UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝමවතී මහසෑ රඳුන් වෙත පිදෙන අභිනව ධර්මශාලා මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ

සෝමවතී මහසෑ රඳුන් වෙත පිදෙන අභිනව ධර්මශාලා මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ


මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගණිය වන සෝමවතී දේවිය හා කැලණියේ කැළණිතිස්ස රජතුමාගේ බෑණා වන ගිරි අභය කුමරු විසින් ක්‍රි.පූ. 02 වන සියවසෙහි ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට මෙතෙක් අඩුවක්ව පැවැති අභිනව ධර්මශාලා මන්දිරය මෙම නොවැම්බර් මස 23 දින පෙරවරුවේ ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සියතින් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

සෝමවතී චෛත්‍යරාජයා සහිත මණිඅගිය නම් පෝයගෙයකින්ද සෝම නම් පස්පිළිම විහාරයකින් හා ආරක්ෂිත සුවිශාල ප්‍රාකාර බැමි, ගෝපුර, අට්ටාල ආදි විවිධ ගොඩනැගිලිවලින් සමලංකෘතව සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු විසින් ඉදිකරවන ලද මෙම විහාර සංකීර්ණය තවතවත් වැඩිදියුණු කරමින් සුවිශාල කෙත්වතු හා රාජකීය ජලමාර්ග සෑදූ ආකාරයත්, සුවිශාල යුද්ධයකින් විජයග්‍රහණය ලැබූ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක” (යුද ජී) යන ගෞරව නාමයන් පවා මහා සංඝ රත්නය පිරිනැමූ ආකාරයත් ක්‍රි.ව. 164 වන විට එකී විහාර ගොඩනැගිලි නැවත සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය කොට අභයගිරියෙන් පවා භික්ෂූන් වැඩමවා, මෙම විහාරස්ථානය ආරක්ෂා කිරීමට රාජකාරි ක්‍රමය පනවමින් එම රාජකාරි කඩකළහොත් කහවනු 500 ක් දඩ නියම කරමින් කණිට්ඨතිස්ස රජතුමා ශිලා ලේඛන 03 ක් පිහිටුවා මෙම ස්ථානය වැඩිදියුණු කළ ආකාරය ද පැහැදිලි වේ. බු.ව. 1700 දී මහාපරාක්‍රමබාහු රජතුමන්ගේ බිසව වන ලීලාවතී රැජින දොළොස්දහස් රටින් (වර්තමාන ගිරුවාපත්තුව) ඇඹුල්පත්ගම පූජා කරන ලද ශිලා ලේඛනය සෝමවතී චෛත්‍යරාජයා අබියස දක්නට ඇත. පරාක්‍රමබාහු රජතුමා සෝමවතිය නම් ඇළක් කඳුරුවඩමන් නම් ප්‍රදේශය දක්වා සාදවා එම ජලයෙන් කුඹුරු සශ්‍රීක කළ ආකාරය ද සඳහන් වන අතර, වළගම්බා රජතුමන්ගේ පියාණන් වන සද්ධාතිස්ස රජතුමාගේ නැන්දනිය වූ සෝමාවතිය දේවිය මෙවන් විහාර සංකීර්ණයක් ආරම්භ කළ බවත් සඳහන් වන අතර, වළගම්බා රජතුමාගේ බිසව වන සෝමාදේවිය නමින් ඉදිකර ඇත්තේ වර්තමාන ලංකාරාම විහාරය බව සඳහන් කළ යුතුය. කාලිංග මාඝ ආක්‍රමණ නිසා මුළු උතුරුකරයම මහා විනාශයට පත්වීමෙන් රජවරු පවා උතුරු ප්‍රදේශය අතහැර දමා පැනගියෙන් මුළු උතුරුකරයම මහා ඝන කැලෑවක් බවට පත් විය.

