මැරුණම මොන විදියෙන් උපත ලබයිද කවුද? දන්නේ “ යනුවෙන් මෙවැනි මුසාවන් කියනු අප අසා ඇත්තෙමු. එවැනි සංකල්පනා ඇති වීමට හේතුව වන්නේ ධර්මය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමයි. ධර්මය නිවැරදිව අල්ලා ගැනීමට නොහැකි වීමයි. අලගද්දූපම සූත්‍රයෙන් පෙන්වන්නේ මෙයයි.

සාරවත් යුගදිවිය

ලෞකික ජීවිතය යනු විවිධ අංගෝපාංග රැසක එකමුතුවයි. සමාජ, සංස්කෘතික, දේශපාලන ආදී විවිධාංග අතර සාර්ථකමත් යුග දිවියක් හිමිවීමද ඉතා වැදගත් වූවකි. මේ අනුව යුග ජීවිතය මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා පවතින වග කිවයුතු සම්බන්ධතාවයකි. මෙකී සම්බන්ධතාවය ඉතාමත් අවබෝධයෙන් යුතුව සිදුකිරීමට නොහැකි වුවහොත් යුග ජීවිතය දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇත. වර්තමාන සමාජය තුළ බොහී විට අද අපට අසන්නට දකින්නට ලැබෙන සිද්ධීන් දෙස විමසුම් ඇසින් බලන කල මේ බව මනාව තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. ස්වාමි භාර්යා දෙදෙනාගේ විශ්වසනීයත්වය,අවංකත්වය ආදී ගුණාංගයන්ගෙන් සමන්විත නොවීම මෙයට බලපානු ලබන මූලික කාරණා වේ.ආර්ථික කළමනාකරණය , විවිධ සමාජ සම්බන්ධතාවයන් ආදී දෑ මගින් ගැටුම් නිර්මාණය වීම, නිර්මාණය කිරීම නිසාවෙන් බොහෝවිට මෙම විවාහ ජීවිත දෙදරායාමට ඉවහල් වේ. මේ තත්ත්වය මඟහරවා ගනිමින් යහපත් යුග දිවියක් ගත කරන අයුරු බුදුරදුන් මනාවට පෙන්වා වදාළහ. යුග ජිවිතය පවත්වන අයට ධර්මානුකූල වටිනාකමක් ලබා දීම ඉතාම වැදගත්ය. එවැනි වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වුවහොත් යුග ජීවිතය අවුල් වී යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව දත යුතුය. එයට ධර්මානුකූල වටිනාකමක් දීමෙන් එය විනාශය කරා නොයන අර්ථවත් දෙයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනු ඇත. යුග ජිවිතයේ ඇති කම්කටොළු පවසමින් බුදුරදුන් වෙත පැමිණි ඇතැම් අය “ස්වාමීනි, අපට දෙලොව වැඩ සැලසෙනු පිණිස සුදුසු ධර්මයක් දේශනා කරන්න” යනුවෙන් ඉල්ලා සිටිය හ. එසේම ඔවුන් ගතකරන ජීවිතය සම්බන්ධව ද මෙහි සඳහන් කර ඇත. 1.මයං භන්තේ ගිහි කාමභෝගී – ස්වාමීනි අප කාමභෝගී ජීවිත ගත කරන ගිහි උදවිය වෙමු .

2.පුත්ත සම්බාධ සයනං අජ්ඣාවසාමා – දරුවන් නිසා බාධක වු සයනයක නිදන අය වෙමු.

3.කාසික චන්දනං පච්චනුභෝහ – කසී රටින් ගෙනා සඳුන් පරිහරණය කරන අය වෙමු.

4.මාලා ගන්ධ විලේපනං ධාරයාම – මල්ගඳ විලවුන් ආදිය දරන අය වෙමු.

5. ජාත රූප රජතං සාදියාම – රන් රිදී පරිහරණය කරන ගනුදෙනුකාර ලෝකයේ ජීවත් වෙමු.

“අපගේ කාමභෝගි ජීවිතයේ ස්වරූපය මෙයයි. මේ ස්වරූපය පැවැත්වීම අපගේ කැමැත්තයි. එසේ කැමති වන අපට දෙලොව වැඩ සැලසෙන ධර්මයක් දේශනා කරන්නයි” ඔවුහු ඉල්ලා සිටිති.

මතු සම්බන්ධයි


බුදුදහමයි ගිහි දිවිය යි - ගෘහස්ථ ජීවිතය සම්බන්ධ බෞද්ධ ආකල්පය

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]