Print this Article


සිරිලක මෙහෙණ සස්න කාන්තාවට කාන්තියක්මය

සිරිලක මෙහෙණ සස්න කාන්තාවට කාන්තියක්මය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ලංකා වාසි බෞද්ධ කාන්තාවන්ට සදානුස්මරණීය දිනයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ලංකා භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹදිව සිට ලංකාවට වැඩම කළ දිනය වශයෙන් පිළිගැනීමයි. අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි වූ පසු දේවානම්පියතිස්ස රජුගේ අනුලා බිසවටද පැවිදි වීමට ආශාවක් ඇතිවී ඒ බව රජුගේ මාර්ගයෙන් මිහිඳු හිමියන්ට දැන්විය.

කාන්තාවන් පැවිදි කිරීමට භික්ෂූන්ට නොහැකි නිසා මිහිඳු හිමියන්ගේ සහ රජුගේ ආරාධනයෙන් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලා දහනමක්ද මේ සමඟම වැඩම කළ සේක. මේ සියලුම දෙනා ත්‍රිපිටකධාරින් බව මහා වංශයේ, දීපවංශය සටහන්ව ඇත. සංඝමිත්-තා මෙහෙණින් වහන්සේ වෙතින් පළමුවෙන්ම පැවිද්ද ලැබුවේ අනුලා බිසවයි. ඉන්පසුව රජ පවුලට සහ සාමාන්‍ය පවුල්වලට අයත් කාන්තාවන්ද පැවිදි වූහ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ආපසු තම රටට නොගොස් පිරිනිවන් පාන තුරුම මෙහි වැඩ සිටිමින් භික්ෂුණී සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළහ.

භික්ෂුණීන්ගේ, ප්‍රයෝජනය සඳහා දේවානම්පියතිස්ස රජු විසින් පළමුවෙන්ම හත්ථාල්හක මෙහෙණවර ඇතුළු ආරාම කිහිපයක්ම පූජාකළ බව දීපවංශයේ සඳහන්වේ. වැඩිකල් යාමට පෙර රුහුණූ ප්‍රදේශයෙන් භික්ෂුණී ශාසනය ව්‍යාප්ත විය. දීප වංශයට අනුව කාවන්තිස්ස රජුගේ සමන්තිකා හා මහිලා යන දියණියන් දෙදෙනා පැවිදිවී ඇත. රජුගේ මහා ඇමතිගේ දියණිය වූ ගිරිකාලි නමැත්තියත් පැවිදි වුවාය. සාමාන්‍ය පවුල්වලට අයත් කාන්තාවන්ද පැවිදි වූවාය. අනුරාධපුරයේ පැවැති එක්තරා පූජා උත්සවයකට රුහුණේ මෙහෙණින් වහන්සේලා 20000 (විසිදාහක්) පමණ සහභාගි වූ බව දීපවංශය කියයි.

බුද්ධ කාලීන ස්ත්‍රී සමාජය රටේ යහපත පිණිස සමාජයට ප්‍රයෝජනවත් පිරිසක් ලෙසට හැඩ ගැසුනේ බුදුදහමේ නිදහස් නිවහල් භාවය නිසයි. ස්ත්‍රිය ලෝකයෙන්ම උසස් බව බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. බෝධිසත්වවරයකු බිහිකරනු ලබන්නෙත් ස්ත්‍රියක් විසින් නිසා එසේ පවසා ඇත. යම්කිසි ජාතියක් බිහිකරන්නේ ස්ත්‍රියයි. එයින් ලොකයට වන යහපත සීමාරහිතයි. මානව ගුණයට විශේෂ තැනක් බුදුරජාණන් වහන්සේ හිමි කොට දුන් අවස්ථා බොහෝය. ඉහත සඳහන් කරුණූ අනුව ස්ත්‍රි පක්ෂයෙන් වූ සේවා සිතා ගත හැකිය.

