Print this Article


ගුණවත් සිල්වත් උතුමන්ට නිතර වඳින පුදන අයගේ ආයුෂ වර්ධනය වේ

ගුණවත් සිල්වත් උතුමන්ට

නිතර වඳින පුදන අයගේ ආයුෂ වර්ධනය වේ

දඹදිව “දීඝ ලම්බික” නගරයේ වාසය කළ එක්තරා තරුණයකු, ගිහි ජීවිතය පිළිබඳව කළකිරී බණ භාවනා කරන්නට වනයට ගියහ. අවුරුදු දහඅටක් තිස්සේ වනයට වී බොහෝ කාලයක් තපස් පැවිද්දෙන් පැවිදිව පැවිදි වෘතය ආරක්ෂා කරමින් කාලය ගත කළහ.

ගිහිගෙදර තිබුණ සියලුම දේ අතහැරලා වනයට පැමිණ වනයේ බණ භාවනා කරමින් මෙසේ කාලය ගත කිරීම හොඳයි කියා ඔහු කල්පනා කරගෙන සිටියත්, පසුකාලීනව ඔහු වටහාගනු ලබන්නේ මම මෙහෙම ජීවත්වන්නට පටන් ගත්තොත් මගේ පරම්පරාව මෙතනින් අවසන් වෙනවා නේද ? කියලා එසේ පරපුරට සිදුවීමට යන හානිය පිළිබඳව සිතා මේ තරුණයා ගත කරපු තපස් ජීවිතය අතහැර දැමුවේය. මට මේ තාපස පැවිද්දෙන් පැවිදි වූ ජීවිතය ඇතියි කියා තපස් ජීවිතයෙන් මිදී නුවරට පැමිණියා. නුවරට පැමිණ තමන්ට සුදුසු සහකාරියක සමඟ විවාහ වී බොහොම සන්තෝෂයෙන් විවාහ ජීවිතය ගතකරගෙන ගියහ. මෙසේ කාලය ගතකරගෙන යන විට මේ දෙදෙනාට දරුවකු ලැබුණි. තමන්ට ලැබුණු කුඩා දරුවත් සමඟ බුදුපියාණන් වහන්සේ දකින්නට ගොස් මේ තරුණයා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරන විට උන්වහන්සේ “දීඝයුඛො හෝතු” යනුවෙන් ආශිර්වාද කරන ලදී. ඔබට දීර්ඝායුෂ වේවා කියන කාරණාවයි. තාත්තා එසේ වැඳීමෙන් පසුව පුතාටත් වැඳීමට අවස්ථාව දුන්හ.

පුතේ බුදුහාමුදුරුවන්ට වඳින්න කියලා කීය. ඒ කුඩා දරුවත් බුදුහාමුදුුරුවන්ට වන්දනා කළහ. බුදුරජාණන් වහන්සේ එම වැඳීම නිහඬව පිළිගත් සේක. ඒ වේලාවේදී තරුණයාගේ හිතට ප්‍රශ්නයක් මතුවුණි. ඔහු කල්පනා කරන්නේ මම බුදුහාමුදුරුවන්ට වඳින විට බුදුහාමුදුරුවෝ ඒ වැඳුම පිළිගෙන “දීඝායුඛො හෝතු” දීර්ඝායුෂ වේවා කියන ආශිර්වාදය කළත්, මගේ පුතා බුදුහාමුදුරුවන්ට වැන්දාට පසුව බුදුහාමුදුරුවෝ නිහඬව එම වන්දනාව පිළිගෙන “දීඝායුඛො හෝතු” “දීර්ඝායුෂ වේවා” කියලා මගේ දරුවාට ආශිර්වාද කළේ නැහැ. මෙම තරුණයාගේ හිතට ආ එම අදහස පසුව එහිදී බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන විමසනු ලැබූහ. ඇයි බුදුහාමුදුරුවනේ ,මට මෙහෙමත් මගේ පුතාට මෙහෙමත් ඔබ වහන්සේ කළේ කියලා.

