Print this Article


බෞද්ධ පුදබිම් අංක - 2 යාපනයේ කදුරුගොඩ විහාරය

බෞද්ධ පුදබිම් අංක - 2

යාපනයේ කදුරුගොඩ විහාරය

මෙකල යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම බෞද්ධ පූජා භූමියක් ලෙසින් කදුරුගොඩ විහාරය හැඳින්විය හැකිය. මෙහි පුරාණ සිංහල නාමය කදුරුගොඩ වුවද එහි දෙමළ භාෂාවෙන් ව්‍යවහාරවන්නේ කන්නරෝඩෙයි යන නාමයෙනි.මෙම පුරාවිද්‍යා ස්ථානයේ මෑත භාගයේ දීද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කටයුතු සිදු කරන ලදී. මෙය පිහිටියේ චුන්නාකම් (හුණුගම) මාන්පායි මාර්ගයේ චුන්නාකම් හි සිට කිලෝමීටර් 3 ක් පමණ දුරිනි.

මහනුවර රාජධානි සමයේ ලියන ලද “නම්පොත” නම් ග්‍රන්ථයෙහිද කදුරුගොඩ වන නාමයෙන් හඳුන්වා ඇත්තේ මෙම පුදබිම ලෙසින් හඳුනාගෙන ඇත.

බෞද්ධ විහාරයකට අයත් දාගැබ්, වටදා ගෙවල් සහ බොහෝ කුඩා දාගැබ් ද රාශියක් මෙම පුදබිමෙහි පිහිටා ඇත. මීට අමතරව බුදුපිළිම, සිරිපතුල් ගලක්, දාගැබ්වල කොත් කැරළි හා පැරණි පොළොන්නරු යුගයට අයත් කාසි රැසක්ද හමු වී ඇත.

ඉහත සඳහන් කළ පුරාවස්තු අතරේ ඉතා වැදගත් ශිලාලේඛනයක් ද හමුවී ඇත. මෙම ශිලා ලේඛනය අයත් වන්නේ ටැම්ලිපි විශේෂයකටය. පුරාණ ශිලා ලේඛන ප්‍රධාන වශයෙන් වර්ග හතරකි. ලෙන් ලිපි, පර්වත ලිපි, පුවරු ලිපි,සහ ටැම්ලිපිය .එයින් මෙම ටැම්ලිපි සම්ප්‍රදායේ ශිලා ලේඛන වල බොහෝ විට ලියා තිබෙන්නේ කිසියම් වෙහෙර විහාරයකට හෝ පුදබිමකට දෙන ලද (පූජා කරන ලද) දීමනා සහ පරිත්‍යාගයන්ය. (ශ්‍රී ලංකාවේ සෙල්ලිපි සන්නිවේදනය –සිරිසමන් විජේතුංග පිටු 14 - (2007)

එම ටැම්ලිපිවලට අත්තානි කණු යන නාමයද යෙදේ. මේ අත්තානි කණුව (ටැම්ලිපිය ) අයත් වන්නේ ක්‍රිස්තුවර්ෂ 8-9 හා 10 වන සියවස් වලට බව එහි ඇති අක්ෂර ස්වරූපය අනුවද පැහැදිලි වේ. එහි කැබැල්ලක් හමු වී ඇත.මෙම කදුරුගොඩ විහාරයට හතරවන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) රජතුමා විසින් දෙන ලද පූජාවක් (ප්‍රදානයක්) ලෙසින් එහි ඇති කරුණු අනුව පුරාවිද්‍යාඥයින් විසින් තීරණය කර ඇත.

අනුරාධපුරයේ රජ කළ එම රජුගේ ශිලා ලේඛන ලියා ඇත්තේ සිංහල භාෂාවෙනි. මෙය එකල මේ රජුගේ පාලනයේ පැවති ප්‍රදේශයක් (යාපනය දිස්ත්‍රික්කය) ලෙසට මෙයද ශිලාලේඛන සාක්ෂියක් ලෙසින් පුරාවිද්‍යාඥයෝ ඉදිරිපත් කරති.

