UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසරකට පෙර අපවත් වී වදාළ ගුරුදෙව් වැලිගම මහ නා හිමි

වසරකට පෙර අපවත් වී වදාළ ගුරුදෙව් වැලිගම මහ නා හිමි

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා
පබ්බාජෙථ මං භන්තේ අනුකම්පං උපාදාය”
යනුවෙන් තම දිවියේ ඇති තතු කිසිත් නොතේරෙන වියෙහිදීම සසර පුරුද්ද නිසාදෝ කසාවත දරා ගුරු බැතිය වත් සපන් බව ඇතිව සසුනඹරෙහි දිදුලන පහන් තරුවක් වෙමින් සසුන් කෙතෙහි සුපිපි හෙළ පියුමක් ලෙසින් වැඩ සිටි උතුමෝමැ සම්බුදු සසුන එකලු කළහ. අපිස් සතොස් ඈ ගුණ මිණි වලින් මැ තම පැවිදි දිවිය සැරසූ උන්වහන්සේලා සභායෙහි වෙසරද බව සේම දහම්ගැට විසඳාලීමෙහි පිරිපුන් නුවණින් යුතුවැ අනුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුළුව තම දිවි පවත්වමින් අනාගත බුදුසවුවන් ඉදිරියේ ඔවුනට පහන් ටැඹක් වෙමින් පර්යාප්ති සාසනය තුළ ප්‍රතිපත්ති ගරුකව ශීලාදි ගුණයන්ගෙන් මහණ කමත් බණ දහමත් තම දිවිය මෙන් සුරැකි එකි උතුමෝ තම අභිලාෂය වූ නිවන් පරමාර්ථය සාදාගැනීමේ ආත්මාර්ථය පසෙක දමා සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා සොඳුරු ළමා විය. දඟකාර තුරුණුූ විය තුළ තම අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මනෝ විතර්කයෙන් ඇතුළතම දරාගනිමින් තම මුළු දිවියම සසුනට කැපකළහ. මෙකී උතුම් ගුණබරණින් වෙසෙසිය හැකි මහා යතිවරයාණ කෙනෙකු වූ අග්ගමහාපණ්ඩිත විනය විශාරද ,ධර්මකීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවතංස, ආචාර්ය පරම පුජනීය වැලිගම ශ්‍රී ඤාණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මීට වසරකට පෙර දැයෙන් සමුගන්නට මත්තෙන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායෙහි මහානායක මාහිමිපාණන් වහන්සේ ලෙසින් ද රත්මලානේ මල්ලිකාරාමය, හබරාදුව මාකඳුගොඩ නිග්‍රෝධාරාමය, කතරගම මල්ලිකාරාමය, කිරිවත්තුඩුව තිස්සවන විහාරය සහ කෑගල්ලේ විජයවර්ධනාරාමය යන විහාරස්ථානයන්හි ද අධිපතිත්වය හෙබවූ සේක. මෙකී විහාරස්ථානයන්හි ආධිපත්‍ය හොබවන්නට මත්තෙන් උන්වහන්සේ ඒවා ලැබීමට තමා තුළ සුදුසුකම් ගොඩනගා ගත්හ.

