Print this Article


තැන්පත් බවින්...

තැන්පත් බවින්...

දීර්ඝ කාලීනව ප්‍රගුණ කරගෙන ආ යථාර්ථවාදී පිළිවෙතක මස්තක ප්‍රාප්තිය වන ප්‍රාණ වායුව නිරුද්ධ වන මොහොතේදී යෝනිසෝ මනසිකාරයෙන් අවසන් හුස්ම හෙළීමට හැකියාව ලැබෙන්නේ කෙසේ දැයි පැහැදිලි කරන “තැන්පත් බවින් මළ ගමට සූදානම් වීම “ යන මෙම ලිපිය තායිලන්තයේ චිරප්‍රසිද්ධ මන්භුරිදත්ත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වන අචාන් මහබුව ඤාණසම්පණ්ණෝ හිමියන්ගේ දේශනා ඇසුරින් සම්පාදිත “අවසන් හුස්ම” යන කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ සිය පැවිදි ශ්‍රාවකයින්ගේ හා උවැසි උවැසියන්ගේ බුද්ධි මට්ටම අනුව මැනවින් ධර්මය දේශනා කොට අවබෝධ කරවීමට දැක්වූයේ අතිමහත් දක්ෂතාවකි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු ලෙස එම ධර්මය අවබෝධ කරවීමට අනුපූර්ව ප්‍රතිපදාවක් වදාළහ. එම අනුපූර්ව ප්‍රතිපදාව නිවැරදි උත්සාහයෙන් වැඩීමෙන් තැන්පත් බවින් මළගමට සූදානම් වීමටත් පරම සුවය සාක්ෂාත් කිරීමටත් ඇති හැකියාව ලොවට හෙළි කළහ.හටගන්නා සියලු දේ නැසෙන සුළු බව,ලොවෙහි පවතින සියලු දේ අස්ථිර බව, උන්වහන්සේ තම මිය ගිය පුතුගේ සිරුර රැගෙන මන්ද මානසික ව ඒ මේ අත දිව ගිය කිසාගෝතමියටද සියලු සත්වයන් මරණයට පත්වන බව පසක් කර දුන්නේ අප කිසිම කෙනෙකුට මෙලොව සදාතනික ව පැවැත්මක් නැති බව අවබෝධ කරවමිනි.

”මා යන්න ලෑස්තියි” මා මැරෙන්න සුදානම් ආදි වශයෙන් කියමින් නොයෙක් දෙනා පුරසාරම් දෙඩෙව්වත් අව්‍යාජ ලෙස තම සිතට එබී බැලුවහොත් මරණයට සූදානම්ව ඇත්තේ ඉතා සුලු පිරිසක් පමණි. බෞද්ධයන් වශයෙන් අපේ ඒකායන ප්‍රාර්ථනය නිර්වාණයයි. ඒ පාරිශුද්ධ අධ්‍යාත්මික ශක්තියට ලං වීමට නම් අප පළමුව හික්මවා ගත යුත්තේ සංවර කර ගත යුත්තේ අපේ සිතයි.