බුදුරජාණන් වහන්සේ මෙහෙණ සස්න පිහිටවූ පසු ස්ත්‍රි පක්ෂයෙන් සිදුවු සේවාවට ඉන්දීය ඉතිහාසය සහ ලංකා ඉතිහාසය සාක්කි දරයි. බුදුරජාණන් වහන්සේ මෙහෙණ සස්න පිහිටුවා පැමිණ වූ විනය නීති අනුව භික්ෂු භික්ෂුණීන් යන දෙපක්ෂයේ විනය නීති උල්ලංඝනය නොකිරීමෙන් ආගමික සාමාජික කටයුතු මැනවින් ඉටු කිරීමට කරුණු සලසා ඇත. මහාප්‍රජාපතී මහරහත් මෙහෙණින් වහන්සේ මෙහෙණ සස්න පිහිටුවීම නිසා එකල දඹදිව ස්ත්‍රියට මහත්ඵල ලබා ගැනීමට පවා මග සැලසුනේ මෙහෙණි සස්නේ පිහිටාධාරය හේතුකොට ගෙනයි. ශ්‍රාවිකා චරිතවලින් හෙළිවන කරුණු අනුව බලන විට ස්ත්‍රියට නොකළ හැකි දෙයක් නොමැති බව හෙළිවයි. ශී‍්‍ර ලංකා දීපයෙහිද මෙහෙණ සස්න ඇතිකළ සංඝමිත්තා මහරහත් තෙරණිය නිසා විශේෂයෙන් ස්ත්‍රි පක්ෂයට සිදුවූ මෙහෙය ඉතා අගනේය. එතුමිය අනුලා දේවිය ප්‍රධාන පන්සීයක් කාන්තාවන් පැවිදි කරවා සසුන්කෙත සරුකළාය. හත්ථාලහක මෙහෙණවර එයට නිදසුනකි. දුටුගැමුණු මහරජතුමා කළ යුද්ධයෙන් ජයගත් අවස්ථාවේදී රුහුණේ සිට අනුරාධපුරයට පැමිණි භික්ෂුණින් විසිදාහක් පමණ දෙනා අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටි බවද මහාවංශයෙහි සඳහන්ව ඇත. එකල සිටි භික්ෂුණීන් සෞඛ්‍ය සේවාවෙහි නිරතවී සිටි බවද සඳහන් වේ. සංඝමිත්තා උත්තමාවිය ජය ශ්‍රී මහා බෝධි අංකුරය ලක්දිවට වැඩම කිරීමෙන් කළ උදාර මෙහෙවරට ගරුකිරීමක් වශයෙන්ද උඳුවප් පොහොය වෙන්කොට විශේෂ උත්සව පවත්වනු ලබයි.

එයින් වූ උදාර සේවය නිසා ලක්දිව නොයෙක් විහාරස්ථානවල සංඝමිත්තා කුලඟන සමිති සමාගම් පිහිටුවා ගෙන විශේෂ ආගමික උත්සව පවත්වා බුදු සසුනේ දියුණුවට කටයුතු කෙරේ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ධාර්මික ක්‍රියා කලාපයෙන් ස්ත්‍රි වර්ගයා තුළ විශේෂ ධාර්මික පරිවර්තනයක් ඇතිවිය. එයින් විහිදී ගිය ධර්ම විප්ලවයේ ප්‍රතිඵල අද දක්වාම පවතී. මුළුතැන් ගෙට සීමාවී සිටි ස්ත්‍රින්ට සමාජයේ කටයුතු කිරීමට මඟ පෑදුනේ මේ සංඝමිත්තා මෙහෙණියගේ විශිෂ්ට ගුණාංගය නිසයි. ජාතියක් ප්‍රබෝධ කරවීමට ස්ත්‍රියකගෙන් විශාල වගකීමක් ඉටු විය යුතුයි. එය ශාසනික සාමාජික වශයෙන්ද කළ හැකිය. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවක ශ්‍රාවිකා දෙපිරිසටම අගසවු තනතුරු පිරිනමා ඇත. මහා ප්‍රජාපති ගෝතමිය පැවිදි බව ඉල්ලූ අවස්ථා දෙකකදීම බුදුරජාණන් වහන්සේ විසින් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ එවකට ඉන්දියානු සමාජ රටාව තුළ පැවැති තත්වය සිහිපත් කරගෙන විය යුතුයි. එමෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේ විසින් කාන්තාවන්ගේ වටිනාකම කොසොල් රජතුමාට මැනවින් පැහැදිලි කර දේශනා කරන සේක. නුවණැති නම් සිල්වත් නම් ස්වාමියා දරුවා හා නැදිමයිලන් රකී නම් ඇය උතුම් කාන්තා රත්නයකි. ප්‍රජාපතී ගෝතමිය බුද්ධ මාතා නමින් ද හැඳින් වූ අතර මෙයට වඩා වෙනත් ගෞරවයක් කාන්තාවන්ට දීමට තවත් නැති බව පැහැදිලි වේ.

මෙම ශ්‍රේෂ්ඨ කාන්තා විමුක්තිය ශ්‍රී ලාංකික කාන්තාවට ද දායාද වූයේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟය. ඕ තොමෝ වැඩම කරවූ ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දෙරණට සදා රැකවරණය ආශිර්වාදය ලබා දෙනු නියතය. බෝධින් වහන්සේ අබියස නැගෙන සෑම බුදු ගුණයක්ම සඟමිත් තෙරණියගේ ශ්‍රී නාමයට සදා ගෞරවයක් වනු නියතය.