Print this Article


දෙවියන්ට වදාළ සම්බුදු බණ 02 ආරණ්‍ය මුල්කොට වදාළ දෙසුම

දෙවියන්ට වදාළ සම්බුදු බණ 02

ආරණ්‍ය මුල්කොට වදාළ දෙසුම

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයේදී දෙවිවරුන් විසින් එක එක මාදිලියේ ප්‍රශ්න විමසුවා. විශිෂ්ඨ වූ සම්බුදු නුවණින් ඒ හැම ප්‍රශ්නයකටම අපගේ ශාස්තෘන් වහන්සේ මොහොතකින් ම පිළිතුරු දේශනා කොට වදාළා. අදත් අප ඉගෙන ගන්නේ දෙවි කෙනෙකුගේ ගැටළුවක් විසඳීමට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සුන්දර සම්බුදු බණ දෙසුමක්.

අපගේ ශාස්තෘන් වහන්සේත්, ඒ උතුම් ශ්‍රාවක සඟරුවනත් හුදෙකලාවේ වැඩ වාසය කිරීමට අතිශයින්ම පි‍්‍රය කළා. ඒ සඳහා බොහෝදුරට උන්වහන්සේලා යොදා ගත්තේ මිනිසුන් නිතර නො ගැවසෙන නිහඬ වනාන්තරයක්. එහෙමත් නැත්නම් සොඳුරු ගං තීරයක්. ඇතැම් විට පාළු සොහොන් බිමක්. මේ කොතැනක වුණත් කුසල් අරමුණක් තුළ සිත සමාධිගත කරගෙන සුවසේ හුදෙකලා විවේකයෙන් ගත කිරීමට උන්වහන්සේලා පි‍්‍රය කළා.

බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේලා හුදෙකලා විවේකය පිණිස නිතර නිතර වැඩම කරන එක්තරා වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරයේ බූමාටු දේවතාවෙක් වාසය කළා. උදෑසන වරුවේ පිණ්ඩපාතය කොට දිවා විහරණය පිණිස සන්සුන් ඉරියව් ඇති භික්ෂූන් වහන්සේලා මේ වන පියසට පැමිණෙන අයුරු මේ දෙවියා හැමදාම දකිනවා. උන්වහන්සේලා දානය වළඳන්නේ උදේ වරුවේ පමණයි. වැඩ වාසය කරන්නේ ඒ වනාන්තරයේම රුක් සෙවනක. රාත්‍රී සැතැපෙන්නේත් රුක් සෙවනේ ම යි. උන්වහන්සේලා පරිහරණය කරන්නේ තුන් සිවුර පමණයි. මල්, ගඳ සුවඳ විලවුන් ආදිය ඇඟ ගල්වන්නේත් නැහැ. ඒ වුණාට මේ භික්ෂූන් වහන්සේලා ප්‍රසන්න වූ ඉඳුරන්ගෙනුත්, බබලන ඡව් වර්ණයෙනුත් යුතුව පී‍්‍රතියෙන් වැඩ වාසය කරනවා.

මේ දෙවියා ඒ ගැන පුදුමයට පත්වුණා. මෙහෙම කල්පනා කළා. හරිම පුදුමයි. මේ කාමභෝගී උදවිය දවසට කිහිප වතාවක්ම අනුභව කරනවා. නොයෙකුත් පෝෂ්‍යදායී ආහාර සොය සොයා අනුභව කරනවා. නා නා ප්‍රකාර වස්ත්‍රාභරණ වලිනුත් සැරසෙනවා. සුවපහසු යහනාවල ඇතිරිලි පොරවාගෙන සයනය කරනවා. නොයෙකුත් විලවුන් වර්ග කය ගල්වා ගන්නවා. නමුත් ඒ කාමභෝගී උදවියට මේ භික්ෂූන්ට තරම් පැහැපත් ඉඳුරන් නැහැ නෙව. ඒ උදවිය මේ තරම් සතුටින් කල් ගෙවන්නේ නැහැ නෙව. ඒ උදවිය මේ තරම් ලස්සන නැහැ නෙව. මේකට හේතුව මොකක්ද?ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා සුදුසු කාලය බලලා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමා විසින් කරනූ සැවැත්නුවර ජේතවන විහාරයේ තමා වැඩ සිටියේ. භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි මේ දෙවියා ඒ මහා වීර බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව සිටගත්තා. එකත්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ගාථාවකින් මේ විදියට පැවසුවා.