එනමුත් 1947 ඩී.එස්. සේනානායක අගමැතිතුමා ගොවිජනපද ආරම්භ කිරීමත් සමඟ මෙම ප්‍රදේශයට ගිය මහජනතාව බුද්ධරශ්මි මාලා ආදි ආශ්චර්යමත් සිද්ධීන් සියැසින් දැක මහනුවර මල්වතු මහා විහාරයෙහි අති ගෞරවාර්හ මහා නායක මාහිමියාණන් වහන්සේට සැල කිරීමෙන් අනතුරුව සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි, පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි,උඩුගොඩ ශ්‍රී පේමානන්ද නාහිමි ඇතුළු මහ සඟරුවන, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, තඹාල, සුන්ගාවිල ආදි ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජනතාව සමඟ ඈත සිට ඇසුනු බෙර ශබ්දය හා ගින්දරක් වැනි ආලෝක දහරා දැක චෛත්‍යරාජයා වෙත ළඟාවී, එතැන් පටන් ශුද්ධ පවිත්‍ර කිරීම් ආදිය සිදු කොට 1966 වසරේදී මුල්ගල් තබා, 1981 වසරේදී කොත් පැලඳවීමෙන් පසු 1985 වන විට ත්‍රස්තවාදීන්ගේ පැමිණීම නිසා සුවිශාල විනාශයකට පත්ව චෛත්‍යරාජයා සහිත ප්‍රදේශය මහා ඝන කැලැයක් බවට පත්විය.

2002 වසරේදී එවක රජයේ හා වර්තමාන රජයේ අනුග්‍රහය ලබාගෙන මහා ඝන කැලේ ශුද්ධ පවිත්‍ර කොට ත්‍රස්තවාදීන් විසින් 1985 වසරේදී ගලවා දමා තිබූ එම චූඩාමාණික්‍යයම නැවතත් පැළඳවීමෙන් අනතුරුව වර්තමාන සංවර්ධනය සිදු කර ගැනීමට හැකි වූ අතර, 1947 වසරේ සිට 2014 වසර දක්වා චෛත්‍යරාජයා වෙත පැමිණීමට තිබූ ඉතා දුෂ්කර මාර්ගය වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ බලවත් පරිශ්‍රමය නිසා දර්ශනීය අන්දමින් සකස් කර ගැනීමටත්, ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා හා මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන් ඇතුළු මෙම රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලිය ලබා ගැනීමටත් හැකි වූ අතර, පසුගිය රජයේ හිටපු ජල කළමනාකර අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මැතිතුමා මුල් වී ජලසම්පත් මණ්ඩලය මගින් නලමගින් ජල පහසුකම් ලබා ගැනීමටත්, හිටපු විදුලිබල අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් ජෙනරේටරයකින් විදුලිය ලබාදීම සිදු කරලීමෙන් කරන ලද සංවර්ධන කටයුතු මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතුය.


සිරිපාල ගමලත්

දෙමහල් පෝය සීමාව නුගේගොඩ අල්විස් මහතා ඇතුළු පිරිසත්, මහජනතාවගේ පහසුව සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රූපසිංහ පෙරේරා මහතා ඇතුළු එකී සංස්ථාවේ සැදැහැවත් පිරිසත්, සියරා සමාගමේ අධිපති ලොකුගේ මැතිතුමා ,කොළඹ මාලඹේ මයික්‍රෝ ආයතනාධිපති පෙරේරා මැතිතුමා ඇතුළු සැදැහැවතුන්ගේ ආධාරයෙන් විශ්‍රාමශාලා කීපයක් ඉදි කිරීමට හැකිවූ අතර,

