UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක් හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ලේක් හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා, පියදාස සිරිසේන, එෆ්.ආර්.සේනානායක, ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක හා එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක වැනි දේශමාමකයින් හා දේශයේ නිදහස වෙනුවෙන් ඇප කැප වූ තවත් මහා ප්‍රාඥයෙක් මෙන්ම දේශයේ මුද්‍රිත සන්නිවේදනයේ මහ ගෙදර වූ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ආදි කර්තෘවරයා වූ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමන් පිළිබඳව අප දැන ගත්තේ පාසල් වියේ දී පටන් ය. “සිළුමිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයෙකු වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංක මහතා ඩී.ආර්. විජේවර්ධන මහතා ගැන මෙසේ සඳහන් කර තිබේ.

“ඔහු බලවේගයක් විය. ආත්ම විනය, ආත්ම විශ්වාසය, ආත්ම බලය යහගුණ එක්වීමෙන් සැදුණ මූර්තියක් විය. අධ්‍යාපනයත්, පළපුරුද්දත් එක්වීමෙන් සැදුණු විචාර බුද්ධියක් ඔහු සතු විය. රට ජාතිය ආගම පිළිබඳ කරුණුවලදී ඔහු ගත් තීරණ බොහෝ දුරට නිවැරැදි විය. සේවයට ළැදිකම තවත් ඔහු සතු වූවකි. ඔහු කළ කවර කටයුත්තක් වුවත් ඉතාම සාර්ථක වූයේත් ඔහු විසින් අනෙකෙකුගෙන් සිදු නොවූ තරම් උදාර සේවයක් තම රටට කළ හැකි වූයේත් ඔහු තුළ වූ මෙම ගතිගුණ නිසාය. (ඩී.ආර්. විජයවර්ධන මහතා බෞද්ධ අයිතිවාසිකම් රැක්ක හැටි, පියසේන නිශ්ශංක, සිළුමිණ – 1962 – ජූනි 17)

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ ඩී.ආර්. විජයවර්ධන මහතා ජීවත්ව සිටියදීය. ස්වකීය මාතෘභූමියට මෙම ලාභය සිද්ධකර ගැනීම සඳහා විජයවර්ධන මහතා උදාර අධ්‍යාශයකින්ද ස්ථිර අධිෂ්ඨානයකින්ද ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ සද්පුරුෂයෙකු වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ අපට ඩී.ආර්. විජයවර්ධන මහතා නමින් නම් කළ ඉතා සුවිශාල ශිෂ්‍ය නිවාසයෙහි නේවාසිකව ඉගෙනීම අවස්ථාව සැලසුණි. ඩී.ආර්. විජයවර්ධන, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු අරුණාචලම් වැනි වීරවරයින් සිහිපත් කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර නම් කර තිබුණි. ඩී.ආර්. විජයවර්ධන මහතා මෙම පුවත්පත් ආයතනය පිහිටුවීමෙන් පසුව එතුමාගේ අරමුණ පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.

ප්‍රවෘත්ති පත්‍රයක බලය එහි සෛවරීයත්වය නිසා ඇති වන්නකි. ප්‍රවෘත්ති පත්‍රයක් මුදල් අතින් මෙන්ම අනික් අතින් ද පුද්ගලයන්ගෙන් හෝ දේශපාලන පක්ෂයන්ගෙන් හෝ නඩත්තුව බලාපොරොත්තුවන්ට වුවහොත් අනුන් වයන තාලයට අනුව නටනා කෙනෙකු මෙන් ඔවුන් කියන සැටියට ඒ පත්‍රය පත්වන්නට සිදු වන්නේ ය. ධෛර්යය සම්පන්නව නිවැරැදි විනිශ්චයෙහි පිහිටා හිතවත්ව සේවය කිරීමට නම් මහජන සේවය පිළිබඳ බැඳීම හැර අන් හිරිහැර කරදරවලට හේතුවන බැඳීම්වලින් පත්‍රයක් නිදහස්ව තැබිය යුතු ය.

(ලේක් හවුස් මන්දිරයෙන් පළවන පුවත්පත් සඟරා, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, ඩී.ආර්. විජයවර්ධන, සිළුමිණ 1938 දෙසැම්බර් – 04 )

ඉහත සඳහන් ලෙසින් ඩී.ආර්. විජයවර්ධන මහතා සිය පුවත්පත්වලින් ජාතික නිදහස ප්‍රමුඛත්වයෙහිලා සැලකූ අන්දම පමණක් නොව එවක පැවැති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතු නොවී හිස කෙළින් තබා ගෙන ක්‍රියා කිරීමට ශක්තියක් ඇති බව ක්‍රියාවෙන්ම හෙළි කළේ ය.