ආරණ්‍යයේ වාසය කරමින් උදේ වරුවේ පමණක් දන් වළඳන ශාන්ත විහරණ තිබෙන මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හැඩරුව මෙතරම් ලස්සන මොකද?

මේ ලෝකයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් ජීවිතය දෙස බලන පිළිවෙළට වඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ජීවිතය දෙස බැලූ ආකාරය හාත්පසින් ම වෙනස් එකක්. සාමාන්‍ය ලෝකයාගේ කල්පනා රටාව බොහෝ වෙලාවට තමාටත් යහපත උදා කරන්නේ නැහැ. අනුන්ට යහපත උදා කරන්නේත් නැහැ. දෙපාර්ශවයට ම යහපත උදා කරන්නේත් නැහැ. ඒ නිසා ම සාමාන්‍ය ලෝ සතුන් ජීවිතය දෙස බලන පිළිවෙළ නිසා තමාත්, අන් අයත් පීඩාවට පත්වෙනවා.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් ජීවිතය දෙස බලන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළා පිළිවෙළට යි. බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන් ම දේශනා කළ ධර්ම අනුව කල්පනා කරද්දී ඒ කල්පනා රටාව තමාටත්, අන් අයටත් යන දෙපාර්ශවයටම යහපත ඇතිකර දෙනවා. සැප උදාකර දෙනවා. ඉතින් මේ දෙවියා අහපු ප්‍රශ්නයට ශාස්තෘන් වහන්සේ පිළිතුරු ලෙස වදාළේ ඒ භික්ෂූන් වහන්සේලා ජීවිතය දෙස බලන ආකාරය යි.

අතීතං නානුසෝවන්ති -නප්පජප්පන්ති අනාගතං
පච්චුපන්නේන යාපෙන්ති -තේන වණ්ණෝ පසීදසි

උන්වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. අනාගතේ ගැන ආසාවෙන් පතන්නේ නැහැ. වර්තමානයේ ලැබෙන දේකින් යැපෙනවා. ඒ නිසයි උන්වහන්සේලා එතරම් ලස්සන.බලන්න අපගේ ශාස්තෘන් වහන්සේ ඒ දෙවියාට දුන් පිළිතුර කොයිතරම් ලස්සන ද? කොයිතරම් අරුත්බර ද? මේ ලෙස සාමාන්‍ය මිනිස්සු හැම තිස්සේම ඉන්නේ එක්කෝ අතීතය ගැන හිතමින්, අතීතයේ සිදුවුණ දේවල් නිසා ශෝක වේවි. හූල්ලමින් ඉන්න උදවිය කොයිතරම් නම් ඉන්නවද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට අතීතය ගැන හිතලා ශෝක වෙන්නට කාරණයක් නැහැ.

බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙකුට සිතින්, කයින්, වචනයෙන් යහපත් දේවල් කරගන්නට බැරි වුණොත් ඔහු තමා අතීත ගැන හිතමින් ශෝක වෙන කෙනා. අයියෝ මට කයින් යහපත කර ගන්න බැරිවුණානේ. මගේ අතින් දුෂ්චරිතය වුණානේ කියා එබඳු කෙනාට ශෝක හට ගන්නවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ සිල්වත් ජිවිතයක් ගත කිරීමට ශ්‍රාවකයන්ට අනුශාසනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට සිත, කය, වචනය දුසිරිතෙන් මුදවලා සුචරිතයේ පිහිටුවා ගත්තු ශ්‍රාවකයාට අතීතය ගැන හිතලා ශෝක වෙන්නට කාරණයක් නැහැ.

මේ ලෝ සතුන් එහෙමත් නැන්නම් අනාගතයේ ගැන පතමින් තමා වාසය කරන්නේ. සිතින් හදාගත් සිහින ලෝකවල තමා මේ සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්හට වදාළේ අද අදම කුසල් දහම් වැඩීමට විරිය කරන්න. හෙට මැරේවිදැයි කවුද දන්නේ? කියලයි. ඒ නිසා බුදුරජුන්ගේ ශ්‍රාවක පිරිසට අනාගතය ගැන බොළඳ කල්පනාවන් ඇත්තේ නැහැ.