අපේ සිත හරියට පුංචි දරුවකු වාගෙයි. නිතරම චංචල ගති ඇත්තා සේම තමන් ගැන සොයා බැලීමට අසමත්, තම මවගේ රැකවරණය ,සොයා බැලීම තමා පියාගේ රැකවරණය සොයා බැලීම කුඩා දරුවෙකුට නිතරම අවශ්‍යයයි. නො එසේනම් වෙනත් කවුරුන් හෝ කෙනෙකු ඔහු හෝ ඇය කෙරෙහි නිතරම සෙවිල්ලෙන් සිටිය යුතුයි. එය එසේ වුවත් සිත විවිධ තැන්වල ඇලෙන ගැටෙන ස්වභාවය සහිත නිසා එවැනි බාහිර ආරක්ෂකයෙකු හෝ ආරක්ෂාවක් නොමැති හෙයින් සිත අසරණ බවටත්,අනාරක්ෂිත බවටත් පත් වේ. එබැවින් මෙවැනි සංවේදී ස්වභාවයන්ට උරුමකම් කියන සිත මරණයට සූදානම් කිරීම ඉතා සුපරීක්ෂාකාරිව හා ආයාසයෙන් කල යුතු පුහුණුවකි. ඒ සඳහා ධර්මානුකූලව වටහා ගැනීමක් අත්‍යාවශ්‍යය. නිරන්තරයෙන්ම කිසියම් දෙයක ඇලීමට අල්වා ගැනීමට උත්සාහ කරන සිත, එවැනි දුර්වල පිළිපැදීම් තමන්ට හානිදායක බව දැන දැනත් තාවකාලික වින්දනය, රස විඳීම උදෙසා අකුසල මගක යෙදීම හේතුවෙන් මරණයට සූදානම් වීම වෙනුවට මේ සංසාර ගමන තව තවත් දිගු කර ගැනීමක් බවට පත්වේ. රාග ද්වේශ මෝහයන්ගෙන් අවිද්‍යා අඳුරෙහි නිරන්තර අරගලයක යෙදෙන පෘථග්ජන සිත මරණයට සූදානම් කිරීම, කුසල පරමාර්ථය සාක්ෂාත් කිරීම වැනි චිත්ත පාරිශුද්ධත්වයට හේතුවන කරුණු පසෙක තබා සිත හා ගැටෙන හැපෙන සියලු සිතිවිලි පාලනයකින් තොරව නිරන්තර වර්ධනයට ඉඩ සැලසීම නිසා එවන් නුපුහුණු සිතකට විමුක්ති මාර්ගය වෙත ගමන් කිරීම නිරායාසයෙන්ම මග හැරෙයි. එසේම තම පාරිශූද්ධත්වය සාක්ෂාත් කිරීම මායාවකට හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක ආශිර්වාදයෙන් සිදුවේයැයි සිතීම තමන්ගේ අධ්‍යාත්මික දියුණුවට මෙන්ම මරණය පිළිබඳ යථාවබෝධය ලැබීමටද මහත් බාධාවක් වන්නේමය.

ලාමක හැඟීම් සහ අභ්‍යන්තර හානිදායක අරමුණුවලට ආශක්ත වීම බාහිර වස්තු කෙරෙහි ඇලීම ගැටීම තවදුරටත් අකුසල පථයෙහි අනුයුක්ත වීමට හේතුවක් වන බැවින් එම අනර්ථකාරී පැවැත්මෙන් මිදීමේ මග සඳහා කුසල ඤාණය පහළ කරගත යුතුවේ. එම හැකියාව තමන් සතු බව “අත්තාහි අත්තනෝනාථෝ” තමන්ගේ විමුක්තියේ ස්වාමියා තමන් බව යන බුද්ධ භාෂිතයෙන් අවධාරණය කෙරේ. ආධ්‍යාත්මික ප්‍රගතිය කරා ළං වීමට උත්සාහ කරන පුද්ගලයා ස්වකීය ආත්ම ශක්තිය සහ බාහිර සම්පත් ප්‍රයෝජනයට ගත යුතු වන්නේය. ක්‍රමයෙන් උසස් බවට පත්විය යුතු මෙම ආධ්‍යාත්මික ව්‍යායාමයේදී දෙමාපියන් මිත්‍රයන් සතුරන් ආදී බාහිර වෙනත් බලවේගයන්ද සිය ව්‍යායාමයට අනවශ්‍ය ලෙස සම්බන්ධ කරගැනීමෙන් සිය ආධ්‍යාත්මික දියුණුව අඩාල වීමට හේතුවක් වනු ඇත.

බොහෝ විට සාමාන්‍ය මානුෂීය ස්වයභාවය වනුයේ අන්‍යන්ගේ උදව් උපකාර ලබමින් උදාසීනව කටයුතු කිරීමයි.මෙය විමුක්තිය සොයා යන මරණය ජයගැනීම පුහුණු වන අයෙකු අත්හල යුතු ම ගති ලක්ෂණයකි. ඔවුන් උත්සාහ කළ යුත්තේ ස්වෝත්සාහයෙන්ම තම උදාර අරමුණ කරා ළං වීමටයි.

