Print this Article


සිරිපා වන්දනා සමය උඳුවප් පොහොයෙන් ඇරඹේ

සිරිපා වන්දනා සමය උඳුවප් පොහොයෙන් ඇරඹේ

සමස්ත ලෝකවාසීන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත්ව තිබෙන ගෞතම බුදුපියාණන්ගේ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමේ නව සිරිපා සමය ලබන උඳුවප්පුර පසළොස්වක පොහෝ දින සිට ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සුමණ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඬුව ශ්‍රීපාදස්ථානය වෙත වැඩමවීම ලබන 05 දින උදේ අවිස්සාවේල්ල හැටන් නල්ලතන්නිය හා පලාබද්දල මාර්ග දෙකෙන්ම සිදු කෙරේ.

ලබන මස 04 වැනි දින සවස සුමණ සමන් දෙවිඳු ප්‍රතිමාවට සහ දේවාභරණවලට ගරුබුහුමන් දැක්වීමට මහජනතාවට මෙවර අවස්ථාවක් ලබාදීම සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරස්ථානයේදි අවස්ථාව උදාකරදීමට ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් විසින් තීරණය කර ඇත. එදින රාත්‍රි පිරිත් දෙසුමක්ද පැවැත්වෙන අතර පසු දින (05 දින) දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ සධාතුක කරඬුව රිය පෙරහරකින් ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරනු ඇත. පළාබද්දල මාර්ගයෙන් ද පා ගමනින් දෝලාවක් මගින් සුමණ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඬුවක් ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරනු ලැබේ.

පසුදින (06) අලුයම බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව මෙවර නව සිරිපා සමය ආරම්භ වේ. සුමණ සමන් දේව ප්‍රතිමාව ඇතුලු සධාතුක කරඬු වැඩම වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් මෙවරත් ඉදිරිපත් වී සිටින බවද නාහිමියෝ පැවැසූහ.