බ්‍රිතාන්‍ය පාලනය විසින් 1948 පෙර කාලයේ දී තම පුවත් පත් වලට රජයේ දැන්වීම් නොදීම සඳහා ගෙන ගිය ව්‍යාපාරය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක් වූ කරුණකි.

ඩොනමෝර් සාමිවරයාගේ සභාපතිත්වයෙන් යුක්ත වූ කොමිසමක් 1927 දී පත් කරන ලද්දේ ලංකාවේ පැවති ආණ්ඩු ක්‍රමය පිළිබඳව සොයා බැලීමටත්, ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමයක් යෝජනා කිරීමත් සඳහා ය. ලංකාවේ එවක පැවැති ආණ්ඩුක්‍රමයේ තිබූ දුර්වලතා සොයා බැලීම පිණිස ලංකාවේ විවිධ පුද්ගලයන්ගෙන් සාක්ෂි ද කැඳවනු ලැබීය. ඩොනමෝර් කොමිසම එවක බ්‍රිතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයා විසින් පත් කර එවන ලද්දකි. 1927 සිට 1928 දක්වා ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගොස් කරුණු සොයා බලා කොමිසමේ සාමාජිකයෝ 1928 දී සියවාර්තාව ඉදිරිපත් කළහ. සර්වජන ඡන්දබලය යෝජනා කරන ලද්දේ ඩොනමෝර් කොමිසම විසිනි. කෙසේ වුවද, ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව සර්වජන ඡන්ද බලය පැවරීම නිසා ලංකාවේ ජාතික බලවේගයක් උදා වූයේ ය. මෙයින් සාමාන්‍ය ජනතාවට ඡන්ද බලය ලැබීම නිසා දේශපාලනය පිළිබඳ අවබෝධයක් ද ඇති වූයේ ය. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය - ඩොනමෝර් කොමිසම හා සර්වජන ඡන්දබලය) සිරිසමන් විජේතුංග පි. 207 (2014)

මේ ජනතාවට නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා උපකාරී වූයේ ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද පුවත්පත් නිසා බව මෙහිදී සඳහන් කළයුතුව ඇත. 1909 දී ඒ වන විටත් දිනමිණ පුවත්පත ආරම්භ කර තිබුණි. එයින් සිංහල ජනතාවට සිය නිදහස පිළිබඳ අවබෝධයක් ලබා දුන් අතර ඩේලිනිවුස් පුවත් පත ඇරඹීමත් 1923 දී ඔබ්සවර් පත්‍රය මිලදී ගැනීමත් සිංහල පාඨකයින් සඳහා සිළුමිණ ආරම්භ කිරීමත් නිසා දේශීය නිදහස් ජනතා චින්තනය පුබුදු කිරීමෙහිලා ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් ඉටු කරන ලද මෙහෙය පුවත්පතින් ජාතික නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන ක්‍රමයට එල්ල කරන ලද නිර්දය විවේචන මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

එච්.ඒ.ජේ. හුළුගල්ල මහතා විසින් ඩී.ආර්. විජයවර්ධන චරිතාපදානය නම් ග්‍රන්ථයෙහි මේ පිළිබඳව ඉතා දීර්ඝ ලෙසින් විස්තර කර ඇත.

ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පුවත්පත්වලින් ලංකාවේ නිදහස් පරිශ්‍රමයට රුකුල් ලැබුණු බවට සැකයක් නැත. එහෙත් සාර්ථක පුවත් පතක් තමාට ලැබෙන බලය ගැන ද ඔහු කරුණු වටහා ගත්තේ ය.ඒ අනුව එම බලය පාවිච්චි කිරීමට ද ඔහු මැලි නොවීය. පුවත්පත මඟින් ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගිය විට ඇතැම් අවස්ථාවලදී මහත් බාධක පවා මැඩගෙන ජයගත හැකි බව විජයවර්ධන මහතා තදින්ම විශ්වාස කළේ ය.

විජයවර්ධන මහතාගේ යුගයට අයත් ජනහිතකාමීන් උදාර පරමාර්ථ සඳහා ක්‍රියාකොට අන්තිමට ඒ බොහෝමයක් පරමාර්ථ සිද්ධකොට ගත් බව ඒ කාලය කෙරේ සිත් යොමු කරන කිසිවෙකුටත් අමතක නොකළ හැකිය. පාසල් අවධියේ පටන් ජීවිතාන්තය දක්වාම විජයවර්ධන මහතාගේ හිත මිත්‍රයෙකුව සිටි ඩී.ඇස්. සේනානායක මහතාගේ නායකත්වය යටතේ ලංකාවට ස්වරාජ්‍යය ලැබෙන විට අවුරුදු 30 අධික කාලයක් තිස්සේ විජයවර්ධන මහතා විසින් සිය පුවත්පත් මඟින් ඉදිරිපත් කරන ලද බොහෝ කරුණු රටේ මුල් බැස ගෙන තිබුණේ ය. එහි ප්‍රතිඵල වශයෙන් මෑතක නිදහස ලැබූ ආසියාවේ සහ අපි‍්‍රකාවේ බොහෝ රටවලට වඩා ලංකාව නිදහස් ආණ්ඩු ක්‍රමයක් යටතේ ඉදිරි ගමනකට සුදුසු තත්ත්වයක පැවැත්වෙයි. ස්වරාජ්‍යය ලැබෙන විට ලංකාවේ ජාතීන් අතර සමගිය බොහෝ දුරට තහවුරුව පැවතිණ. රට වැස්සෝ සාමයට හා නීතියට ගරු කළහ.

