UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹේගොඩ පුදබිමේ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

දඹේගොඩ පුදබිමේ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

ශ්‍රී ලංකාවේ ඇති ඉතා විශාලතම ශිලාමය බෝධිසත්ව පිළිමය ඇත්තේ දඹේගොඩය. අපි මෙම බෝධිසත්ව පිළිමය පිළිබඳ විමසීමට පෙර බෝධිසත්වයන් වහන්සේ යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් දැයි යන්න ගැන විමසා බලමු.

බෝධිසත්වයන් වහන්සේ යනුවෙන් අදහස් කෙරෙන්නේ බුද්ධත්වය ලැබීමට පෙරුම්පුරණ පින්වතාය. පන්සිය පනස් ජාතක පොතේ සඳහන්වන ජාතක කතා ද අප මහ බෝසතාණන් වහන්සේ බුදුවීමට පෙර උපත ලද අවස්ථා ගැන කියයි. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් මහායාන බුදුසමයට අයත් වන බෝධිසත්වවරයෙකි. මහායාන බුදුසමය ආරම්භ වූයේ පුරාණ භාරත දේශයේ ය. ක්‍රි.ව. 120 දී රජ වූ කුශාන රාජවංශික කනිෂ්ක රජුගේ රාජ්‍ය කාලයේ දී හතරවැනි ධර්ම සංඝායනාව පැවැත්වූ බව මහායාන ග්‍රන්ථවල සඳහන් වේ. පුරාණ ලංකාවේ මහායාන බුදුසමය පිළිබඳ මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණෝ මෙසේ සඳහන් කරති.

මහාසේන (මහසෙන්) රජ තමා මහායාන වාදයට දැක් වූ ලැදිකම් නිසාදෝ එකල ඉන්දියාවෙහිද ප්‍රසිද්ධ වූවෙකි. සම්බුද්ධ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂාව සඳහා ඉන්දියාවෙන් ඔහු වෙත එවන ලද බවත් දන්ත ධාතුන්වහන්සේ මෙහි වැඩම කරවන විට ඔහු මිය ගොස් සිටි බවක් දාඨාවංසයෙහි සඳහන් වේ. එම කාලයේ දී හා හා පුරා කියා බෝධිසත්ව පිළිමයක් ගැන සඳහන් වීමෙන් නිසැක ලෙසම ඔප්පු වන්නේ එවකට මහායාන ආභාසය මෙහි බලගතුව පැවති බවයි. (ශ්‍රී ලංකාවේ බුදුසමයෙහි ඉතිහාසය පිටු. 100 (1962)

මහායාන බුදුසමය (ථෙරවාද බුදුසමයට අමතරව) මේ රටේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ මීට වඩා දීර්ඝ ලෙසින් සඳහන් කළයුතු වුවද ඒ සඳහා මෙය අවස්ථාවක් නොවේ. ශ්‍රී ලංකාවේ මෙන්ම පුරාණ භාරත දේශයේ ද චීනය, ජපානය සහ කොරියාව ආදී රටවලද මහායාන බෝධිසත්ව පිළිම හමුවී ඇත. ශිලාමය මහායාන බෝධිසත්ව පිළිම මෙන්ම ලෝකඩ වලින් ( රන් ආලේපිත) නිර්මාණය කරන ලද බෝධි සත්ව පිළිම රැසක් ද කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දැක ගත හැකිය.

අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක අංග ලක්ෂණ

ඉහතින් සඳහන් කරන ලද අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය (දඹේගොඩ) 1990 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරවන ලද්දේය. එකල මේ ලේඛකයා ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි නිලධාරියෙකි.

මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය පිහිටියේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල උපදිසාපති කොට්ඨාසයේ ඔක්කම්පිටියට නුදුරු දඹේගොඩ (දඹේගොඩ) ග්‍රාමයේය.

කුඩා කඳු ගැටයක් ලෙසින් සාදා ඇති උස්බිමක (මාලක කීපයක්ම ඇති) පිහිටුවා ඇත. හිටි පිළිමයක් ලෙසින් සංරක්ෂණය කර ඇති මෙම පිළිමය ඉතා විශාල සංඛ්‍යාවක් කෑලි ලෙසින් කැඩී තිබුණි. එහෙත් හාස්කමකට මෙන් මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයේ ශීර්ෂයට කිසිදු හානියක් සිදුනොවීම සැබවින්ම ලංකාවාසී අප සැමගේම වාසනාවකි.

