UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු පහස ලද මහියංගණ පුරාණය

සම්බුදු පහස ලද මහියංගණ පුරාණය

මෙම ලිපියෙහි පළමු කොටස දුරුතු පුර පසළොස්වක පත්‍රයේ පළවිය.

අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදු හදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.

දුට්ඨගාමණි සමයෙන් පසු මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවට සාධක සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සනාථ වේ.

දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජු මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්ථවනගල් විහාර වංසය කියයි. අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිව්වැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සාක්ෂි වංසකතා තුළින් හෙළි දැක්වේ. සිව්වැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති කඩ කොට අසූවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩ මුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ. එනම් ‘වත් හිමියන් වහන්සේ මියුගුණු මහවෙහෙර වැඩි කලැගිය දවස’ වශයෙනි. සිව්වැනි මිහිඳු රජුගේ යැයි විශ්වාස කළ හැකි මොනරාගල දඹේගොඩින් ලැබුණු ලිපියක ද මහියංගණයේ අභිවෘද්ධිය පිණිස කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු අන්තර්ගතවන බව සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙයි. පොළොන්නරු සමයේ දී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දී තිබේ. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවති රැජන දවස සිය මිණිපේ සෙල් ලිපියේ දි මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහාසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරේ පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ. මහනුවර රාජධානි සමයේ ද සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින්බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.

මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනමවැනි සියවසේ දී පැමිණෙන විට ස්තූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වන බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තූපය 1871දී පිළිසකර කිරීම් ඇරඹුණ අතර 1890 දී එහි කොත් පලඳවා ප්‍රකෘතිතත්වයට පත් කොට තිබේ. 1922 වන විට නැවතත් අබලන් වූ ස්තූපය අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලදී. 1949 මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක්ද යන්න ද අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව්වීමත් සමඟ මහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකතාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගැනීමට ද මං විවර විය.

එමෙන්ම ස්තූපයේ ගඩොල් පරීක්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලී හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණි. මෙම ගර්භය කැණීමේ දී හමු වූ තැම්පත් කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහි ලැබුණු අශ්වාරෝහක ප්‍රතිමා හතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින් දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැම්පත් කොට තිබූ බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹ කලස්, තුන්පා දරඬු, මත කපන ලද සංඛ, පැරැණි කාසි වර්ග, ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමැවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වය නිහඬව හෙළිදක්වන අතර විදේශීය සම්බන්ධතා ගැන ද තොරතුරු එමඟින් තහවුරු වේ. ධාතු තැම්පත් කොට තිබූ ලෝහයෙන් නිමවා තිබූ ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.

හමුව ඇති බුදු පිළිමවල ද විශේෂත්වයක් දැකිය හැකිය. බොකු ආකාරයට සාදා ඒ තුළ තැම්පත් කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂරයන්ද හමුවීම නිසා මෙම පිළිම, පාල, යුගයේ දී ඊශානදිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. අමරාවති කිරිගරුඬින් නිමවන ලද තවත් කුඩා බුද්ධ ප්‍රතිමාවක් ද ලැබී තිබීම ද පුරාවිද්‍යාත්මකව වටිනාකමක් හිමිවීමට හේතුවී ඇත.

මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇති මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. මෙම ශේෂ සිතුවම් අතුරින් බෝමුල වැඩ හිඳින බුදුරුවක් නිරුපණය කර ඇති එම බුදුරුවට දකුණු පසින් වැඩුණු රැවුලකින් යුත් සෘෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ සිතුවමක මෙන්ම දේවසමූහය පිරිවරකොට ඇති දර්ශනයක් ද එහි අන්තර්ගතයි. ඒ අතරින් ත්‍රිශුලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටයක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඩු කළ සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක් ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක් ද වේ. සියුම් රේඛාවන්ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ, තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත් වේ යැයි අනුමාන කරති. නන්දදේව විජේසේකර ද මේ ගැන දිගු විස්තරයක් කරන අතර බුදුරදුන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව නිරූපණය කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදුහදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]