ධර්මධර, විනයධර ,විනීත, ව්‍යක්ත, විශාරද, යන ගුණයන්ගෙන් සසුන පෝෂණය කළ උන්වහන්සේ නොපැහැදුනු අයගේ පැහැදීම ඇතිකරලීම සඳහාත් පැහැදුණූ ඇත්තන්ගේ පැහැදීම වැඩිදියුණු කරළීම සඳහාත් තම දිවිය කැප කෙළෙන් පුරා අවුරුදු අසූනවයකට ආසන්න කාලයක් සසුන් කෙත සරසන්නට පොහෝනා සවියක් ඇතිකර ගත්හ. උතුම් බුදුවදන් සිත්හි තබාගත් අප ආචාර්යෝත්තම මහ නා හිමිපාණන් වහන්සේ රෝගග්‍රස්ථව එක්තැන් වන්නට පෙර බොදුනුවන්ගේ කුදුමහත් ආගමික අවශ්‍යතාවයන් තම මුලිකත්වයෙන් සිදුකළ අතර කුඩා ධර්ම ග්‍රන්ථ සම්පාදනය කොට තමා හමුවට එන ඕනෑම ගිහි පැවිදි අයෙකුට දහම් පොත් පිංචකින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ. ඒ අනුව උන්වහන්සේ වෙතින් රචිත ලොකු කුඩා ධර්ම ග්‍රන්ථ තම වයසට වඩා ද වැඩිය. කුදුසික විවරණය ගිහි විනය, පැවිද්දන්ගේ සහ ගිහියන්ගේ විනය හෙවත් හික්මීම ඇතිකරළීම සඳහා ලියැවුණු ඉතා වටිනා ග්‍රන්ථයෝය.

බුදුබණ දෙසීමට වටාපත සුරතට ගත් අප ලොකු හාමුදුරුවන් වහන්සේ දහමින් බැහැර කිසිත් නොකියා ධර්මාසනයේ ගරුත්වය සුරැකියහ. තමනට හමුවන හැම දහම් පදයක්ම අටුවා ටීකා නයින් සවිස්තරව දේශනා කිරීමේදි පළමුව තමන් වහන්සේ එකී දහම් සයුරෙහි ගිලි කිමිදී එහි ඇති මුතු මැණික් වන් දහම් මිණිමුතු උකහාගෙන ඉනික්බිතිව සෝනුද ජනතාවගේ දෙසවන් තුළින් දහම් රසය ලබාදුන් ආකාරය තාමත් අප සිත්වල දෝංකාර දෙන්නේ උන්වහන්සේ පෙන්වූ දහම් නියර අප තුළ යම් පමණකට පවත්නා නිසාය.

අතිගරු මහ නා හිමියන් ඔබ වහන්සේ රූපකාය ඡායාරූපයකින් හෝ ප්‍රතිමාවකින් දිස්වුව ද නැතද ඔබවහන්සේ අපට ලබාදුන් ඔවාමිණී තාම අප සිත් තුළ පවත්නා බැවින් ඔබ වහන්සේ අපවත් වූවා යැයි නො සිතමු. සුජිවත්ව වැඩ වෙසෙන ලෙසින් දකින්නෙමු.

එළුකැටියේ ගුරු පරපුරේ අහංගම සිරි විමලසාර අතිගරු ලොකු හාමුදුරුවන් වහන්සේගේ අතිජාත සන්තිකාවචර ශිෂ්‍යයෙකු ලෙසින්ද අහංගම සෝමරතන , මතුරට පේමරතන, දෙපැවිදි සොහොයුරු මාහිමිවරුන් ඇතුළු සබ්‍රම්සරුන්ගේ ඇසුරත් පැලෑනේ සිරි වජිරඤාණ මහා නා හිමියන් සහ මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් ඇතුළු සඟ පරපුරෙන් වජිරාරාම සම්ප්‍රදායත් අප මහා නා හිමියන් තුළ මැනවින් දිස් වූයෙන් පර්යාප්ති සාසනයත් ප්‍රතිපත්ති සාසනයත්,එක්තැන්ව නූතන ගිහි පැවිදි සමාජයට අවැසි බුද්ධ පුත්‍රයන් තැනීමේ අසීරු කටයුත්ත ඔබ වහන්සේගේ දිවියේ අංගයක් වූයේ පන්දහසක් කල් පවතින සම්බුදු සසුන හැකි පමණින් සුරැකීමේ මහා ව්‍යායාමය සපුරනු සඳහාය.

එබැවින් ඔබ වහන්සේ අපට පෙන්වූ මගෙහි ගමන් කරනා පැවිදි සිසු දරුවන් ලෙසින් ඔබ වහන්සේ ව්‍යායාමය හැකි පමණින් සපුරා අනාගත සම්බුදු සසුන බැබළවීමට අපට අවසර.

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]