නිදහස ලැබීමෙන් නවෝත්පත්තියක් ලැබූ ජාතියක විය යුතු මේ ලක්ෂණ පුවත්පත් හිමියෙකුගේ වගකීම් ඇතිව විජයවර්ධන මහතා රටේ ඇති කිරීමට උත්සාහ කළ දේය. මහජන සේවයෙහි යෙදීමට විජයවර්ධන මහතා තුළ බලපෑමක් ඇති වූයේ ඔහු කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයෙහි උපාධි අපේක්ෂකයෙකු ලෙස උගන්නා කාලයේදීය. ඒ හැඟීමෙන් දිගටම වැඩ කරන්නට වූ ඔහුගේ ජීවිතයේ හොඳම කාලයද විවේකය ද ඒ මතු නොව සෞඛ්‍යය ද තම රටේ ජාතියේ සුබ සිද්ධියටත් රටේ නොතිබිය යුතු නොපනත්කම් වලට හා දූෂණ වැඩවලටත් විරුද්ධව සටන් කිරීමට කැප කළේ ය.

(ඩී.ආර්. විජයවර්ධන චරිතය – එච්.ඒ.ජේ. හුලුගල්ල සහ පී. නිශ්ශංක 1962 පළමුවන මුද්‍රණය පි. 165 – 166 )

විජයවර්ධන මහතාගේ ජීවිතයේ මුල් අවධිය අදට වඩා වෙනස් වූ යුගයකි. සැබවින්ම මේ රට විදේශ අධිරාජ්‍යයට යටත්ව 1505 සිට පැවති සමාජ ක්‍රමය බ්‍රිතාන්‍ය යුගය වන විට සම්පූර්ණ වශයෙන්ම එංගලන්තයේ යටත් විජිතභාර ලේකම්වරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරයෙකුගේ පාලනය යටතේ පැවතුණි. බොහෝ විට ඔව්හු අප රටේ සංස්කෘතිය හෝ මානව හදගැස්ම පිළිබඳ අංශුමාත්‍රයකවත් දැනුමක් ඒ ආණ්ඩුකාරයා යටතේ සේවය කළ ඉංගී‍්‍රසි පාලකයින්ට නොවීය.

මේ පිළිබඳව ඩී.ආර්.විජයවර්ධන චරිතාපදානය ග්‍රන්ථයට ප්‍රකාශකයින්ගේ සටහන යටතේ මෙසේ ලියා තිබූ අදහස් ඉතා වැදගත් වේ. ඒ මෙසේ ය.

“විජයවර්ධන මහතා රටේ පැවති මෙම තත්ත්වයේ අනර්ථකාරී භාවය අවබෝධ කළේ තමන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙකුව උගන්නා අවධියෙහිය. මෙම වහල් තත්ත්වයෙන් රටත් ජාතියක් මුදා ගැනීමට ඔහු ඇති කරගත් අධිෂ්ඨානයත් ඒ සඳහා ඔහු අනුගමනය කළ දූරදර්ශී වැඩපිළිවෙළත් ප්‍රත්‍යක්ෂ වන අයුරු සිය ජීවිතය ඔහු විසින් දැක්ක හැකි විය. අචල වාත්සල්‍යය ජන්ම දායාදය කොට ඇතිව සිටි ප්‍රතිපත්ති ගරුක බුද්ධිමත් දේශපාලනඥයෙකු හැටියටද ප්‍රබල පුවත්පත් හිමියෙකු හැටියට ද සිය රට අධිරාජ්‍ය වහල් බැම්මෙන් මුදා ගැනීමට මෙන්ම ජාතියේ නිවහල් සුඛී පැවැත්මට වුවමනා අවශේෂ අංගෝපාංග සකසා සමෘද්ධිමත් කිරීමටද විජයවර්ධන මහතා ගත් පරිශ්‍රමය මෙම ග්‍රන්ථයෙන් ද (ඩී.ආර්.විජයවර්ධන චරිතය 1962 ප්‍රකාශනයේ පැහැදිලි වේ.)

ලේක් හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 129 වන ජන්ම සමරුව මෙම මස 23 වන දාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී මෙම මස 22 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 23 වන දා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]