UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පමණ දැන ආහාර ගැනීම

පමණ දැන ආහාර ගැනීම

තමන්ගේ කුසට සරිලන පමණ ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයන්ද රාශියක් ඇත. ලෙඩ රෝගවලින් වැළකීමට හැකිවීම, මානසික සන්තුෂ්ඨිය හා නිරෝගිකම , සැහැල්ලු ගති පැවතුම්, ඇතිව විසීමට හැකිවීම, ආර්ථික පහසුව ඇතිවීම ආදිය ඒ අතර ප්‍රධාන කරුණු සේ සැලකිය හැකිය. මේ කරුණු ගිහි පැවිදි භේදයකින් තොරව අනුගමනය කිරීමට පෙළඹීම දෙලොව වැඩදායී පිණිස හේතු වේ. අධික ලෙස ආහාර ගැනීමෙන් අධිපෝෂණය සිදු වී දරුණු ගණයේ රෝග ඇතිවීමට හේතු නොවන්නේද?

පණ ඇති සැම දෙනාගේම ජීවිත රඳා පවතින්නේ ආහාර මතයි. ජීවිතය පවත්වාගැනීම පිණිස අපි ආහාර අනුභව කරමු. බුදුදහමේ නිර්වාණය සඳහා බොහෝ සෙයින් ධර්මකාරණා අන්තර්ගතව ඇති අතර පුද්ගල මෙලොව ජීවිතයේද ක්‍රියා කළ යුතු අන්දම දේශනා කර ඇත. ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා නිරෝගි බව අවැසි කරුණකි. එනම් ආහාර ගැනීමේදි නිරෝගි බව කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කළ යුතුය.

මෙහිදී බෞද්ධ උපදේශය වන්නේ මත්තඤ්ඤුතාව හෙවත් පමණ දැන ආහාර ගැනීම කළ යුතු බවයි. අධික ලෙස ආහාර නොගෙන කුසට සරිලන සේ ගෙන ජලය පානය කරන ලෙස බුදුදහමේ උගන්වයි. ‘චත්තාරෝ පඤ්ච ආලෝපේ අභුත්වා උදකං පිචේ’ යනුවෙන් පෙන්වා දෙන්නේ ඉහත කරුණයි.

අධිකලෙස ආහාර ගැනීම කායිකව මෙන්ම මානසිකව උදාසීනත්වයට පත්කරන සාධකයක් මෙන්ම එය ලෞකික ජීවිතයේ දී හා ලෝකෝත්තර ජීවිතයේ සාර්ථකත්වයට අතිශයින්ම බාධකයක් වේ. වරෙක පසේනදී කොසොල් මහරජතුමා සෑහෙන පමණට වඩා ආහාර ගෙන බුදුන් හමුවට ගොස් අපහසුවෙන් හිඳගෙන සිටිනු දැක බුදුන් වහන්සේ දුන් අවවාදය නම් ‘මහරජ පමණ දැන ආහාර ගන්න. ඉන් නිරෝගී සුව ලැබෙනු ඇත. නිරෝගී බව පරම ලාභය වේ. “ යනුවෙනි. ආහාර ගැනීමේදී අප පිළිපැදිය යුතු අන්දම මෙසේ පෙන්වා දී ඇත.

තත්‍රවට්ටක – ආහාර ගෙන එතැනම වැටී සිටීමට සිදුවන සේ වැඩිපුර ආහාර නොගැනීම

අලංසාවක –ඇඳුම් බුරුල් කිරීමට හේතුවන තරමින් ආහාර නොගැනීම

භුක්තවමිතක ගත් ආහාර වමාරා දැමීමට තරමින් ආහාර නොගැනීම

කාකමාසක කපුටෙකු මෙන් නිරන්තරව ආහාර ගැනීමෙන් වැළකීම

මේ අනුව අපට පැහැදිලි වන්නේ ආහාර අනුභව කිරීමේදීද අප බෞද්ධ පිළිවෙත අනුගමනය කළ යුතු බවයි. ආහාර ගැනීමේ අවස්ථාවේදි වුව ඉතා හොඳින් අන්‍යයන්ට අපි‍්‍රය නූපදවන අයුරින් එය ගත යුතුය. සේඛියා චර්යා ධර්මවල එන