1917 අරඹා 1919 තෙක් කාලය තුළ පෝල් ඊ.පීරිස් මහතා විසින් මෙම පුදබිමේ පුරාවිද්‍යා කැණීමක් සිදු කර ඇත. එහිදී කදුරුගොඩ විහාරය ආශි‍්‍රතව තිබුණු විහාරයක නටබුන්ද කුඩා දාගැබ් 60 ක් පමණ ද බුදුපිළිමවල කොටස් ද පැරණි ගොඩනැගිලි අවශේෂ උළු කැට,පැරණි කාසි වර්ග රැසක් ද හමුවී ඇති බව ඔහුගේ වාර්තාවල සඳහන් වී ඇත. මේ අතරේ ඉතා දැකුම්කලු බුදුපිළිම හිසක් හා කවන්ද (හිස නැති) බුදු පිළිම දෙකක්ද හමුවී තිබේ. අනුරාධපුරයේ රුවන්මැලි සෑ මළුවෙහි ඇති බුදු පිළිමවලට සමාන ස්වරූපයක් මෙම බුදු පිළිමවලින් නිරූපණය වේ. එම බුදුපිළිම සම්ප්‍රදාය අමරාවතී බුදුපිළිම සම්ප්‍රදාය ලෙසින් හඳුනාගෙන ඇත. අමරාවතී බුදුපිළිම සම්ප්‍රදායේ උපත දකුණුූ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි ඇති අමරාවතී බෞද්ධ පුදබිමය. එම අමරාවතී පුදබිම බැලීමට අපටද 1997 දී අවස්ථාව සැලසුණි. එම අමරාවතී බුදුපිළිම සම්ප්‍රදායට මේ බුදු පිළිම (කදුරුගොඩ විහාරයේ) අයත් වූවා පමණක් නොව එම බුදුපිළිම නෙළා ඇති හුණුගල් විශේෂයෙන්ම මෙම බුදු පිළිම නෙළා තිබීමද මෙහිදී සැලකිය යුතු වන්නේය. මේ අනුව තීරණය කළ හැක්කේ අනුරාධපුරයේ පැවති සංස්කෘතියට (බෞද්ධ) සමාන ස්වරූපයක් යාපන දිස්ත්‍රික්කයේ පැවති බව පමණක් නොව යාපනය එදා අනුරාධපුර රාජධානියට යටත්ව පැවැති ප්‍රදේශයක් බවද මෙයින් තහවුරු වන්නේය. මෙය නිජබිම් නම් ඇති මිථ්‍යා විශ්වාසයට ද පිළිතුරක් ලෙසින් සඳහන් කළ යුතුව ඇත. මෙම පුදබිමෙන් හමුවී ඇති තවත් අගනා ලේඛනයක් ලෙසින් රතු මැටි බඳුන් කැබැල්ලක ලියා ඇති ලේඛනය හඳුනා ගෙන ඇත.මෙහි බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද එම අකුරු මෙසේය. ‘දතහපත’ එහි සිංහල අර්ථය දක්වන්නේ පාත්‍රය හෝ භාජනය යන්නයි. මේ අක්ෂර සහිත වූ මැටි බඳුන් කැබැල්ල අනුරාධපුරයේ ගෙඩිගේ අසල (ඇතුළු නුවර) ආචාර්ය සිරාන් දැරණියගල මහතා කරන ලද කැණීම් වලින් හමු වූ මැටි බඳුන් කැබලිවලට සමාන බවක් දක්නට ඇතැයි ඔහු විසින් සඳහන් කර ඇත. ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම දකුණු ආසියාවේ සිටින ප්‍රාග් ඉතිහාසය පිළිබඳ විද්වතෙක් ද වන්නේය.

කදුරුගොඩ විහාරයෙන් හමු වූ දාගැබ්වල කොත් කැරළි සහ ඒ ආශි‍්‍රත වූ පුරාවස්තු මෑතකදී පරීක්ෂා කිරීමට මෙම ලේඛකයාට අවස්ථාව සැලසුණි. අක්කර තුනහමාරක පමණ ප්‍රදේශයක විසිරී ඇති පුරාවස්තු පිළිබඳ අධ්‍යයනය කරන විට මෙම පුදබිම අනුරාධපුරයේ විහාර සංකීර්ණයක ඇති නටබුන්වලට සමාන වූ ස්වරූපයක් ඒ තුළින් විද්‍යාමාන වන්නේය. මෙහි විශේෂත්වය වන්නේ මෙම ස්තූප එකිනෙකට බිම් සැලැස්මක් අනුව නිර්මාණය කර ස්ථානගත කර නොමැති වීමය.

හිටපු පුරාවිද්‍යා කොමාසරිස්වරයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් උඩවිල් - කන්තරෝඩෙයි පාර දෙපැත්තේ අක්කර තුනහමාරකුත් පර්චස් 3.8 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භූමිභාගයක් ලෙසට ප්‍රකාශයට පත් කළ බව ඔහුගේ 1965-66 පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේද සඳහන් කර ඇත. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 188 (2003) )

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් මෙහි සිදු කරන ලද (1965-66) පුරාවිද්‍යා කැණීම ගැන මෙසේ සඳහන් කරයි.

මේ ඉඩමේ (කදුරුගොඩ විහාරය පිහිටි) ඊශාන කෙළවරෙහි ගොඩැලි සහිතවූත් පොල් හෝ තල්වගාවක් නොතිබුණු පෙදෙසෙකි.

මේ ඉඩමේ ඊශාන කොණ කෙළවරෙහි පොළව මතුපිට සාංචියේ (ඉන්දියාවේ) දක්නට ලැබෙන ගල්වටවලට සමාන ගල්වැට කැබැල්ලක් තිබුණි. බොහෝ ගෙවී ගිය අනික් මූර්ති කැටයම් කැබලිත්, මෙහි ලැබුණූ සමතලා නොවුණු පෙදෙසේ පාදම් ගල් ගණනාවක්ද හමුවී ඇත. මෙම කැණීමේ මුල් අවස්ථාවේදීම මෙම අත්තිවාරම් (පාදම්) තිබුණි. පොළොන්නරු යුගයේ සභාසමල්ල රාජ යුගයට (ක්‍රි.ව. 1187 -1196) අයත් වූ කාසි ඇතුළු පැරණි කාසි රැසක් ද පුන්කළසක රූ සටහනක් ඇති මුරගලක් ද සහ සිරිපතුල් ගලක් ද තවත් පුරාවස්තු රැසක් ද හමුවී ඇත. (පුරාවිද්‍යා පාලන වාර්තාව – ආචාර්ය චාල්ස් ගොඩකුඹුර – 1965 -66 වාර්ෂික වාර්තාව - පි. 25-26)

මෙම සියලු පුරාවස්තු වලින්ම හෙළිවන මූලික කරුණක් ඇත. එනම් අනුරාධපුර යුගයේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන පැවැති එම සිංහල බෞද්ධ සංස්කෘතිය යාපනය අර්ධද්වීපය පුරාම පැතිරී තිබුණු බවය. අප ඉදිරි කාලයේදී මේ පිළිබඳ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පැරණි බෞද්ධ පුදබිම්වල ඉතිහාසය විමසා බලන විට මේ බව වඩාත් පැහැදිලි වනු ඇත.