කුසල සමාපත්ති පුහුණුවේදී භාවනා කිරීමට පරමාදර්ශී ආචාර්යවරයෙකුගේ මගපෙන්වීම ඇසුර අත්‍යවශ්‍ය වේ. දානය, ශීලය,භාවනාව සේම ශීල ,සමාධි, පඤ්ඤා, යන ගුණාංගයන් කුසල ප්‍රතිපදාවේ පදනම කර ගැනීමෙන් මානසික තැන්පත් බව සහනය, සාමය නිදහස් බව ආදී සන්දෘෂ්ටික ප්‍රතිඵලයක් ලැබෙන අතර එවැන්නෝ සැබැ ලෙසම සිය මළගමට සූදානම් වූවෝ වෙති. මෙහිදී දානය හා ශීලය නිසි අවධානයෙන් ප්‍රගුණ කරමින් භාවනාවට යොමුවීමේදී සරලව සිත එ ඟ කරගැනීම සඳහා විවිධ කමටහන් භාවිතා කිරීම පොදුවේ සිදුවේ. නිදසුනක් ලෙස “බුද්ධෝ යන වචනය කමටහන් වශයෙන් පුහුණු කරමින් මරණයට සූදානම්වීමේ සමාරම්භයක් ලෙස සිත එකඟ කිරීමේ පුහුණුව කළ හැකිවේ. යම් අවස්ථාවකදී සිතේ උපරිම තැන්පත් බව ඇති වූ විට එම වචනය ද බාධාවක් බැවින් තැන්පත් බවම සමාධියක් වශයෙන් ප්‍රගුණ කළ යුතුවේ. සිත තැන්පත් වූ කල්හි නැවත අවුල් වීමට අවකාශ ඇත. මෙය ඉතා ගැඹුරින් අවධානය යොමු කළ යුතු අවස්ථාවකි. ඊට හේතුව නම් සිත කාලාන්තරයක සිට පුරුදුව ඇත්තේ කරදර අසහනය,බඩගින්න, පිපාසය ආදි විවිධ කම්කටොලු අවුල්, වියවුල් වැනිදේවලට සහ විවිධ ළාමක තාවකාලික වින්දනයන්ටය.මේ සියුම් මානසික දියුණුවේ අත්දැකීමට පත්වන යෝගීන් ඉතා සුපරික්ෂාකාරීව තමන්ගේ මනස අවුල් කරන එවැනි විවිධ දුර්වල සිත් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව මනසේ තැන්පත් බව පාරිශුද්ධත්වය ඇති කරන බව වදාළ ඒ උතුම් ප්‍රතිපදාව තවදුරටත් පිළිපැදීමෙන් තමන්ගේ මළගමට ඉතා මැනවින් සූදානම් විය හැකිය. මෙසේ පිළිවෙත් පුරන යෝගියාට අකුසල් වල ස්වභාවයත් සිය සන්තානයෙහි අකුසල් හට ගන්නා ආකාරයත් එම අකුසල් ප්‍රහාණය කරන්නේ කෙසේද ?යන්නත් කුසල් පිළිබඳ අවබෝධයත් කුසල් වැඩීමේ ඥානයත් පහළවේ. “සන්දිට්ඨික” හා “පච්චත්තං වේදිතබ්බෝ” යන බුද්ධ භාශිතයන්ගෙන් ඒ බව තහවුරු වෙයි.

