Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 25

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 25

බුදුරජාණන් වහන්සේ දෙවන වර කපිලවත්ථු නුවරට වැඩම කර නිග්‍රෝධාරාමයේ වැඩ සිටින අතර ශාක්‍ය කෝලිය දෙවංශයෙහි නායකයෝ රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමට යුද්ධ ප්‍රකාශ කර සිටියහ. ශාක්‍යවරු සහ කෝලියවරු තම වගා කටයුතුවලට ජලය ලබාගැනීම පිණිස ගඟ හරහා වේල්ලක් බැඳ අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවී ගී‍්‍රෂ්ම කාලයේ ජලය ලබා ගැනීමට ගිය දෙවංශයේ කම්කරුවන් අතර සුළු ආරවුලක් ඇතිවිය. ශාක්‍ය වංශයේ කම්කරුවෝ කපිලවත්ථු නුවර ගොවිතැන්වල අස්වැන්න නෙළා ගැනීමට ආසන්න නිසා ජලය එම ප්‍රදේශයට අවශ්‍ය බව දැන්වූහ.

කෝලිය වංශයේ කම්කරුවෝ තමන්ගේ අස්වැන්නත් නෙළා ගැනීමට ආසන්නව ඇති නිසා තමන්ට ජලය අවශ්‍ය බව කියා අපට තව එක්වරක් නදියේ තිබෙන ජලය ප්‍රමාණය ලබාදුනහොත් එයින් අපගේ වගාවන් පැසී අස්වැන්න නෙළාගත හැකි බව ප්‍රකාශ කළහ.

ශාක්‍ය කම්කරුවෝද “ඔබලාගේ අස්වැන්න නෙළාගෙන ගබඩා පුරවාගත්තාට පසුව අපේ ගබඩා ධාන්‍යයෙන් හිස්වෙයි. අපට කිසිවක් නැත. අපටත් ගඟේ තිබෙන ඔය ජලය එකවරක් ලැබුණොත් අස්වැන්න නෙළාගත හැකියයි. ප්‍රකාශ කළහ. ජලය අපට අවශ්‍යය. ඔබලාට ජලය දෙන්නේ නැත. ජලය අපට අවශ්‍යය. ඔබලාට ජලය දෙන්නේ නැත යනුවෙන් දෙපක්ෂයේ කම්කරුවෝ කීහ. දෙපක්ෂයේම අදහස වූයේ ජලය තමනටම ලබා ගැනීමය.

මෙම කථාව කම්කරුවන් අතර රළුවී ගියහ. කෝලිය කම්කරුවෝ ශාක්‍ය කම්කරුවන්ට ඇනුම් කියන්නට වූයෙන් ආපසු යන ලෙස දැන්වූහ. අපි ශාක්‍යයන් සමඟ ඇත්, අස් හමුදා සහිතව යුද්ධ කිරීමට සූදානම්.

එය ඇසූ ශාක්‍ය කම්කරුවෝ ඔබලාත්, දරුවන් අරගෙන ආපු පළාතකට යනු, කෝලියයයෝ ජීවත්වන්නේ පහත් අයුරින් අපිත් සූදානම් යුද කිරීමට.

මෙම රජපවුල් දෙකෙහි උපත ගැන කියූ උපහාස අමාත්‍යවරුන් මගින් ශාක්‍ය කෝලිය, රාජ්‍ය නායකයින්ට දැන ගන්නට ලැබුණි. ශාක්‍ය නායකයින් යුද ඇඳුම් ඇඳ අවි ආයුධ අතට ගෙන සේනාව සමග පැමිණ අපේ ශක්තිය පෙන්වන්නෙමුයි. යුද්ධ ප්‍රකාශ කළහ.