න සුරු සුරු කාරකං භුඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා
න චපු චපු කාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීය
න හත්ථ නිල්ලේහකං භුඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා න පත්ත නිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා

කරණීයා යන අවස්ථාවන් අපට අතිශයින්ම වැදගත් වේ. මුලින්ම පෙන්වා දී ඇති කරුණ නම් “සුරු සුරු” යන හඬ ඇතිවන සේ ආහාර ගන්නේ නම් එයින් වැළකී ආහාර

ගැනීමයි. ආහාර ගැනීම ද ඉතා සිහි බුද්ධියෙන් යුතුව කළ යුතු කාර්යයකි. එය සැබවින්ම භාවනාවක් හා සමානය. එසේ නොවන්නේ නම් මුලින් සඳහන් කළ පරිදි නොදැනුවත්ව තමන්ගේ කුසට සරිලන ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගැනේ. “චපු චපු කාරකං” යනුවෙන් පෙන්වා දී ඇත්තේ එලෙස වු හඬ ඇසෙන පරිද්දෙන් ආහාර නොගත යුතු බවයි. තුන්වැනි හා සිව්වැනි කරුණුවලින් පෙන්වා දෙන්නේ අත හා පිඟාන ලෙව කෑමෙන් තොරව ආහාර නොගත යුතු බවයි. මේ චාරිත්‍ර අන්‍යයන්ගේ ප්‍රසාදය පිණිස හේතුවන්නේය.

තමන්ගේ කුසට සරිලන පමණ ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයන්ද රාශියක් ඇත.

ලෙඩ රෝගවලින් වැළකීමට හැකිවීම, මානසික සන්තුෂ්ඨිය හා නිරෝගිකම , සැහැල්ලු ගති පැවතුම්, ඇතිව විසීමට හැකිවීම, ආර්ථික පහසුව ඇතිවීම ආදිය ඒ අතර ප්‍රධාන කරුණු සේ සැලකිය හැකිය. මේ කරුණු ගිහි පැවිදි භේදයකින් තොරව අනුගමනය කිරීමට පෙළඹීම දෙලොව වැඩදායි පිණිස හේතු වේ.

අධික ලෙස ආහාර ගැනීමෙන් අධිපෝෂණය සිදු වී දරුණු ගණයේ රෝග ඇතිවීමටහේතු නොවන්නේද. සමහර පිරිස් මේ පිළිබඳ නොදැනුම්වත් වී අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන අයුරු මෙරට පමණක් නොව විදෙස් රටවලින්ද අසන්නට දකින්නට ලැබේ. මේ නිසා ඉතා සැලකිල්ලෙන් ආහාර අනුභවය තුළින් සියලු පීඩා වළක්වා ගත හැකිය.

තවද සරල ආහාර වේලක් ගැනීමට හුරුවීම සරල ජීවිත පැවැත්මකට යොමුවීමට මඟ පෑදෙනු ඇත. එයින් අඩු අපේක්ෂා,අවශ්‍යතා ඇත්තෙකු බවට පත්වීමට මූල බිජය සැපයේ. කරණීයමෙත්ත සූත්‍රයේ එන සුභරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කිරීමට හැකි පුද්ගලයෙකු වන්නේ මේ පිළිවෙත් අනුගමනය කිරීම තුළිනි. ඒ තුළින් ආර්ථික අපහසුතා ද මඟහරවා ගැනීමට හැකියාව උදාවේ. විටෙක විශාල මුදලක් ඉතිරි කර ගැනීමටද හැකියාව උදාවේ. සුඛෝපභෝගී ආහාර ගැනීම ශරීර සෞඛ්‍යයටද හානිකර වන අතර එසේනොවි සිටීමට කටයුතු කිරිම මුදල් ඉතිරි කරගැනීමටද හේතුවේ.

ආහාර අධිකව ගැනීම නිසා ශරීරය ස්ථුල වන අතර මෙය කායිකවත් මානසිකවත් බලපෑමක් කරනු නියතය. මේ අනුව ගිහි ජීවිතයේ සතුට, සැනසුම, සැහැල්ලුව චාම් බව ඇති කරගැනීම පිණිස ආහාර පරිභෝජනයේ බෞද්ධ පිළිවෙත අනුගමනය කිරීම අතිශය වැදගත් බව අවබෝධ කරගත හැකිය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]