එම වෙලාවේදී බුදුහාමුදුුරුවෝ වදාරණවා ඔබ වගේ නොවෙයි, ඔබේ දරුවා, ඔබට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න ආයුෂ තිබෙනවා. ඒ නිසා මම “දීඝායුඛො හෝතු” දීර්ඝායුෂ වේවා කියලා” මම ඔබට ආශිර්වාද කළත්, මෙම දරුවා එහෙම නොවෙයි. ඔබේ දරුවා ජීවත් වෙන්නේ තව දින හතයි. දවස් හතෙන් පසුව මරණයට පත්වෙනවා. ඒ නිසා ඔහුට “දීඝායුඛො හෝතු”, කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඔහුට දීර්ඝායුෂ ලැබෙන්නේ නැති නිසා . ඒ නිසා මම ඔහුට එහෙම කිව්වේ නැහැ. දෙන්නට දෙවිධියකට සැළකුවා නොවේ. දෙදෙනාගේ අනාගතය සිද්ධවෙන විධියට බුදුරජාණන් වහන්සේ ප්‍රතිචාර දැක්වූවා පමණයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම කීවිට අම්මටත් තාත්තටත් හරිම දුකයි. අප දැන් මොකද කරන්නේ කියලා දෙදෙනාම ශෝක වුණා. මේ පියා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. “බුදුහාමුදුරුවනේ ,මැරෙන්න ඉන්න මේ මගේ දරුවගේ මරණය වළක්වන්න,අපට වෙනත් ක්‍රමයක් නැද්ද? දරුවා මැරෙන නිසා ඔන්න ඔහේ මැරුණාවේ කියලා ඉන්නවාද? අපට ඒ මරණින් බේරගන්න වෙන ක්‍රමයක් නැද්ද? බුදුහාමුදුරුවනේ කුමක් හෝ පිළියමක් තියෙනවා නම් අපට දෙසා වදාරන්න. අපේ එකම දරුවා මරණින් ගලවාගෙන ජීවිතය රැකගන්න . අපට කළ හැකි හැම දෙයක්ම කරනවාය” කියලා ඒ පියා බුදුහාමුදුරුවන්ගෙන් මෙසේ ඉල්ලීමක් කිරීමෙන් පසුව ඒ ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ ඔහුට වදාරනු ලබනවා,”ඔබ ගෙදර ගිහින් නිවස හොඳට සුද්ද පවිත්‍ර කරලා ස්වාමීන් වහන්සේලා වඩම්මලා සතියක් පමණ නොකඩවා පිරිත් සජ්ඣායනාව කරවන්න. ගෙදර පිරිත් කියවන්න. ඒ පිරිත්වල බලයෙන් පිරිත් අනුහසින් දින හතකින්. පසු ඔබේ දරුවාගේ සිදුවන්නට යන මරණය වැළැක්වේවා. මරණය නොවේවා” යන අධිෂ්ඨානය ඇතිකර ගන්න. පිරිත් කියවන්න. ගිහිජීවිතවල මිනිසුන්ගේ ජීවිතවල තිබෙන නොපෙනෙන බලවේග අරගල, කලබල ආරවුල්, උපද්‍රව, විපත්ති, දුරුකරගැනීම සඳහා තමයි, පිරිත් සජ්ඣායනාව ප්‍රයෝජනවත් වෙන්නේ. දින හතකින් මරණයට පත්වන මේ පුංචි දරුවා උතුරු දිශාවට අධිපති වෙසමුණි නමැති වරම් රජුගේ නියමය පරිදි අවරුද්ධ නම් යක්ෂයාට බිලිවෙලයි තිබුණෙ. ඒ බිලිවන නිශ්චිත දිනය තමයි තව දින හතකින් උදාවන්නේ.