මෙම අවලෝක්තේශ්වර බෝධිසත්ව පිළිමයේ ඇති විශේෂ ලක්ෂණයක් නම් ජටා මකුටයෙහි ශීර්ෂයෙහි පැළඳි ශිර්ෂාභරණයෙහි ඉතා කුඩා සමාධි බුදුපිළිමයක් නෙළා තිබීමය. මෙම ලක්ෂණය ද අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් හඳුනා ගැනීමට ඇති එක් ලක්ෂණයක් ලෙසින් සැලකේ. මෙම සමාධි පිළිමයෙන් නිරූපණය වන්නේ අමිතාභය බුදුරජාණන් වහන්සේ යැයි සැලකේ.

මෙම බෝධිසත්ව පිළිමවල තවත් ලක්ෂණයක් නම් විසිතුරු ආභරණවලින් සරසා තිබීමයි. උඩුකය නිරාවරණය හෙවත් ඇඳුමක් නැතත් ආභරණවලින් සරසා ඇත. මෙම ශිලාමය බෝධිසත්ව පිළිමයෙහි ගෙල මාලවලින්ද දෑත වළලුවලින්ද කර්ණ මකර කුණ්ඩලාභරණවලින්ද සරසා ඇත. උදර බන්ධනයකින් (බඳපටියක් ලෙසින්) නෙළා ඇති මෙම බෝසත් පිළිමයෙහි යටිකය ඉතා අලංකාර දෝතියකින් සැරසී ඇත. රාජාභරණ සහිතව නෙළා ඇති මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයෙහි ඉතා තේජාන්විත භාවයක් නිරූපණය වේ. (හෙළ කලා විස්කම් - සිරිසමන් විජේතුංග පි.ටු 88 – 89 (2010)

බුදුපිළිම සේම මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ද පද්ම පීඨයක් මත නෙළා (නෙළුම් මල්මත) ඇත. දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය නෙළා තිබෙන්නේ තනි ගලකිනි. වටේටම නෙළා ඇති මෙම පිළිමය මෙන්ම මේ අසල මාලිගාවිල පුදබිමෙහි ඇති හිටි බුදුපිළිමයද තනිගලෙන් වටේටම නෙළා ඇති බව විශේෂයෙන් සඳහන් කළ කරුණකි. මෙම පාෂාණ විශේෂය මේ අසල වනයෙහි දක්නට ලැබේ. එම පාෂාණය ක්‍රිෂ්ටලයින් පාෂානය ලෙසින් සඳහන් වේ. මෙම පාෂාණය ගල් කුට්ටියක් ලෙසින් මෙම ස්ථානයට රැගෙනවිත් නෙලන්නට ඇත. එසේ නැතහොත් එම පාෂාණ කට්ටිය තිබූ තැන නෙළා මෙම ස්ථානයට ගෙන එන්නට ඇත. මෙම පාෂාණය ටොන් 40 බරය. උස මීටර් 10 කි. මෙම බෝධිසත්ව පිළිමයේ හිස පමණක් උස මීටර් 2.1 කි. සමභංග ඉරියව්වෙන් හිටි පිළිමයක් සේ නෙළා ඇති මෙම පිළිමයෙන් එකල මෙම පිළිම නෙළු මූර්ති ශිල්පීන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවය මැනවින් පිළිබිඹු වේ. රාජකීය භාවයක් ප්‍රෞඪත්වයක් පෙන්නුම් කෙරෙන අති පූජනීය වස්තුවක් පමණක් නොව පරිපූර්ණ කලා නිර්මාණයක් ලෙසින්ද දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ගේ ද බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන සංචාරකයින්ගේ ද නොමද ප්‍රසාදයට ලක් වූ බෝධිසත්ව පිළිමයක් ලෙස ලොව ප්‍රකටය. මෙම පිළිමයෙහි දක්නට ලැබෙන තවත් ප්‍රතිමා ලක්ෂණයක් නම් උපවිතයයි. එය බ්‍රාහ්මණයින්ගේ පූණ නූල ලෙසින් ද සැලකේ. බොහෝ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වල මෙම ලක්ෂණද දක්නට හැකිය.

