UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 21 නිග්‍රෝධාරාමයට වැඩම කිරීම

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 21

නිග්‍රෝධාරාමයට වැඩම කිරීම

කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට අපේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ වැඩම කිරීම හා යමා මහ පෙළහර දැක්වීමයි අද බුද්ධ භූමි වන්දනාවෙන් පවසන්නේ.

කාළුදායි මහ රහතන් වහන්සේ දිනපතා රජගෙදරට ගොස් දන් වළඳා බුදුරජාණන් වහන්සේටද දාන පාත්‍රයක් රැගෙන යන ලදී. ඒ අතර රජ ගෙදරට වඩින සෑම විටම බුදු ගුණ කියමින් කාළුදායි මහ රහතන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඤාති සමූහයා උන්වහන්සේ කෙරෙහි පැහැදවුයේය. පැහැදුණු ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟරුවන වෙත ශාක්‍යයන්ගේ උයන නිග්‍රෝධාරාමය ලෙස සකස් කර පූජා කරන ලදී.

බුදුරජාණන් වහන්සේ් නගරයට වඩින විට සුවඳ මල් ආදිය ගෙන ශාක්‍යයෝ මනා ලෙස සැරසුණ අතර පෙරමඟට ගොස් ගෞරවයෙන් පිළිගනු ලැබූහ. ළදරු කුමර කුමරියන් ලවා පළමුකොට වැන්දවූහ. ඔවුනට පසුව රජ කුමර කුමරියෝ වැන්දාහ. රජහු ඔවුනට පසුව තුමුම සුවඳ මල් ආදියෙන් පූජා කරමින් භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට විසි දහසක් පමණ රහතුන් ද සමඟ වැඩම කර පනවා තිබූ අසුන් මත වැඩ සිටින ලදී. මානාධික ශාක්‍යයෝ සිදුහත් කුමරු අපට වයසින් බාලය, අපේ බෑනණුවෝය.අපේ මුණුබුරෙකි. යන ආදීන් සිතනුවෝ තුමු නමස්කාර නොකොට ළදරු කුමර කුමරියන් ලවාම නමස්කාර කරවූහ.

ශාක්‍යයන්ගේ අදහස දැනගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මානය බිඳ දැමීම සඳහා අහසට නැඟ යමා මහා පෙළහරක් දැක්වූ සේක. මේ අසිරිමත් දර්ශන දුටු සුද්ධෝදන රජතුමා භාග්‍යවතුන් වහන්ස, ඔබ ඉපදීමෙන් පසු ඔබලවා අසිත තවුසා වන්දවන්නට සිතුවෙමි. එවිට ඔබේ පාදය පෙරැළී ගොස් අසිත තවුසාගේ ජටා මස්තකයේ පිහිටියේය. එය දැක මම ඔබට මුල්වරට වැන්දෙමි. වප් මඟුල් දින දඹ සෙවනේදී දෙවැනි වරට ඔබ ප්‍රාතිහාර්යය පානු දැක මම දෙවැනි වරට ඔබට නමස්කාර කළෙමි. මින් පෙර කිසි කලෙක අද වන් පෙළහරක් නොදුටිමි. මේ මගේ බුදු පුතුනට වඳිනා තෙවැනි වැඳීමයි කියා මහරජතුමන් විසින් වන්දනා කරන ලදී. පසුව සියලු ශාක්‍යයන් මානය පසෙක දමා සම්බුදු අසිරිය දැක වන්දනා කරන ලදී.


සුදොවුන් රජ මාලිගාවේ නටබුන්

බුදුරජාණන් වහන්සේ දක්වන ලද අසිරිමත් ප්‍රාතිහාර්යය දැක උන් වහන්සේගේ එම අසිරිමත් දර්ශනයට පැහැදී වැඳ නමස්කාර කරන ලදී. පසුව උන්වහන්සේ පනවා තිබූ අස්නේ වැඩහුන් සේක. සියලු නෑ රජහුද සංහුන්ලීලායෙන් හුන්හ. එකල මහත් මල් වැස්සෙක් වට ඒ මුල්කොට ගෙන බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර ජාතකය වදාළ සේක. ධර්මය අසා පැහැදුණු සියලු දෙනා වැඳ, තමන් ගෙවල් කරා ගියහ.