මෙසේ සමාධිය ප්‍රගුණ කරන යෝගියාගේ සමාධි සිත ඛනික උපාචර සහ අප්පනා වශයෙන් දියුණු වන ආකාරය, මනා අවබෝධයෙන් නිරීක්ෂණය කළ යුතුවේ. මෙහිදී කමටහන් ලබාදෙන අචාර්යවරයාගේ උපදෙස් ලැබීමද වැදගත් වේ. නොඑසේනම් අතු කැපූ ගසෙහි අතු නැවත ලියලන්නා සේ තැන්පත් වූ සිත නැවතත් අවුලට අසහනයට පත්වීමට අවකාශ ඇත. අප ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ධම්ම විචය හෙවත් නුවණින් විමසා බැලීමේ වැදගත්කම අවධාරණය කර ඇත. උන්වහන්සේට මෙම උතුම් ධර්ම ගවේෂණය පාදක කොට ගෙන ඤාණය පහළ වූ බව, ප්‍රඥාව පහළ වූ බව, දැනුම පහළ වූ බව ආලෝකය පහළ වූ බව දේශනා කළ සේක. මේ උතුම් ප්‍රඥාවෙන්ම ධර්ම ගවේෂණයෙන්ම මරණය ජයගත් බව වදාළ සේක.

සමාධිය සියලු කෙලෙස් තැන්පත් කර එක තැනකට ගාල් කරගැනීමට සමත් වෙයි. මෙසේ ගාල් කර ගත් සියලු කෙලෙස් ප්‍රඥාව නමැති ආයුධයෙන් පියවරෙන් පියවරට ප්‍රහාණයට ලක් කරයි. සමාධියෙන් පුහුණු කළ ප්‍රගුණ කළ ප්‍රඥාව ප්‍රබලවන්නේ එහෙයිනි. (සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති) මහානිසංසා ප්‍රඥාවෙන් ප්‍රගුණ කළ සිත සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නේය. (පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චතී) මේ බව බුදු පසේ බුදු මහරහත් උතුමන් ලොවට හෙළි කළහ.

අභේදනීය ගුණාංග දෙකක් වූ සමාධිය සිතේ ඒකාග්‍රතාව ඇති කරගැනීම සඳහාත් ප්‍රඥාව සියලු කෙලෙසුන් ප්‍රහාණය සඳහාත් එකසේ අත්‍යවශ්‍යවන අතර සමාධිය සහ ප්‍රඥාව පිළිබඳව යථාවබෝධය ද චිත්ත පාරිශුද්ධත්වය අපේක්ෂා කරන රාග, ද්වේශ ,මෝහ, සද්ධා බුද්ධි සහ විතක්ක යන චරිත ලක්ෂණ ඇති සියලු යෝගීන්ට එකසේ අත්‍යවශ්‍ය වේ. කෙලෙස් ප්‍රහාණයේ දී නිතරම ධර්ම පුස්තක පරිශීලනය අවශ්‍ය නොවේ. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සඳහා කලින් ලියා තිබූ ධර්ම පුස්තක නොතිබුණි. කෙලේස ප්‍රහීණ කළ බුද්ධ ශ්‍රාවක පිරිසටද පුස්තක පරිශීලනය අවශ්‍ය නොවීය. එසේ හෙයින් පොත් පරිශීලනය සහ ශාස්ත්‍රීය බව මළගමට සූදානම් වීමට එතරම් විශාල පිටුවහලක් නොවන අතරම සමහරවිට බාධාවක්ද වනු ඇත. ධර්ම පුස්තකයන්හි විමුක්තිය සඳහා වූ මඟ පිළිවෙතද බොහෝ විට සංක්ෂිප්ත ය. කෙනෙකුට අවශ්‍ය වන්නේ රාගය, ද්වේශය,මෝහය ප්‍රහාණය කිරීමට සුපටිපන්න ප්‍රතිපදාවට පිලිපන් යෝගීන් ඇසුර මිස හුදු ශාස්ත්‍රීය උපදේශ න්‍යායන් පමණක් නොවන බව සිහිපත් කළ යුතුය. මෙවන් වූ ප්‍රතිපදාවක නියැලුනු ඕනෑම කෙනෙක් සරු දේ සරු ලෙස ගත් නිසා මිනිසත්කම ලැබීමේ නියම ප්‍රයෝජනය උකහාගෙන නොබියව තම මළ ගම හමුවේ සීහ සෙය්‍යාවෙයන් සැතපීමට සමත් වෙති.