කෝලිය රාජ්‍ය නායකයෝද යුද ඇඳුම් ඇඳ අවි ආයුධ අතට ගෙන සේනාව සමඟ පැමිණ ශක්තිය පෙන්වන්නෙමුයි ප්‍රකාශ කර යුද්ධ කිරීමට ඉදිරියට පැමිණියහ. මේ නදියේ ජලය බෙදා ගැනීමට ශාක්‍ය කෝලිය දෙපිරිස අතර ඇති අරගලය කාලාන්තරයක් තිස්සේ පැවත විත් උත්සන්න වූ මොහොතකි මේ.

බුදුරජාණන් වහන්සේ ලෝපතල මහා කරුණාවෙන් උදෑසන ලොව දෙස බලද්දී තම නෑදෑයින් සටන් වදින බව දැන මෙසේ සිතීය.

යුදපිටිය තරම් මගේ සේවය අවශ්‍ය වෙනත් බිමක් නොමැත. මා එහි නොගිය හොත් මේ අය එකිනෙකා නැතිකර ගැනීමට ඉඩ ඇත. ඔවුන් අතරට යාම මාගේ යුතුකම යයි සලකා බුදුරජාණන් වහන්සේ එහි ඍද්ධියෙන් වැඩම කොට දෙපිරිසට මැදිවනසේ ගඟ මැද වැඩසිටි සේක. මෙය දුටු ශාක්‍ය, කෝලිය ඤාති පිරිස අමෝරා ගත් අවි සියල්ලම ඉවතට දමා නමස්කාර කළහ. උන්වහන්සේ මෙසේ විචාළේය.

මහරජ මේ යුද්ධය කුමක් නිසාද?

අපි නොදනිමු, ස්වාමීනි

එසේ නම් කවුරු දනිත්ද?

හමුදාවේ ප්‍රධාන අණදෙන සේනාධිපති දැන ගත යුතුය

හමුදාවේ සේනාධිපතිගෙන් විමසූවිට දෙවන හමුදා සේනාපති දනු ඇතැයි ඔහු පැවසීය.

මේ අන්දමින් උන්වහන්සේ එකිනෙකාගෙන් ප්‍රශ්න කර අන්තිමට නව වෙනියා වන කම්කරුවන්ගෙන් ඇසූ සේක.

ස්වාමීනි, මෙය රෝහිණී නදියේ ජලය බෙදාගැනීමට ගොස් ඇති වූ යුද්ධයක් යයි ඔවුහු පැවසූහ.

එවිට බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් මෙසේ ප්‍රශ්න කළහ.

ජලයේ වටිනාකම කොපමණද? මහරජ,

ස්වාමීනි, ඉතා සුළුය

යුද්ධ භටයෙකුගේ වටිනාකම කොපමණද?

ස්වාමීනි, යුද භටයෙකුගේ වටිනාකම මිල කළ නොහැකිය.

ඔබලාට වැදගත් වන්නේ ජලයද?

රජතුමනි, සුළු වටිනාකමක් ඇති ජලය ස්වල්පයක් නිසා මිල කළ නොහැකි යුද භටයිින් මැරීම නුසුදුසුය. ලේ හලා ගැනීම නුසුදුසුය. සියලු දෙන නිහඬව සිටියහ. මා මෙහි නොපැමිණියා නම් ඔබ සියල්ලෝම ලේ ගංගාවක් ගලා යාමට ඉඩ සලස්වනු ඇත. මේ කටයුතු නිශ්ඵලය.බුදුරජාණන් වහන්සේ සමගියේ ආනිසංසත් මේ අවස්ථාවේ වදාළ බව ධම්මපදට්ඨ කථාවේ සුඛවග්ගේ 197- 198 ගාථාවලින් පැහැදිලිය.

මේ දෙපිරිසගේ වෛරය සංසිදවීම පිණිස අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළ සේක.