ක්‍රි.ව. 164 කණිට්ඨතිස්ස රජතුමා විසින් ඉදිකරන ලද විහාර මන්දිරය ගරාවැටීමෙන් පසුව නැවත විහාර මන්දිරය මෙතෙක් ඉදිවී නැති හෙයින් මෙම විහාර මන්දිරයක අත්‍යාවශ්‍යතාවය දුටු කොළඹ සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා හා එම මැතිනිය, හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි මැතිතුමා හා එම මැතිනිය ඇතුළු එම පිරිස විසින් සාදවන ලද දෙමහල් විහාර මන්දිරයෙහි පළමු අදියරත්, කොළඹ චන්දන වික්‍රමරත්න මැතිතුමා, මැතිනිය ඇතුළු එම ව්‍යාපාරය මඟින් වැඩ නිම කරවන ලද තෙමහල් විශ්‍රාමශාලාවත්, කිරුලපන මාතර ගරාජයේ අධිපතිතුමා හා එම මැතිනිය මඟින් ඉදිකරවන ලද දර්ශනීය පහන් ගෙයත් පසුගිය ඔක්තෝබර් 25 වන දින විවෘත කොට සම්බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් අනතුරුව මෙතෙක් අඩුවක්ව පැවති ධර්මශාලාවක අත්‍යවශ්‍යතාවය දැක අපමණ ශ්‍රද්ධා භක්ති පෙරටුව ඉඩම් හා ඉඩම් සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා හා රංජනී හෙට්ටිආරච්චි ගමලත් මැතිනිය නිපුන දුෂ්‍යාන්ත ගමලත් මහතා, අරණෝදා ගමලත් මහතා, රංජලා වසන්තනී ගමලත් මිය,උදිත ඉලේපෙරුම මහතා හා අසිත උමයන්ත ගමලත් මහතා යන අය විසින් පූර්ණ ධනපරිත්‍යාගයෙන් ඉදිකරවන ලද දර්ශනීය සුවිශාල ධර්මශාලා මන්දිරය මෙම මස 23 වන දින මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පරමපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමියන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ගරුතර සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සඟරුවනේ ආශිර්වාද මධ්‍යයේ හා අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය සැදැහැවත් පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, මෙහි ප්‍රථම ධර්මදේශනාව පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් පැවැත්වීමටත්, මෙදින දහවල් ශතාධික සංඝගත දක්ෂිණාවක් සහිත 15000 කට අධික සැදැහැවතුන් විෂයෙහි භෝජන සංග්‍රහයක්ද පවත්වමින් මෙම මහා පින්කම සිදු කිරීමට පොළොන්නරුව නිපුන සහල් නිෂ්පාදන පෞද්ගලික සමාගම මඟින් කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද පෙරටුව මෙහිලා සිහිපත් කරන අතර, මෙවන් සංවර්ධන වැඩකටයුතු සිදු කිරීමට මෙතෙක් උදව් උපකාර කළ මහා සඟරුවන සහිත වත්මන් රජයටත්, පසුගිය රජයටත් සැදැහැවතුන් සෑම දෙනාටත් තුණුවරුන්ගේ සරණින් දළදා සමිඳු පිහිටෙන් ඉමහත් ශාන්තියක් සැලසේවායි ප්‍රාර්ථනය කරමි.


පරම පූජනීය සිද්ධස්ථානයකි

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ ජනතාවගේ පරම පූජනීය සිද්ධස්ථානයකි. ක්‍රි.පූ. 02 වන සියවසේ සෝමවතී චෛත්‍ය රාජයා රාජරාජ මහාමාත්‍යාදීන් හා මහජනතාව විසින් වැඩිදියුණු තත්ත්වයට පත් කරමින් දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලබා ගත් ආකාරය ඓතිහාසික තොරතුරු අනුව මැනවින් පැහැදිලි වේ. කාලිංග මාඝ චන්ද්‍ර භාණු ආක්‍රමණ නිසා මුළු උතුරු හා උතුරු මැද ප්‍රදේශයන් හි වෙහෙර විහාර ඇතුළු සියලු රාජ්‍ය මහජන දේපළ විනාශ වෙමින් කැලෑ බවට පත් විය. නැවතත් මෙම ප්‍රදේශ සොයා ගැනීමට හැකි වූයේ 1947 මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අගමැතිතුමා විසින් ආරම්භ කරන ලද ගොවිජනපද ව්‍යාපාරය වැඩිදියුණු තත්ත්වයට පත්වීමත් සමඟය.