උන්වහන්සේලා වර්තමානය තුළ ලැබෙන දේකින් යැපිලා සතුටු වෙනවා. ඒකට කියන්නේ ‘සන්තුට්ඨිතාවය’ කියලයි. ලද දෙයින් සතුටුවීම කියලයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් ලැබෙන පිණ්ඩපාතයටත් සතුටු වෙනවා. ලැබුණ සොම්නසයෙන් සතුටු වෙනවා. ලැබෙන බෙහෙත් පිරිකර ටිකකින් සතුටු වෙනවා. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙනවා.

ඉතින් ඒ ආකාරයට ලද දේකින් සතුටු වෙලත් උන්වහන්සේ සැපයෙන් ඉන්නව. අතීතය ගැන ශෝක නොකරන නිසාත් සැපයෙන් ඉන්නවා. අනාගතය ගැන අමුතු අපේක්ෂා නැති නිසාත් සැපයෙන්ම ඉන්නවා. ඒ නිසා උන්වහන්සේලාගේ ඉන්ද්‍රියයන් ප්‍රසන්න වෙනවා. වර්ණයෙන් බබලනවා.බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට තවත් ගාථාවක් දේශනා කොට වදාළා.

අනාගතප්පජජ්පාය
අතීතස්සානුසෝචනා
ඒතේන බාලා සුස්සන්ති
නළෝන හරිතෝ ලුතෝති

අනාගතය ගැන ආසාවෙන් පත පතා අතීතය ගැන ශෝක වෙවී, දුක් විඳි බාල ජනයා මැලවිලා යන්නේ ළපටි උණබට කපලා අව්වේ දැම්මා වගේ.

ළපටි උණබට අව්වේ දාපුවාම වේලෙන්නට වේලෙන්නට මැලවිලා යනවා. ඒ වගේමයි මේ සාමාන්‍ය ලෝක සත්ත්වයා වර්තමාන කොයිතරම් ලැබුණත්, ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. තව තවත් ලබන්නම ආශා කරනවා. මේ ලෝකයේ කාමයන් අපේක්ෂා කරන කෙනෙකු කවදාවත් ඒ තුළ සෑහීමකට පත් වන්නේත් නැහැ. ඉතින් එයා වර්තමානයේ තිබෙනවාට වඩා අනාගතයේ පතනවා. ඒ පතන දේවල් කෙසේ හෝ ලබා ගන්නා අදහසින් ක්‍රියා කරද්දී සිත කය, වචනය සංවර කර ගැනීමට ප්‍රමාද වෙනවා. අවසානයේ ඒ ප්‍රමාදී කෙනාට තමා ගත කළ අතීත ජීවිතය සිහිවෙද්දී සතුටකුත් නැහැ. ඉතින් එබඳු කෙනෙකුට සැපයක් උපදින්නේ නැහැ. හිතේ සැනසීමක් නැති නිසා ඉඳුරන් ප්‍රසන්න වෙන්නේත් නැහැ. ඔහු ශෝකයෙන් පසුතැවෙමින් ලා උණබටයක් වගේ වේලිලා, මැලවිලා යනවා.ඉතින් මේ ලෝකයේ තිබෙන අග්‍රම සැපය අත්විඳි අපේ ශාස්තෘන් වහන්සේ තමා සැපය ගැන හැබෑවටම දන්නා උත්තමයා. දෙවි මිනිසුන්ට සැප උපදවාලන ධර්මය උන්වහන්සේ අනුකම්පාවෙන්ම යි මේ ලෝකයට පෙන්වා දී වදාළේ. මේ දහම් පද අනුගමනය කරලා දෙන්න ඇත්ද? මේ ලෝකයට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීම නම් දෙවි මිනිසුන්ට සැපයක්ම යි. අපත් ඒ සැනසිලිදායකයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යමු

සටහන
නයනා නිල්මිණි


දෙවියන්ට දෙසූ සම්බුදු බණ 01 -නිවන් මඟ ගැන වදාළ දෙසුම