කොළඹ සිට කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම පිළිමය පිහිටි පුදබිම (දඹේගොඩ) වැල්ලවාය, මොනරාගල මාර්ගයේ ගොස් කුඹුක්කන් හන්දියෙන් දකුණට හැරී ඔක්කම්පිටියට යන විට මාලිගාවිල මහ බුදු පිළිමය හමුවේ. එතැන් සිට කිලෝමීටරයක් පමණ දුරින් දඹේගොඩ පුදබිම පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව වර්ෂවලට අයත්වන ලෙන්ලිපි (බ්‍රාහ්මී අක්ෂර සහිත) කීපයක් ද මේ පුදබිම ආශි‍්‍රතව ඇත. ඒ අනුව මෙම පුදබිම බුදුදහම අප රටට ලැබුණු ක්‍රි.පූ. 3 වැනි සියවස් කාලයේ සිටම පැවත එන පුදබිමකි. මෙම බෝසත් පිළිමය ක්‍රිස්තු වර්ෂ අට වන සියවසේ දී පමණ නිර්මාණය කරන ලද්දක් සේ පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. දඹේගොඩ පිහිටි මෙම බෝධිසත්ව පිළිමය තිබූ පුදබිම පරීක්ෂාවට සෙනරත් පරණවිතාන මහතා 1934 දී පැමිණ ඇත. කැලයෙන් වැසී තිබුණු මෙම පුදබිම 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙළි පෙහෙළි කරන ලදී. එම අවස්ථාවේ දී මෙම බෝසත් පිළිමයේ සිරස මුණින් වැටී තිබී හමුවී ඇත. මෙම පිළිමය කවුරුන්ගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරන ලද්දේ ද යන කරුණ ගැන ද පුරාවිද්‍යාඥයෝ අවධානය යොමු කළහ. ඒ අනුව මෙම ප්‍රතිමාව අග්බෝ කුමරුන්ගේ සොහොයුරෙකු වූ දප්පුලසාමි යුව රජු අරියාකර විහාරයට මල්වතු නම් ගම පූජා කර එහිම සිත්කළු පිළිමගෙයක් කරවූ බව එහි හිටි මෙතේ බුදුරුව පිළිමයෙන් ඌර්ණ රෝමයක්ද තිබුණු බවක් මහාවංසයෙහි සඳහන් වේ. මම මෙතේ බුදු බව සඳහන් දඹේගොඩ බෝධිසත්ව පිළිමය නිර්මාණය කිරීම බව සමහර විද්වත්හු සලකති. ඉහත සඳහන් කළ පරිදි අවලෝකිතේශ්වර බෝධිසත්ව මූර්ති නිර්මාණය කර ඇත්තේ මහායාන බුදුසමය අනුවයි. තවද සැදැහැවතුන් ආරක්ෂා කිරීමේ සහ සුවපත් කිරීමේ හැකියාවක්ද මෙම බෝධිසත්වයන් වහන්සේට ඇති බව විශ්වාස කෙරේ. ආරෝග්‍යශාලා ලෝකනාථ යනුවෙන් විරුද නාමයක්ද අවලෝකිතේශ්වර බෝසතාණන්වහන්සේට ව්‍යවහාර කළ බවට සාක්ෂි හමුවී ඇත. දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව මෙම පිළිමය පිහිටි පුද බිමේ පුරාණ රෝහල් සංකීර්ණයක නටබුන් ද මතුකර ගැනීමට හැකිවී ඇත. රුහුණේ අග්බෝ කුමරු කානගාමයේ අන්ධයින් සහ ගිලනුන් ශාලා කරවූ බව මහාවංසයේ සඳහන් වේ. ඒ මෙම පුදබිම බවට හඳුනාගෙන ඇත. මෙම පුදබිමෙහි හතරවැනි මිහිඳු (ක්‍රි.ව. 956 – 972 ) රජුට අයත් ටැම් ලිපියක් ද 1982 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. එහි මේ පුදබිමේ ආගමික ආයතන පාලනය පිළිබඳ නීතිරීති ඇතුළත්ය. ක්‍රි.ව. 10 වැනි (දසවැනි) සියවසේ දී මේ පුදබිම ඉතා දියුණු තත්ත්වයක පැවති බවද මෙම ටැම් ලිපියෙන් පැහැදිලි වේ. (දඹේගොඩ අවලෝතිකේශ්වර බෝධිසත්ව පිළිමය, සිරිසමන් විජේතුංග, පිටු අංක 4 ( 1999)

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]