මහජනතාව එකී ප්‍රදේශයන් හි හැසිරීමෙන් සෝමවතී චෛත්‍ය රාජයා පිළිබඳ තොරතුරු දැනගත් අපේ මල්වතු මහා විහාරයෙහි කාරක සංඝ සභික බඩගමුව රාජමහා විහාරාධිපති සිරිමල්වත්තේ ශ්‍රී පියරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්දා භිධාන අපේ මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මල්වතු මහා විහාරයීය භික්ෂූන් වහන්සේ පොළොන්නරු ප්‍රදේශයෙහි ජනපද වල පදිංචි වූ සිංහල හා මුස්ලිම් ජනතාවත් සම්බන්ධ කරගෙන මෙම ස්ථානය සොයා ගැනීමෙන් පසු 1966 වර්ෂයේ දී මුල්ගල් තබා 1981 වර්ෂයේ දී කේතු පිළන්දන උත්සවයත් සමග මහ ජනතාවගේ නොමද වැඳුම් පිදුම් සත්කාර සම්මානයන්ට භාජනය විය.

එනමුත් 1985 දී පමණ ඇති වූ ත්‍රස්තවාදී උවදුරු නිසා සෝමවතී චෛත්‍යරාජයා අවට ප්‍රදේශය මහඝණ කැළයක් බවට පත්විය.නැවතත් 2002 දී වර්තමාන සෝමවතී රාජමහා විහාරාධිපති අපේ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන්ගේ බලවත් උත්සාහය නිසා එවක රජයන් හා මහජනතාව සම්බන්ධ කරගෙන අපගේ ද අනුශාසනා ලබමින් වර්තමාන තත්ත්වයට පත්කර ගැනීමට හැකි වීම බලවත් සතුටට හේතුවන්නක් විය.

වර්තමාන රජයේ ද අනුග්‍රහය ලබමින් විදුලියත්, මහාමාර්ගයත්, වර්තමාන තත්ත්වයට පත් කර ගනිමින් මහජනතාවගේ නොමඳ උදව් ආධාරයෙන් අත්‍යවශ්‍ය ගොඩනැගිලි ආදිය ඉදිකරගෙන යන අතර, අඩුවක්ව පැවති ධර්මශාලා මන්දිරය ඉඩම් හා ඉඩම් සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා හා රංජනී හෙට්ටිආරච්චි ගමලත් මැණිතිය, නිපුන දුෂ්‍යන්ත ගමලත් මහතා, අරණෝදා ගමලත් මහතා, රංජලා වසන්තනී ගමලත් මිය, උදිත ඉලේපෙරුම මහතා හා අසිත උමයන්ත ගමලත් මයා යන අය විසින් පූර්ණ ධනපරිත්‍යාගයෙන් ඉදිකොට මෙම මස 23 වන දින සම්බුදු සසුන වෙනුවෙන් පූජා කිරීමට කටයුතු සැලැස්වීම ඉමහත් සතුටට හේතුවන්නකි. මෙවන් පරිත්‍යාගයන් සිදුකරන උක්ත සැදැහැවත් දායක පින්වතුනට රට දැය සමය වෙනුවෙන් ඉමහත් සේවයන් සිදු කිරීමට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ආශිංසනය කරන අතරම මහජනතාවගේ නොමද වැඳුම් පිදුම් ගෞරවයට පාත්‍ර වන දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලබාගන්නා මෙම සෝමවතී පුණ්‍යභූමිය හා චෛත්‍යස්ථානය වැඩිදියුණු කරමින් මහජනතාවට ආශීර්වාද ලබා ගැනීමට සැලැස්වීම රජයේ හා මහජනතාවගේ පරම යුතුකමක් බව මෙහිදී හිතාධ්‍යාශයෙන් සිහිපත් කරම්හ.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]