වෛර කිරීමේ දොස් හා සමගියේ ආනිසංස සඳහන් වන එන්දන ජාතකය දද්දභ ජාතකය ,ලටුකික ජාතකය, වට්ටක ජාතකය, දේශනා කර දෙපිරිස සමගි කරවූහ. දෙපිරිසම සමගිව බුදුරජාණන් වහන්සේ මෙතැනට නොවැඩීයානම් අපි යුද්ධ කොට විශාල පිරිසක් මරණයට පත් වන්නෙමු. බුදුරජාණන් වහන්සේ නිසා අපගේ ජීවිත ආරක්ෂා වීයයි පැහැදී ශාක්‍ය වංශයෙන් දෙසිය පනස් දෙනෙක්ද කෝලිය වංශයෙන් දෙසිය පනස් දෙනෙක්ද වශයෙන්ද පන්සියයක් කුමාරවරු උන්වහන්සේට පිරිවර පිණිස දුන්හ. මේ කුමාරවරු පන්සියයම ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කළහ.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් සමග කපිලවත්ථු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කළ සේක. මේ අවදියේ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන් එම හිමිවරුන්ට සිවුරු හැර මාලිගාවට එන ලෙස නොයෙක් වර පණිවුඩ යැවූහ. භික්ෂූන් වහන්සේලා පැවිදි ජීවිතයෙහිම ගත කිරීමට කැමැත්ත පළ කළහ. නිග්‍රෝධාරාමයෙහිම බණ අසා මේ පන්සියයක් භික්ෂූන් වහන්සේ රහත් වූහ. පසුව පැමිණි උසභ, නිසභ, ගෞතම යන ශාක්‍ය කෝලිය කුමාරවරු තිදෙනාද පැවිදි වූහ.

මහා සමය සූත්‍ර දේශනාව

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කෝලිය දෙපිරිසෙන් පැවිදි වූ පන්සියක් රහතන් වහන්සේලා පිරිවරා ශාක්‍ය ජනපදයේ කපිලවත්ථු නුවර මහාවනයට (නිග්‍රෝධාරාමයට) වැඩම කළහ.අසිරිමත් වූ මේ සිද්ධිය දැකීමට දෙවියෝ රැස්වූහ. එම පිරිස හමුවේදී මෙම සූත්‍රය දේශනා කළ සේක. මෙම සූත්‍රයේ ඒ බව සඳහන් වේ.

මෙම සූත්‍ර දේශනාවට අනුව සුද්ධාවාස බඹ ලොව වසන දෙවිවරුන් සතර දෙනෙකුට මෙබඳු අදහසක් ඇතිවිය. මේ භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථු නුවර අසල මහා වනයේ සියලු දෙනා රහත්වූ පන්සියයක් භික්ෂූන් ගෙන් යුක්ත වූ මහත් භික්ෂු සංඝයා සමග වැඩ වසන සේක. දසදහසක් ලෝක ධාතුවලින්ද දෙවියෝ භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝ සෙයින් රැස්වූවෝ වෙත්, අපිදු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතනට එළඹෙන්නෙමු නම් එළඹ භාග්‍යවතුන් සමීපයෙහි එක එක ගාථාවන් කියන්නෙමු නම් ඉතා යහපතැයි සිතූහ.

ඉක්බිති ඒ දේවතාවෝ බලවත් වූ පුරුෂයෙක් හකුලවන ලද අතක් දිගුකරන්නේ යම් සේද දිගු කරන ලද අතක් හකුළු වන්නේ යම් සේද එපරිද්දෙන් සැණෙකින් සුද්ධාවස දෙවියන් අතුරෙන් අතුරු දන්වූවෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වූහ.

ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එකත් පසෙක සිටියාහුය. ඉන් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙම ගාථාව කීයේය.

මහා සමයෝ පවනස්මිං – දේවකායා සමාගතා
ආගතම්හ ඉමං ධම්ම සමයං – දක්ඛිතායේ අපරාජිත සංඝනති

මේ මහා වනයෙහි දිව්‍ය සමූහයා රැස්වූ මහා සමාගමකි. අපි කෙලෙසුන් ගෙන් නොපැරදුන මහා සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමයට පැමිණියෙමු.

තවත් කොටසක් නවම් අමාවක පොහෝදා පෙබරවාරි 18 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 24