බුදුරජාණන් වහන්සේ නෑයනට එදා වදාළ බණ ඇසූ ශාක්‍ය රජහු පෙරළා සිය නිවෙස්වලට පිටත්ව ගියේය. ධර්ම ශ්‍රවණ පී‍්‍රතියෙන් යුත් ඔවුනට පසු දා දනට වඩින්නට යැයි ආරාධනා කිරීමට අමතක විය. භාග්‍යවතුන් වහන්සේ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි ගත කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුරයෙහි පිඬුසිඟා වැඩම කිරීම

භාග්‍යවතුන් වහන්සේ පසු දින කිඹුල්වත්පුර නගරයේ පිඬු පිණිස වඩිමින් සිටියහ. අපේ වංශයේ අයකු මෙසේ හිඟමන් ගියේ කවදාද? මෙය අපේ පරම්පරාවට කරන නින්දාවක් නොවේ දැයි ශාක්‍යයෝ විස්මයට පත්ව බලා හුන්හ. යශෝධරාවෝද එපවත් අසා සීමැදුරු කවුළු හැර බලන්නෝ අනූපමේය බුද්ධශ්‍රීය දැක විස්මිතව, සුදොවුන් මහ රජු වෙත ගොස් ඔබ පුතණුවෝ වීථියෙහි පිඬු සිඟතියි දැන්වූහ.


කපිලවස්තු ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඬුව

මේ ආරංචියෙන් සුද්ධෝදන රජු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි මේ නුවර මෙසේ ගෙන් ගෙට පිඬු පිණිස යෑමෙන් අපේ රාජ වංශයට අවනම්බු කරන්නේ ඇයි? ශාක්‍ය වංශයේ කෙනෙකු මෙසේ සිඟමනේ ගියේ කවරදාද?” මේ භික්ෂු පිරිසට මැදුරෙන් ආහාර නොලද හැක්කැ යි රටට අඟවන්නට දැයි ඇසීය. එවිට බුදුරදුන් මෙසේ පිළිතුරු දුන්හ.

මහ රජ, මෙය අපේ වංශයේ සිරිතයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රජ, ස්වාමීනි ඔබේ වංශය මහා සම්මත ශාක්‍ය රාජ වංශයයි. බුදුරදුන් එය මගේ නොව ඔබගේ වංශයයි. මගේ වංශය වනාහි බුද්ධ වංශයයි. අපේ වංශය නම් දීපංකර, කොණ්ඩඤ්ඤ ආදී බුදුවරයන්ගේ වංශයයි. ඒ බුදුවරු ද සෙසු ඉන් පෙරැ සිටි බුදුවරුද පිඩුසිඟා හැසුරුණෝය. පිඬු සිඟීමෙන්ම දිවි පැවැත්වූහ යි වදාළ සේක.

ඉක්බිති එහි සිට ගත් වනමැ රජතුමා වෙත දහම් දෙසූ අතර එය අසා රජතුමා සෝවාන් විය.

අනතුරුව රජතුමා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහ සඟරුවන මාලිගාවට වැඩම කරවා ගෙන ගොස් දානය පිළිගැන්වූහ. දානය වළඳා අවසානයෙහි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසු සේක.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්ම සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්භිච

“සුචරිතය පුරුදු කළ යුතුය. දුසිරිත හළ යුතු ධර්මචාරි පුද්ගලයා දෙලොවම සුවසේ කල් යවයි.

ධම්මං චරේ සුචරිතං
නතං දුච්චරිතං චරේ
ධම්ම චාරි සුඛං සේති
අස්මිං ලෝකේ පරම්භිව

මෙම ධර්ම දේශනාව අසා සුද්ධෝදන රජතුමා සකෘදාගාමී විය. මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් වූවාය. ඉක්බිති පෙර නාටිකාංගනාවේ සිටි කුමරියෝ පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළේය. රජතුමා යශෝධරාවට ද පැමිණ බුදුරජාණන් වහන්සේට වඳිනා ලෙස පණිවුඩයක් යැවීය. ඇය මා උන්වහන්සේට පක්ෂපාතව වැසුවා සැබෑනම් බුදුරජාණන් වහන්සේ මෙහි වඩිනු ඇත. එවිට මා වන්දනා කරමියි කියා යැවූ කල්හි රජතුමා එපවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළේය.

තවත් කොටසක් දුරුතු අමාවක පොහෝදා ජනවාරි 20 වනදා පත්‍රයේ

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]