ඒ දිනයට වළක්වන්න යක්ෂයාගේ තිබෙන ශක්තිය නැතිකරන්න වෙසමුණි රජ්ජුරුවන්ගේ නියමය අවලංගු කරන්න තරම් ශක්තියක් මේ පිරිතට තිබෙන නිසයි, මේ දරුවා මරණින් බේරාගැනීමට පිරිත් සජ්ඣායනාව දිගටම කරන ලෙසට බුදුරජාණන් වහන්සේ වදාරණු ලැබුවේ. අම්මයි තාත්තයි දෙන්නා බුද්ධ වචනය ඒ අනුවම පිළිගෙන අපි බුදුහාමුදුරුවන් හමුවීමට ගිය එකත් හොඳයි. ඒ නිසයි අප මේ කාරණා දැනගත්තේ. බුදුහාමුදුරුවෝ වදාළ ආකාරයෙන්ම දවස් හතේම පිරිත් සජ්ඣායනා කළා. පිරිත් බලෙන් දරුවා ගැලවේවා කියන ආශිර්වාදයත් හිතේ තබාගෙන පිරිතේ ගාථා වල තේරුම එකින් එක පසිඳලමින් පිරිත් සජ්ඣායනාව කළා. දින හත ගත වෙලා ගියා. තුණුූරුවන්ගේ පිහිට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබුණා. දරුවාගේ ආයුෂ දීර්ඝ වුණා. දෙවි දේවතාවුන්ගේ රැකවල් ලැබුණා. දෙවියන්ගේ රැකවල් නිසා තුණුරුවන්ගේ ආශිර්වාදය නිසා දරුවාගේ ආයුෂ වැඩුණා. වෙසමුණි නමැති වරම් දෙවියන්ගේ නියමයත් වැරදුනා. අවරුද්ධ නමැති යක්ෂයාට බිලිවීමට සිටි මේ දරුවාගේ බිලිවීමත් නතර වුණා. ඒ දින හත පැන්නට පසුව අවුරුදු 120 ක ජීව කාලයක් උදාවුණා. හත්වන දවස වන විට පිරිත් සජ්ඣායනා පවත්වපු නිවසට බුදුපියාණන් වහන්සේත් වැඩම කරනු ලැබුවා. මේ දරුවා ලවා බුදුපියාණන් වහන්සේට වැන්ඳවීමට මේ පියා අමතක කළේ නැහැ. දරුවා බුදුහාමුදුරුවන්ට වැන්දට පසුව බුදුරජාණන් වහන්සේ “දීඝායුඛෝ හෝතු” “දීර්ඝායුෂ ලැබේවා” කියලා ආශිර්වාද කළා. ඊට පසුව මේ කුමාරයා ආයු වඩ්ඩන නමින් ප්‍රසිද්ධ වුණා. “ආයු වඩ්ඩන” යනු ආයුෂ වර්ධනය වන්නේය යන අදහසයි. මේ කරුණු කාරණා සියල්ල නිමිති කරගෙන ගුණවත්, සිල්වත්, උතුමන්ට නිතර වඳින පුදන අයට ආයුෂ වැඩිවීමත් සිද්ධ වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ශරීර වර්ණය වැඩිවනවාය කියලත් දේශනා කරනු ලැබුවා. ඒ වගේම තමන්ට සැප සම්පත්, බලයත්, ශක්තියත් ඒ අනුහසින් වැඩිවෙනවාය කියලා බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කළා. ඒ අනුව කිසියම් ගිහිකෙනෙකු හාමුදුරුනමකට වැන්දොත් වැන්දාට පසුව හාමුදුරුවන් “අභිවාදන සීලිස්ස” කියන ගාථාව කියලා ගිහි ඇත්තන්ට ආශිර්වාද කරන්නේ. ඒ ගාථාව එලෙස කියන්න පුරුදු වුණේ ආයුවඩ්ඩන කුමාරයාගේ මේ කතා ප්‍රවෘත්තියෙන් පසුවයි.

හේමමාලා රන්දුනු